Monday, December 17, 2018

බහුතරය...

මිනිසුන් එකිනෙකා හා කා කොටා ගන්නා තුරු,
දේශ පාලුවන් ඒ මිනිසුන්ගේම වෙහෙසෙන් ඉපැයූ මුදලින්,
ඒ මිනිසුන්ටම පහසුකම් සැලසිය යුතු මුදලින්
ඒ මිනිසුන්ගේම කැමැත්තෙන් කිසිඳු බාධාවකින් තොරව
නොලැබිය යුතු පහසුකම් විඳිද්දි,
එදෙස පිටත සිට  බලා සිටින්නන්
මේ මොන මෝඩයින් එහෙම නැත්නම්
මොන තරම් නිවට කම්මැලි අසමඟි යැපෙන
මිනිසුන් පිරිසක් දැයි සිහියෙන් දැක
අවස්ථාවාදීව  කල දුටු කල වල ඉහ ගැනීමේ විපාක
කවදා දකීවිද මන්දා බහුතරය..

 
මිනිසුන්ගේ නායකයා ලෙස මිනිසුන් සොයා ගත යුත්තේ මිනිසුන්ව පාලනය කරන කෙනෙකු නොව මිනිසුන්ට පාලනය කල හැකි කෙනෙක්වයි..මිනිසුන්ට සංවේදි කෙනෙක්වයි..

Tuesday, December 11, 2018

ගිය හකුරට නාඬන්නේ..තියන හකුර රැක ගන්නේ...

ඉපදී පළමු සති දෙකින් පසු පිළිවෙලකට ටිකෙන් ටික කෑම බීම පහසුවෙන් කවන්න පුලුවන් උනු එහෙත් මාස 8 දී සංක්‍රමණයෙන් පසු එක් වරම කෑම අරහන් වුනු  අවුරුදු 2කෙදි පමණ කෑම කැවීම ඉතා අපහසු වූ පුංචි පුතෙක්  තමයි මට හිටියේ.. පුතා කාලයක දි පුරුදු වෙලා හිටියා මම දෙන දෙන දේ විසි කරන්න..කවන කවන දේ එළියට දාන්න..

Sunday, December 9, 2018

අඳුර නසන ආලෝකය..

කාලයක සිට වසරේ අවසානය මාසය ලෙසින් (මිනිසුන් විසින් තම පහසුවට) නම් කරන මේ මාසයේ මේ කාලයට අප නිවස ආසන්නයේම ඇති කිතුනු දේවස්ථානය ගැන මගේ දෙනෙත් යොමු වෙන්නේ වෙන කිසිවක් නිසා නොව එය පිහිටි මුලු පරිසරයම එකාලෝක වෙන මාසයක් බැවිනි..

Wednesday, December 5, 2018

රතු රෝස...

ඕනම මිනිස් සමාජයක කාලයක සිට ගොඩ නැඟිලා තියන සමාජ ආකල්ප, සංකල්ප (ආගම් ද ඇතුලුව) තිබුනේ නැත්නම් මේ වෙනකොට මිනිස් වර්ගයාත් වද වී ගොස් බොහෝ කල් කියා මට සිතේ..(ඒ වගේම මේ කිසිවක් නැතිවද මිනිසාට ගමනක් ඇති බවද මම දකිමි සිහියෙන් යා හැකි නම් ඉදිරිය දකිමින්..)

Monday, December 3, 2018

මෙසේ විය හැකි බව එසේ ලියා තැබුවෙමි...

ගෙවුනු වසර තුන යනු මගේ ජීවිතයට මින් පෙර කිසිඳා ගමන් නොකල මාවත් විවර කල වසර තුනකි..එහි විශේෂත්වය නම් මේ එකඳු මාවතක හෝ අනිවාර්යයෙන් මා යා යුතු යැයි බල කරන කිසිවක් කිසිවෙක් නොමැති වීමයි..කෙටියෙන් කිව්වොත් පුංචි කාලේ සිට සටන් කල අරගල කල කිසිවෙකුගෙන් කිසිවක් නොවිමසා හිතට හිතුනු දේ කරන්න හිතන (හිතුවක්කාර) මගේ හිතට ලැබුනු පූර්ණ නිදහසකි..නමුත් ඒ නිදහස මට අවශ්ය නැති මොහොතක.. ජීවිතය කොහොමත් දෙයක් අපිට ලබා දෙන්නේ අපිට ඕන වෙලාවට නොව ජීවිතයට ඕන වෙලාවට කියන එක කාලය දිහා ආපස්සට හැරි බලන විට අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙමේ..

Wednesday, November 21, 2018

පුංචි සුරංගනාවිය සහ ඇස්..

වසර කීපයකට කලින් work placement ගිය එක්තරා පෙර පාසැලකදි හමු වුන පුංචි සුරංගනාවියක් දවසක් මට හම්බුනා අපේ medical centre එකේදි. එයාව එතන දකින්න බලාපොරොත්තු නොවුන නිසා මට ඇති උනේ ලොකු පුදුමයක්..එයාටත් එහෙමයි..ඉතින් එයාගේ නමත් මතක තිබුන නිසා හිනා වෙලා කතා කලාම මේ පුංචි කෙල්ල මගේ ලඟට ඇවිදගෙන එන්න හැදුවට ඒකට එයාගේ දෙමාපියන්ගෙන් ඉඩක් ලැබුනේ නැහැ...ඒකට හේතුව තමයි මේ පුංචි සුරංගනාවියගේ කකුල් දෙකම හරියට වැඩ කරන්නේ නහැ..තියන හැම පියවර කීපයකටම සැරයක් ඇය බිම වැටෙනවා, හැබැයි ආපහු නැඟිටින්නේ හරිම ලස්සන හිනාවක් එක්ක. ඒ නිසාමයි මට එයාව හොඳට මතක හිටියේ.. කොහොම උනත් ඇය ලඟට ගිහින් මම කතා කලේ නැහැ,

Monday, November 19, 2018

හීන..

හීන කියන්නෙ එක්කෝ මෙතෙක් ජිවිතේ අත් විඳලා නැති දේවල් එක්කෝ  අත් විඳලා මඟ හරුනු දේවල්..අන්න එහෙම අත් විඳලා මඟ හැරුනු හීනයක් ගැන තමයි අද මම ලියන්නේ..මම දන්නවා මේ හීනේට ආපහු තව සෑහෙන කාලෙකට මට ලං වෙන්නවත් බැරි බව..

Thursday, November 15, 2018

I am feeling so proud..

ආදරයෙන් සැහැල්ලුවෙන් තේරුම් ගැනීමෙන් සිහියෙන්   විඳිමින් හිමින්  ගෙවන්න හැකි ජීවිතය අනුනට පේන්න, අනුන් සතුටු කරන්න වැය කොට (රේස් යමින්) බොහෝ මිනිසුන් I am feeling proud  කීම මට නම් විහිලුවක්..තමන්ගේ නොවන හීන ලුහු බඳින දරුවන් වටපිටාවේ සිටින සියලු දෙනාට තම කොන්ඳ නමා ස්තුති කිරීම ඊටත් වඩා විහිලුවක්.. ඔවුන්ට දැන් මතක නැහැ මේ තමන්ගේ හීනයක් නොවන බවවත්..අනුන්ගේ හීන තමන් වෙහෙසි ලබා දීම ගැන අනුන් තමන්ට ස්තුති කල යුතු බව වත් වටහා ගන්න ඔවුනේ මනස නිරවුල් නැහැ..

Wednesday, November 14, 2018

ඇත්තද බොරු ද...

අතීතය එහෙමත් නැත්නම් මෙතෙක් ආ දුර විවිධ කෝණ වලින් ප්‍රශ්න කරන්න ඉඩ නොදෙන කිසිවක්/කිසිවෙක් ජීවිතයට ලං කර ගැනීමේ දුර තීරණය කිරීම සම්පූර්ණයෙන්ම ඔබ සතුයි..

Saturday, November 10, 2018

හිත ඇත්නම් පත කුඩා ද

බොහෝ වැඩිහිටි මිනිස්සු දන්නේ නැහැ තමන්ගේ සෘණාත්මක හැඟිම් අනිත් අයට නොරිදවා,  අනිත් අයගෙන් යැපෙන්නේ නැතුව ස්වාධීනව  පිට කල හැකි ක්‍රම තියන බව.. තමන්ගේ හදවතේ නොනවත්වා නැඟෙන හැඟිම් පෙරා වෙන් කර අවට පරිසරය හිතකර හැඟිම් පමණක් පිට කල හැකි පෙරහන් කඩදාසි සොයා ගැනීම හිත ඇත්නම් පත කුඩා ද වගේ හරිම පහසු දෙයක්..(ඒ වගේම තමන්ගේ නිදහස අනිත් කෙනාගේ නාසය අඟින් අවසන් කරන්නත් බොහෝ වැඩිහිටියන් දන්නේ නැහැ)

Friday, November 9, 2018

මොකද්ද ඒ ඇලවීමෙන් බලාපොරොත්තු වෙන්නේ...

ඔබට මුණගැහිලා තියනවද නැත්නම් ඇහිලා තියනවද ගැලවෙන්න යන විවාහ ජීවිත  අලවා තබන්න භාවිතා කරන (එක්)  ගම් වර්ගයක්..(එකක් කියලා කිව්වේ ගැලවෙන්න යන ඕනම දෙයක් අලවන්න ගොඩක් දේ ඕන නිසයි)..මට නම් ඕන තරම් ඇහිලා තියනවා, මේ ගම් වර්ගය භාවිතා කරන යුවළවල්..දැකලත් තියනවා..මොනවද දන්නවද ඒ ගම් වර්ගය..ඒ තමයි දරුවන්...(ගැලවෙන්න යන විවාහ ජීවිත වල දරුවන් හැදීම කියන කරුණ ගැන වෙනම කතා කරන්න ඕන)

Friday, October 19, 2018

තට්ටු කරන්නාට දොර ඇරේද...

මිනිසුන් දෙදෙනෙක් හෝ ඊට වැඩි ගණනක් අතර ඇති වන විවිධ සබඳතා වලදි එක් එක් අයගෙන් තමන්ට වගේම අනුන්ට බලාපොරොත්තු විය හැක්කේ මොනවාද, නොවිය හැක්කේ මොනවාද යන්න අවම කාලයකින් වටහා ගැනීම බොහෝ වැරදි වටහා ගැනීම් වලින් වාද විවාද වලින් අපව ඈත් කරන හේතුවක් ලෙස මම දකිමි.

Tuesday, October 16, 2018

බලන් යොමා නෙත අපේම මාවත අපේ අතින් ගොඩ නැඟෙන හැටි...

මිනිසුන් මනසින් මවා ගන්නා ගැටලු ඒ මිනිසුන්ම තමන්ගේ මනසින් අත් හරින තුරු අන් අයට කල හැකි කිසිවක් නැතැයි මට බොහෝ කලක සිට සිතෙන දෙයක්. ඒ නිසාම මිනිස් මොළය සහ හැසිරිම්  ගැන ඉගෙන ගන්න මට තිබුනේ ලොකු ඕනකමක්, ඒ මගේ විනෝදාංශය කිව්වත් වරදක් නැහැ..හැබැයි පවතින දැනුම මනින ක්‍රමය එක්ක බැලුවොත් නම් මම හරිම කම්මැලි කෙනෙක්.. දැනුම මනින්න තියන හොඳම වඩා සාර්ථකම ක්‍රමය ප්‍රායෝගිකව වැඩ කිරීම කියලයි මට හිතෙන්නේ හැමදාම..

Wednesday, October 10, 2018

අහන්න අහන්න හරිම මිහිරියි...

පුංචි පුංචි වැහි බිංඳු වැටෙනා සීතලේ දුම් දමන කෝපි සුවඳ මැදින් අහන්න අහන්න හරිම මිහිරියි...

Sunday, October 7, 2018

අකමැත්තට කැමැත්තෙන් කැමති වීම....

ගිය මාසේ එක් බදාදාවක හරි අපූරු පාඩමක් 1 වසරේ පුංචි අයට කරන්න මටත් පුංචි ඉඩක් ලැබුනා.. කරන්න නෙමේ ඇත්තටම කිව්වොත් පාඩමේම කොටසක් වෙන්න..එදා තිබුනේ කොහොමද කෙනෙක් තමන්ගේ අදහසට අකමැති වෙද්දි ඒ කෙනාගේ සහ තමන්ගේ හිත රිද්ද ගන්නේ නැතුව රණ්ඩු වෙන්නේ නැතුව පොළබවා ගන්නේ කැමති වෙන්න..තවත් සරලව කිව්වොත් කොහොමද දෙන්නෙක් මැද තීරණයකට එන්නේ වෙනස් අදහසකදි..

Friday, October 5, 2018

මීදුම් සලුවේ තුරු මල් උයනේ පියඹා යන්න එනවද..

යෞවනයේ මත් වූ දිනක කාටත් නොකියා මා සොයා ගියේ මගේ ආදරණීය ගුරුතුමියව..මගේ වෙනස ඇයට වටහාගන්න එක තප්පරයක්වත් ගියේ නැති උනත් ඇය නෙමේ වචනයක්වත් කිව්වේ..ඇගෙන් සමුගෙන එන්න විනාඩි කීපයකට කලින් මමම ඇයට ඒ ගැන කිව්වත් ඇය කලේ නිහඬව අහගෙන හිටිය එක විතරමයි..ඒ ඇයි කියලා ඇය වගේම මමත් දන්නවා උනාට බොහෝ අයට නම් ඒ හැසිරීම ප්‍රේහේලිකාවක්..

Wednesday, September 26, 2018

සබඳ අපි කඳු නොවෙමු (ද ) - උනුන් පරයා නැඟෙන..සුනිල දිය දහර වෙමු (ද ) එකම ගඟකට වැටෙන..

ඔබ ලියන/කියන දෙයක් කියවන/ අහන කෙනෙක් කියනවා නම් "වැටහෙන්නේ නැහැ" කියා මම දකින්නේ එතනදි මුලින්ම අඩියක් පස්සට තියන්න ඕන ඔබ..ඔබට මොන වගේ දැනුමක් තිබ්බත්, ඔබ මොන තරම් ඉහල තැනක හිටියත්, ඔබේ පාඨකයන්ට/ ශ්‍රාවකයන්ට ඒ පණිවිඩය පැහැදිලිව දෙන්න ක්‍රම හොයන්න වෙන්නේ ඔබටමයි..මොකද ඔබ විතරයි දන්නේ මොනවද ඔබ ලියන්න/ කියන්න උත්සහ ගන්නේ කියන එක..

Sunday, September 23, 2018

මිනිසුන් බිලි ගන්නා දිය සුලි

මිණි ඟං දෑලේ නිර්මාණකරු කියන්න උත්සහ කරන පණිවිඩය ඟං දෑලේ සැඟවී නොයන්න තිබුනා ඔහුට හැකියාවක් තිබුනා නම් (gossip ධනාත්මකව යොදා ගනිමින්) අනාගතය දකින්න ඔහුගේ නිර්මාණය ස්පර්ශ කරන බහුතර මිනිස් මනසේ ස්වාභාවය වටහාගෙන කියා මට සිතේ..

Wednesday, September 5, 2018

පාඩුවේ ජීවත් වීමට ඇති එකම මඟ වන ගත වීම ද....

ඔබ ඔබව නොරිදවාගෙන, අන් අයට ඔබව රිදවීමට ඇති අවස්ථා සියල්ල වසා දමමින්, අන් අයට ඔබව පාලනය කිරීමට ඇති අවස්ථා ද වසා දමමින් ඔබේ සීමාවන් ඇතුලේ සංවේදීව සතුටින් සැහැල්ලුවෙන් සාධාරණව ජීවත් වීමට ආරම්භ කරන පළමු දින පටන්ම අවස්ථාවාදි දුර්වල මිනිස්සුන් ඔබට ගැසීමට ගල් එකතු කරනු ඇත.. ගලක් සොයා ගැනීමට නොහැකි නම් පුලුන් කැබැල්ලකින් හෝ දමා ගසනු ඇත ඉන් ඔබට රිදෙතැයි සිතා...මීට අමතරව ඉතාම ලගන්නා සුලු වේශයකින් ද මෙවැනි අය ඔබට ලං වෙන්නට උත්සහ කරනු ඇත ආදරයේ නාමයෙන්..

Sunday, September 2, 2018

හිරු මඩලක් සේ කිරණ බෙදා දී...නුග සෙවනක් සේ සිසිල සදා දී...

දරුවෙකුට පිය සෙනෙහස කියන්නේ මහ මෙරක් වගේ..කුමන හෝ හේතුවක් මත ඒ අමිල සෙනෙහස තමන්ගේ ලෙයින් බිහි වූ දරුවෙකුට පුදන්න නොහැකි පිරිමියෙකුට පියා කියන නාමය භාවිතා කිරීමත් මට හිතෙන්නේ තමන්ගේ ඇට මිඳුළු හරහා දිව යන දරු සෙනෙහසින් දිවා රෑ තම දූ දරුවන් රකින පියවරුන්ට කරන අපහාසයක් කියායි..

මොකද්ද බය කියන්නේ...

අපි හැමෝම මව්කුසින් මේ ලෝකේට ආව පළමු මොහොතේ ඉඳලම මුහුණ දෙන්නේ අනපේක්ෂිත සිදුවීම වලට.. අපි වගේම අපේ අවට ඉන්න අයත්..මේ සදා නොවෙනස් අනපේක්ෂිත සිදුවීම් වලට මුහුණ දීලම තමයි අපි ඒ සිදුවීම් ජීවිතයේ සාමාන්‍ය දෙයක් බවට පත් කර ගන්නේ.. ඒ කියන්නේ මේ සිදුවීම් වලට මුහුණ නොදෙන කෙනෙක් කවදාවත් ඒ සිදුවීම් සාමාන්‍යකරණය කර ගැනීමේ ක්‍රියාවලිය සාර්ථකව කරගන්නේ නැහැ..එහි බලපෑම මොන වගේ ද කියන එක ඔබට සිතන්න ඉතුරු කරමි..ඉතින් මේ විදිහට මමත් ඉපදුනු දා ඉඳලා එක එක විදිහේ අනපේක්ෂිත සිදුවීම වලට කෙලින් හැංගෙන්නේ නැතුව මුහුණ දෙමින් ඒ සිදුවීම් සාමාන්‍යකරණය කර ගනිමින් ගෙවාගෙන එන ජීවිතේ පහුගිය ඉරිදා කියන්නේ මින් ඉහත ජිවිතයේ කිසිදිනක මුහුණ නොදුන් මුහුණ දෙන්න වෙයි කියාද කිසිවිටක නොසිතු සිදුවීමකට මුහුණ දුන් දවසක්..

Wednesday, August 29, 2018

ජීවිතය ඉතාම පහසු වීමට නම්...

ආදරය,කරුණාව වගේම අනෙකාට ගෞරව කිරීමට,තේරුම් ගැනීමට නොදන්නා මිනිසුන් (විශේෂයෙන් වැඩිහිටියන් කියා ගන්නා ආත්මාර්ථකාමී මානසික රෝගී ළඳරුවන්) ඔබේ ජිවිතයෙන් ඈත් කර දමන්න කිසිවිටක වෙන්න එපා පසුබට....

Tuesday, August 28, 2018

අපි එකම රෑනේ කුරුල්ලෝ...

ඕනම කෙනෙකුගේ ජීවිතයට අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන්ගෙන් පසුව ලොකුම බලපෑමක් කරන්නේ යාලුවන්නේ.. එහෙම නේද.. ඉතින් මගෙත් එහෙම තමයි.. පුංචිම කාලේ නම් තෝරා බේරා ගැනීමක් තිබුනා කියලා කියන්න නොහැකි උනත් තේරෙන කාලෙක ඉඳලා (O/L කාලෙන් පස්සේ) ලඟින් ඇසුරු කරන්න යාලුවන් තේරීම ඉබේ උන දෙයක් නම් නෙමේ.. ඒ තේරිම් වලදි මම කලින් ලබපු අත්දැකීම්,වෙනත් අය ලබපු අත්දැකීම්,අවට පරිසරයේ දැකපු දේවල් වගේම කියවීමෙන් එකතු උනු දැනුමත් කලේ ලොකු වැඩ කොටසක්..(මම එක රටාවකට කොටු වී කියවන කෙනෙක් නම් නෙමේ..)

Saturday, August 25, 2018

ආදරය නොසඟවා සඳ එළිය සේ විඳින්න නම්...

තමන්ට ලඟින්ම ඉන්න අය සමඟ හදවත් නොසඟවා විවර කරන්න පසුබට වන ඔබ ඔබේ තරහකරුවන් (හෝ එතරම් සමීප නොවන අය) සමඟ මොන තරම් පහසුවෙන් හදවත් විවර කරනවාද යන්න ගැන සිතා තිබේද...

Saturday, August 18, 2018

හැඟිම් වලින් ගැටලු විසඳන්න පුලුවන්ද....

ලිංගිකත්වය මුල් කරගෙන නොයෙකුත් විදිහේ අපහසුතා වලට මිනිස් සත්තු විදිහට අපි හැමෝම ජීවිතයේ එක් එක කාල වලදි මුහුණ දීම අද හෙට නවතින දෙයක් නෙමේ..ඒ වගේම ඒ අපහසුතා ගැහැනු පිරිමි බේදයක් නොමැතිව කතා බහ කිරීම තුලින් අවම කර ගැනීමට මාවත් සෙවීමත් හරිම අඩුයි බොහෝ මිනිස් සමාජ වල.. ඒ නම් ලිංගිකත්වය යනු එළිපිට කතා නොකල යුතු දෙයක් විදිහට සලකන නිසා වෙන්න ඕන (සමහර) මිනිස් සමාජ වල..

Monday, August 13, 2018

කට්ට නොකා තියන දෙයක් බෙදා හදාගෙන කමු ද...

කට්ට කාල ලබා ගන්නා දේ අගය වැඩියි කියා කියන්නේ තමන්ටම දැනෙන කම්පනය නිසා ද කට්ට කන කාලේ..මොකක් උනත් මම නම් නිවන් දකින්න සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක්ම බලන් ඉන්න වෙන නිසා තේරෙන කාලෙක ඉඳලා හොයනවා මේ ලැබුනු ජීවිතේ නිවිසැනසිල්ලේ ගෙවන්න ක්‍රම... ඒ කිව්වේ කටු නොකන ක්‍රම.. කිසිම කෙනෙක් නිසා කිසිම කට්ටක් කන්න මම ලෑස්ති නැති උනාට ඕනම කෙනෙක් එක්ක බෙදා හදාගෙන තියන දෙයක් කන්න නම් මම කවදත් එක පයින් ලෑස්තියි.. හැබැයි ඉතින් බෙදාගෙන කටු කන්න නම් කට්ටිය හොයා ගන්න හරිම අමාරුයි..

Friday, August 10, 2018

ඒ අපේ කම නුඹේ ගෙදරම තියා ගන්න අම්මේ, මේ මගේ ගෙදර...

දිඟු කාලින අදහස් නොගැලපීම සහ තවත් හේතු මත ඇති වු ගැටලුවකදි දරුවන් ඉත්තන් කරගත් පියෙකු පැහැරගෙන ගිය දරුවන් ඉතා වෙහෙස වී නැවත ලබා ගත් මගේ යෙහෙළියකගේ දෙමාපියන් ද ඇතුලුව ඒ දරුවන් දෙදෙනාද දිනක් මගේ නිවසට පැමිණි අතර ඔවුන් ආපහු යන්නට සුදානම් වූ මොහොතේ මගේ යෙහෙළියගේ මවගේ පෙළඹවීමෙන් ඒ දරු දෙදෙනා මට දණ ගසා වඳින්න ආ අතර,වහා බිමට නැමුනු මම ඒ දරුවන් නැගිටුවා කිව්වේ අනේ පුතේ වඳින්න ඕන නැහැ කියා උනත් ඒ මව ගත් කටටම කිව්වේ "එහෙම හරි යන්නේ නැහැ ,මේව සිරිත් අපේ කම.. "

Saturday, August 4, 2018

අනන්තයට යන පාර දිගේ....

දරුවෙක්ව පුංචි කාලේ ඉඳලා දිගින් දිගට හැමදේම 100%ක් හරි ගියොත් විතරක් අගය කලොත් මොකද වෙන්නේ ඒ දරුවා වැඩිහිටියෙක් වෙද්දි.. වගේ සාර්ථක/අසාර්ථක බව පදනම් කරගෙන දෙමාපියන්ගෙන්/වැඩිහිටියෙන් ප්‍රතිචාර ලබන දරුවෙක්ගෙ මොළය අන්තිමේ ඒ මතම වහලෙක් වෙන වව ඔබට වටහා ගන්න හැකිද....

Monday, July 30, 2018

බස ගැන මගේ කෙටි කතාව...

මම ඉපදුනේ කොහෙද හැදුනේ වැඩුනේ කොහෙද, මොන වගේ අය එක්ක ද ජීවත් වුනේ, ඉගෙන ගත්තේ කොහෙද කොහොමද, මොන බාසාවෙන් ද කතා කරන්න පටන් ගත්තේ කියන එක වගේ දේවල් හංගන්න කිසිම දවසක ඕන කමක් මට තිබුනේ නැහැ..

Sunday, July 29, 2018

ඔබ නවතින්නේ කොහෙද කොහොමද...

මිනිස්සු කිසිම දෙයක් හොයලා බලන්නේ නැතුව එක පාරටම කෙනෙක් කියන/හැසිරෙන දිහා බලලා ඇයි නිගමන වලට එන්නේ..මේ බොහෝ අය පාසැල් කාලේ (ඊට පස්සෙත්) නිරීක්ෂණ විශ්ලේෂණය කර නිගමන වලට පැමිණ විභාග වලට සාර්ථකව පිළිතුරු ලිව්ව අය.. (එහෙම නැති අයත් අනිත් අයගේ ඕප දූප ඉතා හොඳින් ගැඹුරින් විමසලා හොයන අය..)

Saturday, July 28, 2018

කටහඬ දන් දෙන්න කැමතිද ඔබත්...

පුංචි කාලේ ඉඳලම ඉතාම හොඳින් පැහැදිලිව මගේ හැඟිම් දැනීම් කතා කරන්න පුලුවන්කම තිබූ, ඒ මම කතා කරන දේවල් හොඳින් වැටහෙන දෙමාපියන්/වැඩිටිහියන් ජීවන් වන සමාජයක මම විඳපු අපහසුකම් දිහා ආපස්සට හැරිලා බලද්දි මට හිතා ගන්න බැහැ ඒ සමාජයටම මගේ හෝ කාගේ හෝ දරුවෙක් යවන්නේ කෙලෙස ද කියා..

Thursday, July 26, 2018

සිරවීමක් නැතිව ජීවිතය විඳින්න නම්..

සංවේදී ස්වාධීන අත්හරිමින් යන මනසක් ඔබට උපතින් හිමි වෙද්දි ඔබේ ජීවිතය ඔබත් එක්ක බෙදා ගන්න අය තෝර ගන්න ඕන හරිම කල්පනාවෙන්..හරි පරිස්සමින්...ඒ වගේම ඔබ ගන්න ස්වාධීන තීරණ සමඟ ඒ අයගේ අදහස් නොගැලපීම් තිබුනත් කිසිම විදිහක සිරවීමක් නැතිව ඔබට ඔබේ ජීවිතය ගත කරන්න ඉඩ දෙන අය වීමත් හරිම වැදගත්..ඒ කිව්වේ හරි වැරදි, අඩු පාඩු ආදරණීයව පෙන්වා දෙමින් ලඟම සිටිමින් මඟ පෙන්වන අය අදහස් වෙනස් උනත්..

Wednesday, July 25, 2018

මේ ලෝකේ මම ඉන්න කැමතිම ආසම තැන මගේ ගෙදර....

මේ ලෝකේ මම ඉන්න කැමතිම ආසම තැන මගේ ගෙදර.. ගෙදර කිව්වම මේ මම අද ඉන්න ගෙදර විතරක් නෙමේ.. ඉපදුනු දවසෙ ඉඳලා ජිවිතේ ගත උනු හැම ගෙදරක්ම මම කැමතිම තැන.. (අවට පරිසර වල ඉන්න අය අමතක කරමු අපි ටිකකට )

Tuesday, July 24, 2018

ඇත්ත ඇස් දකිනවද ඇත්ත බොරු...

රැකියාවක් කරන තැනක තියන තරඟය සහ එකිනෙකා කපාගෙන යට කරගෙන ඉදිරියට යන්න හැදිලා තියන  පරිසරයට ඔබ කොහොමද මුහුණ දෙන්නේ.... ඔබත් ඒ දේ ඉවක් බවක් නැතුව කොපි කරනව ද.. නැත්නම් පාඩු උනත් කමක් නැහැ කියලා ඒ තරඟයෙන් ඉවත් වෙලා ඉන්නවද.. මම මගේ පළමු රැකියාවට යන්න හිතන්නේ වයස 22දි 23දි.. ඒ Software Analyst Programmer කෙනෙක් විදිහට. උපාධිය කරන ගමන්ම අයදුම් කරපු ඒ රැකියාවේ interview දවසේ මට ලැබුනා හරි අපූරු අත්දැකීමක්..

Monday, July 23, 2018

දකින්න හිතන්න අලුතින් වෙනස්කම් කරන්න ඉඩ දෙන්න ඔබට හැකිද...

මම 5 වසරේ ශිශත්ව විභාගය ලිව්වේ එකදාස් නමසිය අනූපහේ මතක විදිහට. එදා පිළිතුරු ලියන්න තිබුන එක ප්‍රශ්නයක් තමයි ප්‍රස්ථා පිරුළු වල හිස් තැන් පිරවීම..එක ප්‍රස්ථා පිරුලක් තමයි  ....... ඇති දුවෙක් සහ ........ ඇති පුතෙක්.

Sunday, July 22, 2018

පිරිමි අයට හැඟිම් දැනීම් දැනෙන්නේ නැද්ද...

පිරිමිකම කියන්නේ හිත් රිදීම් නොපෙන්වා කතා බහ නොකර යටපත් කරගෙන නිහඬව සිනා සීමද.. කෝපය, රැවිලි ගෙරවිලි, අපහාස කිරීම්, ගුටි බැට, පළි ගැනීම්,මඟ හැරීම්,මත්පැන් දුම්වැටි,අසභ්‍ය වචන සහ සත්තුන්ගේ නම් ගම් භාවිතා කිරීම් වැනි අනියම් අයුරින් ඒ හිත් රිදීම් පිට කිරීම ද...

Saturday, July 21, 2018

ඔබට අවශ්‍ය එකාධිපතියෙක් ද...

මගේ වයස 18 පහුවෙන විටම වාගේ අපේ අම්මට ඕන උනේ පවුලට ගැලපෙන සියලු දුසිරිතෙන් තොර කඩවසම් පෙනුමැති උගත් උසස් රැකියාවැති කෙනෙකු සොයා සියලු නැදෑ හිත මිතුරන් ගෙන්වා මාව රූමත් දුටු දුටුවන් වශීකරවන මනාලියක් කර සතුටු කඳුලු හෙළමින් ගෙදරින් පිටත් කර ඇගේ හිතේ ඇති බර නිදහස් කර ගැනීම උනත් තාත්තා පුංචි කාලයේ පටන්ම මගේ කැමැත්තට වැඩි ඉඩක් වෙන කල නිසා එය සිදු උනේ නැහැ..

Friday, July 20, 2018

කෙනෙක් එක්ක මුහුණට මුහුණ බලාගෙන ඇත්ත කතා කරන්න අපහසු ඇයි..

මගේ සිරිතක් තියනවා මගේ පුතාට Thank you සහ Sorry කියන..එහෙම කියන්නේ මම ඉල්ලපු දෙයක් පුතා කල විට වගේම මම කියන දේකට ඇහුම්කන් දුන්නාම.. ඒ වගේම මගේ අතින් යම් වැරදීමක් අතපසුවීමක් උනාම.. පුතා කියන දේ ඇහුවම ජීවිතය වඩා පහසු වෙන බව මගේ අතින් හැමදාම කියවෙන දෙයක්.. වැඩිය කතා කරන කෙනෙක් නෙමේ නිසා එකම දේ දහ පාරක් කියන්න මම ආසා නැහැ.. (ලියන තරම් මම කතා කරලා නැතුව ඇති මුලු ජීවිතේටම..මේ සැරේ mother's day එකට පුතා මට අරන් තිබ්බේ note book with a pen)

Wednesday, July 18, 2018

මම කවදවත් ආස සීතලට, ඔබ...

අර Frozen ෆිල්ම් එකේ Let it go කියන ගීතයේ එක තැනක කියවෙනවා සීතල මට කවදාවත් කරදරයක් උනේ නැහැ කියලා වැකියක්.. ඒ වගේම මට දැනෙන හැඟිම් කවදාවත් මට කරදරයක් උනේ නැහැ.. (අනිත් අයට නම් කරදරයක් උනු අවස්ථා ඕන තරම් ඇති, විශේෂයෙන් මට "ආදරය" කරන අයට) මම කැමතිත් හැඟිම් දැනෙනවට.. එතකොට විතරයි මට දැනෙන්නේ මම ජීවත් වෙන බව..

Tuesday, July 17, 2018

පහළට වැටෙන්න පෙර...

පහුගිය කාලේ එක් පෙර පාසැලකදි මට කරන්න තිබුනු පැවරුමකදි තිබුනා ඒ දරුවගේ දෙමාපියන් එක්ක කතා කරන්න..(දරුවන් තෝර ගෙන කරන ඕනම පැවරුමකදි මුලින්ම දෙමාපියන් එක්ක කතා කරන්නම ඕන..එයාලගේ අවසරය ගන්නම ඕන..) උදේට මේ දරුවව එක්කන් එන්නේ අම්මා උනාට ආපහු එක්කන් යන්න එන්නේ තාත්තා..මම යන්නේ මගේ පුතාව ඉස්කෝලේ දාලා නිසා මට මුල ඉඳලම කතා කරන්න උනේ අම්මා එක්ක නෙමේ තාත්තා එක්ක..

Friday, July 13, 2018

පුංචි දරුවන් එක්ක වැඩ කරන්න පෙර 2...

පුංචි අය එක්ක වැඩ කරන්න ඉගෙන ගනිද්දි භාවිතයට ගැනෙන න්‍යායන් ගැන ලියාගෙන යන දෙවෙනි ලිපිය අද..පළවෙනි ලිපියේ කතා කලේ පියවර 8කින් කෙනෙකුගේ ජීවිතය ගොඩ නඟා ගන්න හැටිනේ.. අද කියන න්‍යායේ කියවෙන්නේ පියවර 4කින් කෙනෙකුගේ උපතේ සිට වැඩිහිටි වයස දක්වා  බුද්ධිය වැඩෙන විදිහ ගැන..මේ ගැන පර්යේෂණ කරලා හොයාගෙන තියෙන්නේ Jean Piaget..

Tuesday, July 10, 2018

පුංචි දරුවන් එක්ක වැඩ කරන්න පෙර 1....

පුංචි දරුවන් එක්ක වැඩ කරන්න හිතන අයට ඉගෙන ගන්න තියන දේවල් අතර දරුවන්ගේ වැඩීම ගැන එක් එක් පුද්ගලයන් විසින් සොයාගෙන අනුමත කරගෙන ඇති න්‍යාය වර්ග ගැනත් ඒ න්‍යායන් කොහොමද මේ දරුවන් එක්ක වැඩ කරද්දි ඒ අයගේ හැකියාවන් වැඩි දියුණු කරන්න යොදා ගන්නේ කියන එකත් අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕන..

Monday, July 9, 2018

ජීවිතයේ ඔබ යන මාවත් ඔබම තීරණය කරන්න....

ඔබට ආදරය කරන මිනිසුන්ගෙන් එක් කොටසක් ඔබට ඔබ වෙන්න මාවත් විවර කරන අතර තවත් පිරිසක් ඔබට ඔබ නොවෙන්න මාවත් විවර කරනු ඇත..මේ මාවත් දෙකින් කුමන මාවතේ ඔබ ගමන් කලද ආදරය අන්ධ බැවින් ඔබ යන්නේ අවදානම් ගමනකි..එබැවින් ඔබ යන මාවත් තීරණය කිරීම අන් අයට නොපවරා ඔබේ හදවතට සහ මොළයට ඒ වගකීම පවරන්න තරම් ඔබ නිර්භීත නම් අන්තිමේ ඔබට ඔබව අහිමි නොවනු ඇත..

Saturday, July 7, 2018

මං ආස මං වෙන්න....

අදින් ඇරඹෙන මගේ ජීවිතයේ 38 වෙනි වසර දක්වාම මම උත්සහ කලේ මම කියන කෙනාව මට නැති කරගන්නේ නැතුව අන් අය එක්ක සාමකාමීව ජීවත් වෙන්න ක්‍රම හදා ගන්න.  මට මං වෙන්න තිබුන ඕනකම එහෙමත් නැත්නම් මගේ හදවතට එකඟ වෙන්න බැරි තැන් වලදි නැවතෙන්න වගේම එකඟ තැන් වලදි ඉදිරියට යන්න තිබුනු ඕනකම නිසාම පහුගිය වසර 37 පුරාම මෙන්න මේ වගේ වචන අදහස් නොගැලපීම් වලදී මට ඇහුණු වාර ගාණ වැඩියි..

Friday, July 6, 2018

හදමු ද වෙජිමයිට් සැන්ඩ්විච්...

පහුගිය බදාදා දවසක සුපුරුදු විදිහට 1 වසරේ දරුවන් එක්ක දවස ගත කරද්දි මට ලැබුනා හරි අපූරු අත්දැකිමක්..මගේ පුතා ගෙදරදි කරන සමහර දේවල් වල මුල් අඳුරගන්නත් මට මේ අත්දැකීම් උදව් වෙනවා...එදා දවසේ දවල් කෑමෙන් පස්සේ තිබුනේ 1 වසරේ පන්ති දෙකක් එකට එකතු වෙලා වෙජිමයිට් සැන්ඩ්විච් එකක් හදන හැටි ප්‍රායෝගිකවම කරලා බලලා ලියන්න...

Thursday, July 5, 2018

මිණි ඟං දෑලේ මිහිරිය සහ තාත්තා....

"මිණි ඟං දෑලේ " මිහිරිය 12 වෙනි විනාඩිය පසු වී හරියටම 31 වෙනි තප්පරයේදි වින්ඳෙමි...

Tuesday, July 3, 2018

නාමේ නොදිරනා කිව්වට ඒක ඇත්තම ඇත්ත ද..

මේකප් සහ අනෙකුත් සියලු රූප අලංකරණ ක්‍රම සහ විදි යනු මගේ ජීවිතයෙන් බොහෝ ඈත ඇති දේවල් වන්නේ අද ඊයේ සිට නොවේ..ඒ වගේම ආභරණ (ඕනම දෙයකින් නිපදවා ඇති) වලටද මගේ කිසිම කැමැත්තක් නැත්තේද අද ඊයේ සිට නොවේ..

Monday, July 2, 2018

කෑම කෑම කෑම කෑම...

ඔබ කවදහරි හිතලා තියනවා ඔබේ දරුවන්ට ඒ අයට පහසුවෙන් ගෙදරම තනිව හදා ගත හැකි සමබර ආහාර වේලකට හුරු කරන්න ටිකෙන් ටික ලොකු වෙද්දි....ඒ කිව්වේ අපිට පුරුදු සංකීර්ණ යැපුම් ආහාර රටාවෙන් මිදී සරල ස්වාධීන සමබර ආහාර රටාවකට හුරු කරන්න..

Sunday, July 1, 2018

ලිවීම ඔබ මම සහ නෙල්ලි...

ජීවිතය පුරාම එක් එක් දේවල් අත්හදා බලමින් ජීවිතය කාලය පුරාම නොනවත්වා කිරීමෙන් වෙහෙසට පත් නොවී  තෘප්තිමත්ව කල හැකි දෙයක් ගැන සෙව්වෙමි..කාලයාගේ ඇවෑමෙන් මා සෙවූ ඒ එක් දෙය හමු වී ඇති බව සිතේ..

Friday, June 29, 2018

දෙවියනේ හොඳ වෙලාවට මට ඒ දවස් වල කෙලින් ඉන්න බැරි තරම් වැඩ තිබුනේ..

මිනිස්සු මුලින්ම කෙනෙක්ව ඈත ඉඳන් ඒ කෙනා කරන කියන දේවල් බලාගෙන නිහඬව සිටී.. ඉන් පසුව පොඩ්ඩක් ලඟට ඇවිත්  මොනවද කරන්නේ කොහොමද කතා කරන්නේ කියා හිතමින් බලාගෙන සිටී.. මේ හිතන වෙලාවේ ඉබේම තමන්ගේ මොන අවශ්‍යතාවයද    මේ කෙනාගෙන් කර ගන්න පුලුවන් කියා ද දහ අතේ සිතයි.. (නොසිතන අයත් ඇත හොඳේ..)

Thursday, June 28, 2018

ඒක තමා පුතේ මේ ලෝකේ හැටි..

සමාජයක ජීවත් වන එක් අයකුගේ ගැටලුවක් සහ ඒ ගැටලුව නිසා ඇති වන ප්‍රතිඵල (ධන හෝ සෘණ) ඒ කෙනාගේ පමණක් ද..

Tuesday, June 26, 2018

කඳුලින් ඇරඹි සිනාවෙන් අවසන් වූ HOMEWORK ....

ගිය අවුරුද්දේ මුලින්ම අපේ "දිලෙන හිරු" ඉස්කෝලේ යන්න ගත්තට පස්සේ හැම සතියෙම සඳුදට හම්බුනා homework පොතක්. එකේ තිබුනේ හරි සරල දේවල් 4 කරන්න.. සිකුරාදට ආපහු පොත දෙන්න ඕන. මුලදි HOMEWORK කරන්න කිව්වට කිසිම කැමැත්තක් තිබ්බෙ නැහැ..ඒ වෙනුවට ඇහුවේ ප්‍රශ්න වැලක්.. ඒ ප්‍රශ්න වැලට උත්තර දුන්නට පස්සේත් "I don't want to do homework" කියන උත්තරේ තමයි ලැබෙන්නේ පුතාගෙන්...

Monday, June 25, 2018

ජීවත් වෙන්න සටන් කරද්දි හීන දකින්න වෙලාව තියනවද..

කොයි තරම් බැලුවත් Golden Buzzer එන හැම සැරේකම මගේ ඇස් වල කඳුලු පිරෙනවා කියලා මම දන්නේ සමහර වෙලාවට ඒ කඳුලු වල සීතල මට දැනෙන නිසා විතරයි.. මුලදි පේන්න බැරි උනත් මම ආසම කරන විනිශ්‍යකරුවා, Simon Cowell. කවදා කොහොම ඒ කැමැත්ත ඇති උනාද කියලා මටම මතක නැහැ..

Sunday, June 24, 2018

උත්තල කාච සහ ගිනි තැබීම....

මිනිස්සුන් තමන්ගේ නියම සිතුවිලි සඟවා ගන්නේ, නිරාවරණය වු ඒ සිතුවිලි පරාවර්තනය කර තමන් දවා අලු කල හැකි උත්තල කාච මිනිසුන් අතරම ඇති නිසාද..එය එසේ නම් ඒ ඇවිලූ ගිනි දළු නිවා ගන්න සිහිල් දිය දහරක පහස තමන් තුලම ඇති නම් මිනිසුන් තම සිතුවිලි නොසඟවා කියාවිද...

Saturday, June 23, 2018

ඔබට ඔබ වෙන්න ඉඩ දෙන්න...

අතීතයට අතීතය වෙන්න ඉඩ දෙන්න.
වර්තමානයට වර්තමානය වෙන්න ඉඩ දෙන්න.
අනාගතයට අනාගතය වෙන්න ඉඩ දෙන්න.
ඔබට ඔබ වෙන්න ඉඩ දෙන්න,
ඒ කොහොමද.....

එය සොයාගන්න හැකි ඔබට පමණයි....

Friday, June 22, 2018

100 - 90 = 5 ද....

රු 100ක් ලැබුනු විට රු 90ක් ඉතිරි කරන්න සහ  රු 10ක් වියදම් කරන්න හිතන්න අපි මොළයට පුරුදු කලොත් අඩුම ගානේ රු 5ක් වත් ඉතුරු වේවී ද..

Wednesday, June 20, 2018

ත්‍රිකෝණයකට පාද කීයක් තිබේද...

මේ දවස් වල මගේ බදාදා දවසේ උදේ 9 ඉදන් හවස 3 වෙනකම් ගත වෙන්නේ 1 වසරේ දරුවන් එක්ක..ඒ ගැන වැඩි විස්තර කියන්න කලින් මීට වසර කීපයකට කලින් මම මාරු කලා එතෙක් මම ඉගෙන ගත්ත සහ රැකියාව කල විෂය.. එහෙම කලේ මට ඕන උනා මේ අලුත් පරිසරයේ පුතාව එක්කන් යන්න ඕන මොන වගේ පාරවල් වලද කියලා කල් තියා දැන ගන්න, මොකද දැන ගියොත් නේ කතරගම යන්න පුලුවන්.. නොදැන ගියොත් අතරමඟ..

Tuesday, June 19, 2018

අම්මයි මමයි...

පහුගිය කාලයේ අහම්බෙන් මම බැලුවා මවුවරුන් සහ දරුවන් ගැන කතා කරන වැඩසටහනක්.. මේ වැඩසහටන මෙහෙය වූ නිවේදිකාව හැමදාම හැම අම්මා කෙනෙක්ගෙන්ම අහනවා වෙනස් නොවන ප්‍රශ්නයක් වැඩසටහන ආරම්භයේදී. ඒ තමයි මේ දැන් තමන් ලඟින් වාඩි වෙලා ඉන්න දියණිය හෝ පුතා මුලින්ම තමන්ගේ අතට ලැබුනු වෙලාවේ ඇති උනු හැඟිමයි, ඒ වෙලාවේ දරුවා මොන වගේ කෙනෙක් කරනවා කියල ද හිතුවේ කියලයි..

Monday, June 18, 2018

අනේ මට බැහැ ඕවා කරන්න...

ඔබ ගොලු දරුවෙක් දැක්කොත් සංඥා භාවිත කරන කතා කිරිමේ ( sign language) ක්‍රමය ඔබ ඉගෙන ගෙන උගන්වන්න.

ඔබ දෙඇස් නොපෙන දරුවෙක් දැක්කොත් බේල් ක්‍රමය ඔබ ඉගෙන ගෙන උගන්වන්න.. ඔබේ කටහඬ භාවිතා කර ලෝකය දකින්න පුලුවන් ක්‍රම හදන්න.

ඔබ අත පය වල කිසියම් ආබාධයක් ඇති දරුවෙක් දැක්කොත් කෘතීම ශරීර අවයව හැදීමට ඉගෙන ගෙන ඒ දරුවන්ට ලබා ගන්න ඉඩ හදන්න..

Friday, June 15, 2018

ඉපදෙනකොටම දරුවන් කතා කරන දවසක් ඒවිද...

පුංචි දරුවන් කියන්නේ ලෝකය අනාවරණය කර ගැනීම එකම අරමුණ කර ගනිමින් නොනවත්වා "වීර චාරිකාවේ" යෙදෙන "දේශ ගවේෂකයෙක්" ලෙස හැඳින්විය හැක.. ඒ නිසා තමයි දරුවන් හදා වඩා ගැනීම බොහෝ වෙහෙසකර වෙන්නෙත්.. එසේ නොකරන දරුවෙකුගේ වැඩීමේ ( ශාරිරික සහ මානසික ) නොයෙකුත් ගැටලු අනිවාර්යයෙන්ම දකින්න පුලුවන්.. එය කිසිසෙත්ම මේ "වීර චාරිකාවේ" යෙදෙන්න ගැටලුවක් කර නොගන්න ක්‍රම සහ විදි වැඩිහිටි ඔබට සොයා දෙන්න හැකියි ඔබ ඒ දරුවාගේ ගැටලු හඳුනා ගන්න සුදානම් නම් විවෘතව..

Wednesday, June 13, 2018

ඔබට මොහොතකට වැටහුනාද..

මුදල්, සැප සම්පත්,අධ්‍යාපනය, අඩුවක් නැතුව කෑම බීම ඇතුලු සියලු දේ තිබුනත් මිනිස්සුන්ගේ තියන ප්‍රශ්න නම් අඩුවක් නැහැ..අත් හරින්න ඉගෙන ගන්නා තුරු කියා මට සිතේ.

Tuesday, June 12, 2018

ගැලපෙන්නේ නැති නම් ඇති වැඩකුත් නෑ .....

පහුගිය දිනවල පොඩි නිවාඩුවකට බ්‍රිස්බේන් ගිය වෙලාවේ නගරය පුරාම කහ කුරුල්ලෝ වගේ රවුම් යන මේ Lipton බයිසිකල් අපි ඉන්න නගරෙත් තියනවා නම් කියලා හිතුනට තැනිතලා පාරවල් වලට වඩා කඳු පාරවල් වැඩිපුර තියන මේ කඳුකරයට ගැලපෙන්නේ නැති නිසාම වෙන්න ඇති දකින්න නැත්තේ..

Saturday, June 9, 2018

දිනෙක හිරු බැස යන වෙලාවක....

 මගේ පුතා කියන්නෙ පුංචි කාලේ ඉඳන් මට ඕන වෙලා තිබුන, ඒත් දවසෙන් දවස හීනයක් උන නිදහස් නිවහල් ස්වාධීන ජිවිතේ ගෙවන්න හරිම අහම්බෙන් ඉඩ ලැබුනු, මගේ ජිවිතය බැඳ තිබු බොහෝ බැමි කඩලා දාපු කිසිම සැඟවීමකින් තොරව මට මං වෙන්න පායපු නොනිමෙන පහනක්..



Thursday, June 7, 2018

මුතුකුඩ ඉහළන මල් වරුසාවේ...

වැස්ස දවස් වලට පාරේ හැදෙන පුංචි පුංචි වතුර පිරුනු විල් වලට පනින්න, ඒ විල් වල ගැඹුර බලන්න ඔබේ දරුවන්ට ඔබ ඉඩ දෙනවද සතුටින්.. කැමැත්තෙන්...එහෙම ඉඩක් වෙන් කරන්න ඔබට කාලය තියනවද ඉතුරු වෙලා...

Monday, June 4, 2018

දියුණු යැයි කියනා නගරයක හිටියෙම නැද්ද කිසිම කෙනෙක්...


මව්වරුන් දහසක් අතර ඇයද මවකි..
ඇය පසුපස උදේ හවස දිව යන
 පිළිවෙලක් නැති එහෙත් කිසිඳු අඩුවකුත් නැති
 කුඩා දරුවන් දෙදෙනෙකි..

Saturday, June 2, 2018

සුවඳයි මල් සුවඳ සේ.. මිහිරී මී පැණි වගේ..

මගේ ජීවිතයේ මෙතෙක් හමු වූ සියල්ලන්ම හමු නොවුවා නම් හොඳයි කියා මට සිතෙන්නේ නැත්තේ ඒ හැම කෙනෙක්ම අද ඉන්න මා නැමැති චරිතය හැඩ ගස්වන්න දායක වූ බැවිනි.. ඔවුන් හමු නොවුනා නම් මාද අද ඉන්නවාට වඩා වෙනස් කෙනෙකු වනු නොඅනුමානය..

Thursday, May 31, 2018

දිලීප පොඩි පුතු සනීපයට නිදි...

"දිලීප පොඩි පුතු සනීපයට නිදි" කියන ගීතය මම ඇහුව දවසේ ඉඳලාම හරිම ආසාවෙන් ඇහුවත්, මීට අවුරුදු කීපයකට කලින් පරාක්‍රම කොඩිතුවක්කු කියන ලේඛකයා ලියූ, ක්රැලා කියන සංගීතමය නවකතාව කියෙව්ව දවසෙ ඉඳලා අහන්න හිතෙන්නෙම නැති ගීතයක්..අනිත් අයගේ හැඟිම් මගේ වගේම දැනෙද්දි,  මගේ ජීවිතේ එක අඩියක් පස්සට ගන්න මම පුරුදු වුනේ කවදා ඉඳන්ද කියලා නම් මට මතක නැහැ..

Saturday, May 19, 2018

උදව්ව: අනුකම්පාව.....වෙනස: බය...

කිසිම කෙනෙකුට උදව් කරන්න එපා "අනුකම්පාව" නම් හැඟිමෙන්, ඒ හැඟිම ඇතුලේ තියෙන්නේ අපිට ඒ වගේ උනේ නැනේ කියන "සතුට"..හැම කෙනෙකුටම තියනවා "ආත්ම ගෞරවයක්" කියලා දෙයක් බහුතරයක් නොදන්නවා නොපෙනෙනව වගේ හිටියට..

Wednesday, May 16, 2018

මේ ලෝකෙට ඕන අංග සම්පූර්ණ "සුපිරි" මිනිසුන් පමණක් ද...

ආබාධිත දරුවෙකුව වටහාගෙන, අප අවට සමාජය ඒ දරුවාට අවශ්‍ය විදිහට හැඩ ගස්සවමු ද.. ඒ කිව්වේ ආබාධිත අයටත් අපිට වගේම තනියම යන්න එන්න පුලුවන් විදිහේ මාර්ග පද්ධතියක්, ගෙවල්, ගොඩනැඟිලි හදන විට ආබාධිත අයට පහසු ක්‍රමත් ඇතුල් කිරීම වගේ මුලීක දේවල් හරි කරන්න පටන් ගනිමුද...

Tuesday, May 15, 2018

ඔබ සුදුස්සෙක් ද...

ඔබ රැකියාවකට සුදානම් විමේදි සමහර විට වසර ගණනාවක් ඒ රැකියා ක්ෂේත්‍රය වෙනුවෙන්ම වෙන් වූ විෂයන් හදාරමින් නව දැනුම සොයා යමින් ඒ වෙනුවෙන් විශේෂයෙන් සුදානම් වෙනවා නේද..

Sunday, May 13, 2018

නිදහස...

මම  ලියන අදහස් කියවන කෙනෙකුට, මා ඉපදී හැදී වැඩුණු පරිසරයට වඩා ඒ අදහස් බොහෝ පරස්පරයි කියා සිතේ නම් එහි කිසිඳු වරදක් නැත.. ඇත්තෙන්ම මා අද ජීවත් වන පරිසරයට අදින් වසර 6කට කලින් අහම්බයකින් මෙන් පැමිණි විට මට දැනුනේ  කිව නොහැකි තරම් සහනයකි. ඒ වගේම එතෙක් ආදර‍ය කල පරිසරයෙන් වෙන් වීමේ වේදනාවද දරා ගැනීම ඉතාම අපහසු උනත්, අද වන විට ඒ සියලු හැඟිම් කාලය විසින් නිවා සනහා සඟවා ඇත. 

Saturday, May 12, 2018

සහතික එකතු කිරීමේ රැල්ල පසෙකින් තබා "ඉගෙන" ගනිමු ද..

ඇයි මිනිස්සුන් හිතන්නේ ඉගෙන ගන්න ඕන පාසැල් යන කාලෙයි ඊට පස්සේ අවුරුදු කීපයකුයි විතරයි කියලා.. ඒ කියන්නේ ඉගෙන ගන්නේ කැමැත්තෙන් නෙමෙයි (ද) මේක ඉවර වෙන්නේ කොයි වෙලේද බල බල ද ඉගෙන ගන්නේ.. (මම මෙතන අදහස් කරන "ඉගෙන ගැනීම" කියන්නේ විභාග පාස් කිරීම නෙමේ හොඳේ..කොටින්ම සහතික එකතු කිරීම නෙමේ..)

Friday, May 11, 2018

ඔබ ඔෂීන් බලලා තියනවද පුංචි කාලේ...

ඔබ ඔෂීන් බලලා තියනවද පුංචි කාලේ, සිංහලෙන් හඬ කවපු.. එහි "සංසකු" කියන විප්ලවාදි හමුදාවෙන් පැනවිත් හිම කන්ඳක සැඟවී සිටින තරුණයා, පුංචි ඔෂීන්ව බේර ගන්න හැටි මතකද.. ඉන්පස්සේ ඔහු පුංචි ඔෂීන්ට ජීවිතය, ලෝකය, යුද්ධය ගැන බොහෝ දේ කියා දෙනවා... "සංසකු" ලඟ තිබුන පුංචි mouth organ එකින් වාදනය කල හරිම දුක හිතෙන පාලු නිසංසල හැඟිමක් ඇති ගීයත්, එහි තේරුමත් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.. මමයි පුතයි පහුගිය කාලේ මුල ඉඳලම ඔෂීන් බැලුව නිසා ඒ මතකය ආපහු අලුත් උනා..

Wednesday, May 9, 2018

සිතුවිලි සිර නොකර ආගන්තුකව සිතට ආ ලෙසම පිට වී යන්න දෙමු ද...

ඔබේ දරුවන් ජීවිතය ගැන හෝ හැඟිම් ගැන හෝ කතා කරන විට කලබල වෙන්න එපා, බය වෙන්නෙත් එපා, තරහා ගන්නත් එපා.. එයාලා අවට පරිසරයේ ගොඩාක් දේවල් අපිට වඩා ඉක්මනින් දකිනවා, ඒ වගේම දකින දේවල් ගැන ඉන්නේ හරිම කුතුහලයකින්.. ඒ දකින දේවල් වලින් එයාලටම ආවේණික සිතුවිලි ගොඩාක් එයාලගේ මොළය නොනවත්වාම හදලා දෙන නිසා, ඒ සිතුවිලි හිර නොවී පිට කරන්න අපි ඉඩ හදලා දෙන්නම ඕන..

Sunday, May 6, 2018

පැත්ත ගියත් ඇත්ත කියන්න බය නැති දරුවෙක් හදමු ද....

හැදෙන වයසේ පුංචි දරුවෙකුට අපි පැහැදිලි කරලා කිව්වොත්, ඇත්ත කියන එකෙන් හිතට දැනෙන නිදහස් හැඟිම, ඉඩ හදලා දුන්නොත් ඇත්ත කියන කොට දැනෙන්නේ හොඳ හැඟිමක් කියන එක, ඒ දරුවා පළවෙනි පියවර තබනවා පැත්ත ගියත් ඇත්ත කියන්න.. මොකද දරුවන් හැම විටම කැමැති තමන් හොඳ කෙනෙක් කියලා දකින්න.. දරුවන් විතරක් නෙමේ වැඩිහිටියන් වුනත්..කිසිම කෙනෙක් කැමැති නැ තමන් වැරදිකාරයෙක් වෙනවා දකින්න..

Friday, May 4, 2018

හිතා ගන්න බැහැ එහෙම දෙයක් වුනා කියලා...

කෙනෙක් හිතා ගන්න බැරි විදිහේ දරුණු වැඩක් කල විට එහෙමත් නැත්නම් පාඩුවෙ හිටපු කෙනෙක්  පුංචි දේටත් අසීමිතව තරහ ගන්න විට ගොඩක් අය කියන දෙයක් තමයි, "ඒ කෙනා හරිම අහිංසක, හරිම ඉවසීමක් තිබ්බ, හරිම හොඳ තමන්ගේ පාඩුවෙ ඉන්න කෙනෙක් නෙ, හිතා ගන්න බැහැ එහෙම දෙයක් වුනා කියන එක"

Thursday, May 3, 2018

නිහඬ කල්පනා ලොවක තනි වීලා ලියමි...

අද උදේ මම පුතාව ඉස්කෝලෙන් බස්සලා ගෙදර එන ගමන් දැක්කේ lanes 7ක් තියන පැයට කිලෝමීටර 60ක (60ක් කිව්වට ඊට ටිකක් වැඩියෙන්) වේගෙන් වාහන යන හරිම කාර්යබහුල පාරක මැද, පාර පනින්න ගිහින් නතර වී ඉන්න මහළු වයසේ කෙනෙක්.. (අපි ඒ කෙනා ඉපදුනු රට, ජාතිය, ආගම ගැන කතා නොකර ඉමු, මොකද අපි හැමෝම මිනිස්සු විතරක් නිසා මොන විදිහට බෙදුවත්)

Wednesday, May 2, 2018

පුංචිම කාලේ තනිවම හිතිලද මහණ වුනේ...

ළමාවියේ කිරි සුවඳ ගියේ නැති,
ළමාවියේදි 
කසාවතක් ඇඳ පොඩි හාමුදුරුවෝ
පුංචිම කාලේ තනිවම හිතිලද මහණ වුනේ...

මේ හැම කෙනෙක්ටම ඉන්නවා අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්.. ඒ අම්මලා තාත්තලාටත් ඉඳලා තියනවා දෙමාපියන්.. කිසිම කෙනෙක් ඕපපාතිකව මේ ලොකේට එන්නේ නැහැනේ තවම නේද... ඒ දෙමාපියන් විසින් හෝ මේ දරුවන් අවට ජීවත් වන වැඩිහිටියන් විසින් හෝ කුමන හෝ හේතුවක් මත කහ සිවුරක් ඇතුලේ හංගන්න හදන ළමා විය ගැන ලියැවුනු මේ ගීය ආයෙමත් අහන්න හිතුනේ, බ්ලොග් කියවන්න ලියන්න ගිහින් හම්බුනු තවත් සුන්දර ලියන්නෙක් ලියලා තිබුන කවියක් නිසයි.. (ලියන්නෙක් කිව්වට ලියන්නෙක් විතරක්ම නෙමේ, උයන, අඳින, මවන , වවන කෙනෙක් )

Sunday, April 29, 2018

මං ආ මඟ නවතින්නම්...බිඳුවක් ඈතින් ඉන්නම්.....

ගියවර නිවාඩුවට කැන්බරා ගිය වෙලාවේ කැලෑබඳ ප්‍රදේශ වල නිදැල්ලේ ගැවසෙන කැන්ගරුවන් රංචුවක් දුටු අපට ඒ කැන්ගරුවන් ලඟට යන්න කලින් ලැබුනු අවවාදයක් වුනේ, ඒ සතුන්ට හොඳින් පෙනෙන ලෙස හිස පහත් කරමින්, සතුන්ගේ ඇස් දෙස කෙලින් නොබලා, ඒ සතුන්ගේ හැසිරිම් අනුකරණය කරමින් හිමින් ලං වී කලබල නොවි නිහඬව ඉන්නා ලෙසයි..

Friday, April 27, 2018

ඇයි මිනිස්සුන්ට ඇස් දෙකක් ලැබුනේ.....

මිනිසුන්ට ස්වාභාවිකවම ඇසීම ලැබී තිබෙන බැවින්, ඇසෙන හැමදේම ඔලුවේ පුරවාගනී.

මිනිසුන්ට ස්වාභාවිකවම පෙනීම ලැබී තිබෙන බැවින්, පෙනෙන හැමදේම තමන්ගේ කරගනී, මොකක් හෝ අඩු පාඩුවක් දකී.

මිනිසුන්ට ස්වාභාවිකවම හිතන්න පුලුවන් බැවින්, ඇසුනු පෙනුනු හැමදේම ඉතා ඉක්මනින් වැරදිකරුවන් කිරීමට පෙළබේ..

Wednesday, April 25, 2018

හිරු නම් බැස යන්න ඔන්න මෙන්න....

හිරු නම් බැස යන්න ඔන්න මෙන්න, ඒත් වළාකුළු මැව්වේ වචන වලින් ලියලා පැහැදිලි කරන්න බැරි තරමේ හරිම ලස්සන සිතුවමක්..හැම වෙලේම පොඩ්ඩක් ඉවසීමෙන් වැඩ කරන්න පුලුවන් නම් ජීවිතේ විඳින්න පුලුවන් කොයි තරම් වැඩ තිබුනත්...

Monday, April 23, 2018

දන්නවද දැන් ගින්දරට අත ඇල්ලුවාට මුකුත් වෙන්නේ නැහැනේ....

කාලෙකට කලින් උපේක්ෂා ස්වර්ණමාලී කියන ගැහැනියව 360 කියන දේශපාලන වැඩසටහන මෙහෙය වන තවත් ගැහැනියක් වන දිල්කා සමන්මලී ප්‍රශ්න කිරීමකට ලක් කරන හැටිත්, ඒ ප්‍රශ්න කිරීම වලට උපේක්ෂා කියන ගැහැනිය දෙන පිළිතුරු වලට උපහාසයෙන් හිනා වෙන, දෙවරක් නොසිතා ඇයට අපහාස කරන්න පෙළබුනු මිනිසුන් (ගැහැනු/පිරිමි) දැකපු මට හිතුනේ රූපවාහිනි නාලිකා මොන තරම් නම් සාර්ථකව (බහුතර ලාංකීය) මිනිස් මනස ග්‍රහණය කරගෙන තියනවා ද යන්නයි... වැඩසටහන අතරතුර දිල්කා සමන්මලී නම් ගැහැනියගේ මුහුණේ හැඟිම් ද නිහඬව කියවූ මට සිතුනේ රැකියාව බේරා ගැනීමට අමතරව ඇයත් එයින් කිසියම් වින්ඳනයක් ලබන බවයි..

Sunday, April 22, 2018

ගීයකින් කෙසේ කියම් සිතුම් ලයේ කිව්වට ගී වැල් ගොතලා බලමුද...

නෙලන්න බැරි අතු අඟ මල් මොටද පිපෙන්නේ, ලැබෙන්නේ නැති වස්තුවකට කිම සිත යන්නේ කියන පද ටික ලඟදි දවසක ඇහෙද්දි, මලේ මලේ ඔය නා මල නෙලා වරෙන් - අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන් කියන පද මතක් උනත්, ඇදි ඇදි යන්න නදී රිදි තලාවෙ වගේ කාලය කවුලු දොරින් පැන යන හින්දම, සීතල දිය පිරි සුනිල විලක පිපුනු සුවඳ මලට දේදුන්නෙන් පියඹා එන, සමනලුන්ගෙන් මම ඇහුවෙ නැ කියන්න කවුද ඔබ කියා අහන්න උනිමි බල බලා කියා..

Friday, April 20, 2018

එකෝමත් එක දවසක නෙමේ හරියටම අවුරුදු 7කට කලින් ඉපදුනු පුංචි පුතේ...

පුංචි පුතේ, ඊයේ පෙරේදා පහු වුනේ  ඔයාගේ හත්වෙනි උපන්දිනය, පුංචියට හිටපු ඔයා දැන් දැන් වඩාගන්නත් බැරි තරම් ලොකුයි.. පුතා මටත් වඩා උස යන දවසත් වැඩි ඈතක නෙමේ...

Tuesday, April 17, 2018

"බුදු හාමුදුරුවන් කියා ඇති දේවල් වෙනස් කරන්න අපිට බෑනේ.."

මිනිසුන්ව අභිබවා ගිය (සුපිරි) චරිත ආගම් වලින් මවා තියෙන්නේ ඇයි කියා සිතන විට මට සිතෙන්නේ, මිනිසුන් එකිනෙකා කෙරෙහි නොරිස්සුම් හැඟිම් වලින් වැඩ කරන නිසා කියලයි..

Monday, April 16, 2018

ඔබට "පින්" කරන්න(ම) ඕන කියා සිතුනු විට....

ඔබට "පින්" කරන්න(ම) ඕන කියා සිතුනු විට (බොහෝ විට ඔබේ සිතට යම් අසරණකමක් තනිකමක් දැනුනු විට එහෙමත් නැත්නම් දහදුක් විඳ මුදල් හදල් හොඳින් ගැවසෙන විටක) ඔබ වෙනුවෙන් වෙහෙසෙන (එක් දිනක් හෝ එක් තප්පරයක් හෝ) ඔබේ ආදරණීයයන් වෙනුවෙන් දිනක් වෙන් කර ඒ අයට විවේකයක් දී ඒ අය වෙනුවෙන් වෙහෙසෙන්න පුරුදු වෙන්න, කොහේවත් නැති ඔබේ ජීවිතය වෙනුවෙන් කිසිවක් නොකල අය වෙනුවෙන් වෙහෙසීම පසෙක තබා.

Wednesday, April 11, 2018

කූඹියෝ කන සහෝදරයාට ලියමි..

රැවටිලිකාර කුරිරු අතීතයක
සැඟවී ගිය  මිනිසුන්ගේ මිනිස්කම
සොයන්න හැකි නම් ඒ
මිනිසුන්ටම පමණි...
හැබැයි තරඟයෙන් මිදුනු
මිනිසුන්ට පමණි...

Monday, April 9, 2018

අළු යට සැඟවූ යොවුන්වියේ හැඟිම් නම් ගිනි කඳු තව දුරටත් සඟවමු ද.. නැතිනම් නිවා සිසිල් කරමුද..

යොවුන්වියේ හැඟිම් ගැන (පමණක් නොව පොදුවෙ හැඟිම් ගැන) සමාජයක් තුල බොහෝ විට කතා කෙරෙන්නේ කිසියම් වරදකාරි බවක් බලෙන් ඔබ්බවා මිස ඇත්ත ඇති සැටියෙන් දකිමින් නොවේ කියා මට බොහෝවිට සිතේ..

Friday, April 6, 2018

තම ජීවිතය ගැන කළකිරේ නම් අනුනට බර පටවමු ද....


ගිහි ජීවිතය කලකිරී (නො)කියා පැවිදි වන අය (ඉතාම සුලුතරයක් හැර) තම මරණය තෙක් යැපෙන්නේ කාගෙන් ද.. තම යැපීම ගිහි ජීවිතය ගෙවන අයට බලෙන්ම බාර දී නේද ස්වකැමැත්තෙන් හෝ අන් අයගේ බලපෑම් මත ගිහි ජීවිතය   අතහැර යන්නේ.. දැන දැනම  තවත් කෙනෙකුගේ දාඩිය මහන්සියෙන් තමන්ගේ යැපීම පවත්වා ගන්න නම් ඇයි ගිහි ගෙය අත හැර යන්නේ..

Thursday, April 5, 2018

මතක සටහන් අවදි කරවන ගීයක් වැනි සියවන සටහන...

පෙර පාසල් වියේ සිට 5වෙනි වසර දක්වා නර්තනයට වැඩි දස්කමක් සහ ආසාවක් දැක්වූ මා හට 6 වසරේදි පාසැලට බාර දෙන්න පැමිණි පියා විසින් තෝරා දී තිබුනේ සංගීතය බැවින් එදා සිට 11 වසර දක්වා පෙරදිග සංගීතය හැදැරුවේ විභාගයට මුහුණ දිමේ අරමුණින් නම් නෙමේ මම.. කොහොමත් මම දෙයක් (හදවතින්) ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්නේ විභාගයකදි දැනුම මැන බැලිමේ අදහසකින් නෙමේ.. හුදෙක් ඒ ඉගෙන ගන්නා දෙය රසවිඳිමේ හෝ එදිනෙදා ජීවිතයේදි භාවිතා කිරීමේ අරමුණින් පමණයි..

Tuesday, April 3, 2018

මිනිස්සු තෝරා ගත් එක් තැනක් හෝ කෙනෙක් වෙනුවෙන් පමණක් ඕනවටත් වඩා වෙහෙසෙන්නේ ඇයි ?

මිනිසා කියන්නේ පරිණාමිකවම තමන් වෙනුවෙන් ගොඩ ගැසීම පුරුදු කරපු කෙනෙක් මිනිස් ජීවය පවත්වා ගන්න.. අනිත් ඕනම පණ ඇති/නැති දෙයක්/කෙනෙක් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් යොදා ගන්න පසුබට නොවන කෙනෙක්.. එනිසයි මිනිසා කියන සතා තවම පැවැතෙන්නේ..

Saturday, March 31, 2018

ආගම් සහ ලිංගබේදය...

ඔබ කවදහරි ප්‍රශ්න කරලා තියනවද මේ ලෝකේ තියන (බහුතරයක්) ආගම් වල නිර්මාතෘන් කොහොමද පිරිමි අය පමණක් උනේ කියන එක සහ ඒ ආගම් වල සඳහන් සියලු දේ කිසිඳු ප්‍රශ්න ඇසීමකින් තොරව හිස්මුඳුනින් පිළිගෙන පිළිපදින බහුතරයක් නොයෙක් අයුරින් සමාජයක  අසාධාරණයට සහ අසරණවීම් වලට ලක් වෙන ගැහැනු අය වීම ගැන.


ප.ලි.: ඔබ දන්නා වර්තමානයේ මිනිසුන් අදහන ගැහැනු කෙනෙක් නිර්මාණය කල ආගමක්  තිබේ නම් මෙහි සඳහන් කරන්න.. 

Wednesday, March 28, 2018

ඇයි මිනිස් පැටව් ඉපදෙනකොටම කතා කරන්නේ නැත්තේ, ඇවිදින්නේ නැත්තේ ?

තාක්ෂණය දියුණු වෙද්දි දරු උපතක් සම්පුර්ණයෙන්ම 
ගැහැනියකගේ ශරීරයෙන් ස්වාධිනව 
සාර්ථකව කරන්න සොයා ගත්තොත් 
මව් සෙනෙහස මෙලොවින් තුරන් වේවි ද...  
ඔබට මොකද හිතෙන්නේ...  
ගැහැනියක් තුලින් (මව්) සෙනෙහස මතු වෙන්නේ
 කුමන හේතු නිසා කියල ද 
ඔබට හිතෙන්නේ..

Monday, March 26, 2018

අතීතය සිහිනයක් පමණයි... සැබැ සුවඳක් නෑ ද...

අම්මත් එක්ක පොඩි කාලේ  එක්තරා දවසක කොළඹ කොටුවෙන් කෝච්චියට නැග්ග මම ටික වෙලාවකට පස්සේ පැණි දොඩම් ඉල්ලලා අම්මට කරදර කලේ ඒ සුවඳට මම ගොඩක් ආදරය කල නිසා වෙන්න ඇති දැනුනු.. කොළ පාට පැණි දොඩම් පුරවපු ඒ පුංචි කූඩයේ තැනින් තැන ලෙලි ඇරපු රත්තරන් පාටින් බැබළෙන දොඩම් මුලු කෝච්චියම සුවඳ කලාට දොඩම් ගත්තේ හරිම  ටික දෙනයි.. 

Sunday, March 25, 2018

මා වැනි බිළින්ඳා...වර වර ලඟට කැන්ඳා...

කිසියම් රටක ප්‍රාථමික අධ්‍යාපනය කටපාඩම් කිරීමකින් තොරව ගුරුවරයා සහ දරුවා අතර විවෘත ප්‍රශ්න ඇසිමේ සහ පිළිතුරු දිමේ ක්‍රමවේදයකින් දැනට සොයාගෙන තිබෙන දැනුම තුලින් කල හැකි අලුත් ධනාත්මක දේ ගැන සාකච්ඡා කෙරෙන ක්‍රමයක් සැකසුනා නම් ..(විභාග වලින් දැනුම මැනීම නතර කර )

Friday, March 23, 2018

මිනිස්සු මැරෙන්න බය ද....

මිනිසා මැරෙන්න බය නිසා ද එහෙමත් නැත්නම් ජීවත් වෙන්න තියන ආශාව වැඩිකම නිසාද මිනිසෙකුගේ සාමාන්‍ය ආයු කාලය තුල පිළිපදින්න සිරිත් විරිත්, නිතී රිතී, අදහන්න ආගම්, දර්ශනයන් බිහි කරගෙන ඉන්නේ?

Wednesday, March 21, 2018

දන්නවද හැම දේකටම වැස්ස කතා කරන විදිහක් තියන බව..

ඔබ කවද හරි අහගෙන ඉඳලා තියනවද වැස්ස වහින විදිහ හරියට ඇස් නොපෙනෙන කෙනෙක් වගේ... අවට පරිසරයේ තියන දේවල් ගැන වැහි බිඳු වල හඬින් අවබෝධයක් ඇති කර ගන්න ඔබට පුලුවන් ද.. ඒ කිව්වේ ඔබ ඉන්න නිවසේ දිග පලළ.. වහලේ තියෙන්නේ කොපමණ උසකින් ද..  අවට ගස් කොළන් ගැන...

Tuesday, March 20, 2018

මට දෙන්න මගේ පුංචි කාලේ... කීයටවත් මට නම් එපා....

බොහෝ දෙනා පුංචි කාලය තරම් වැඩිහිටිවිය නිදහස් නැහැ කියා කිව්වත් මට නම් හිතෙන්නේ පුංචි කාලයට වඩා ජිවිතය එන්න එන්නම ස්වාධින වී නිදහස් වන බවක්.. එහෙම නැති නම් ඒ තමන් විහින් ජීවිතය හිර කර ගැනීමක් පමණයි වෙන්නේ..

Monday, March 19, 2018

මිනිස්සුන්ට අත් දෙකක් තියෙන්නේ ඇයි....

එක් මිනිසෙක් තවත් මිනිසෙකුට තර්ජනයක් නොවන තැනකට මිනිස් මනසේ මිනිසා ගැන අවබෝධයක් ඇති කරන්නේ කෙසේ ද...

Saturday, March 17, 2018

ඔබ කෙනෙකුට දැනෙන්න ආදරය කරන්නෙක් ද....

යනෙන මඟ මල් පිපී සුවඳ දේ නම් 
නොයන් පුත ඒ මල් කඩා විසිරුවා
පයට පෑගෙන මල් පෙත්තක වුව 
සියුමැලි බව දැනෙනු ඇතැයි සිතමි
එමල් සුවඳ විඳින මතු දිනෙක නුඹ...

Thursday, March 15, 2018

ගිරව් කතා කරන්නේ කොහොමද...

අපේ ගෙදර දිනපතා බුදු පහන තියෙන්නෙවත් මල් පුජා කරන්නෙවත් හඳුන්කූරු පත්තු කරන්නෙවත් නැහැ.. ගිරවෙක් වගේ පන්සිල් ගන්න පුතාට බල කරන්නෙත් නැහැ....කාලෙකට කලින් අත්තම්මා කියනවා අහගෙන ඉඳලා කට පාඩම් උනත්...

Wednesday, March 14, 2018

ලොවම නිදන රාත්‍රියේ.. මා නොනිදන මේ රැයේ....

දරුවෝ ටික ටික ලොකු වෙනකොට හරි කැමතියි අපි එයාල එක්ක කතා කරනවා නම් වෙනම වෙලාවක් වෙන් කරගෙන.. මගෙයි පුතාගෙයි මේ වෙලාව තමයි නිදා ගන්න වෙලාව, ගෙදර ඔක්කොම ලයිට් නිවලා සද්ද බද්ද නැති නිහඬම වෙලාව, මේ වෙලාවට සාලෙ තියන බිත්ති ඔරලෝසුවේ තප්පර කට්ටේ සද්දෙත් ඇහෙනවා..ඒ තරන්ම නිහඬයි...

Monday, March 12, 2018

ඇතුල හිස් ද....

රබර් බෝලයක් අත් දෙකින් තද කරලා බලෙන් වතුර යට තියා ගන්න පුලුවන්..ඒත් ඔබ අත හැරියම මෙතෙක් සැඟවිලා තිබුන රබර් බෝලය හැමෝටම පේන්න වතුර උඩ පා වෙනවා..

Sunday, March 11, 2018

ඔබ සැමදා පියවරක් පිටුපසින් මා ලඟ සිටිමින් ඇරුණු දොරටු පෙන්වයි...

මගේ පුංචි කාලය සහ නව යොවුන්විය ගැන ආපස්සට හැරිලා බලද්දි මටම පෙනෙන එකිනෙකට පරස්පර හැසිරීම් පිටුපස ඉන්නේ මගේ අම්මයි තාත්තයි කිව්වොත් එය නිවැරදියි මම හිතන්නේ... පුංචි කාලේ මම එක තැනක ඉන්න බැරි තරම් දඟකාර උනත් ටික ටික ලොකු වෙද්දි දෙමාපියන් ඇසුරෙන් ලැබුනු අවවාද ඒ දෙදෙනාගේ ක්‍රියාකලාපයන් දිහා නිහඬව බලන් ඉන්න මගේ මොළය ටිකෙන් ටික ඒ දඟකාරකමට සමු දීලා මාව නිහඬ කලේ හිත ඇතුලේ නොනවතින සිතුවිලි ගඟක් එක්ක..

Friday, March 9, 2018

ඔබ බිය විය යුතුයි නමුත් කලබල නොවිය යුතුයි...

අතීතයේ සිට ලෝකයේ විවිධ සථාන වල ජීවත් වන මිනිසුන් තම අදහස් එකිනෙකා සමඟ හුවමාරු කර ගැනීමට භාෂාව නමින් ක්‍රමෝපායක් බිහි කරගන්නා ලදී..මේ භාෂාව බිහි වන්නේ ඒ ඒ මිනිසා ජීවත් වන පරිසරය මත බව හොඳින් දන්නා ඔබ ලොකයේ විවිධ ස්ථාන ඇසුරු කරගෙන විවිධ කාල වල විවිධ භාෂාවන් බිහි වීම ගැන පුදුම විය යුතු නැත.. කලබල විය යුතුත් නැත.

Thursday, March 8, 2018

රාමුවක් හදා ගෙන ඉන්නේ කවුද....

ඔබේ දියණිය පුතෙක් ලෙසත් ඔබේ පුතා දියණියක් ලෙසත් හැසිරෙන්න හිතුවොත් එයට ඔබ දක්වන ප්‍රතිචාරය මොන වගේ ද..ටිකකට නැවතිලා හිතන්න දියණියක් සහ පුතෙක් මෙන්න මේ වගේ හැසිරෙන්න ඕන කියලා රාමුවක් හදා ගෙන ඉන්නේ කවුද,ඒ රාමුව හැදුනේ කොහොමද කා අතින් ද..

Wednesday, March 7, 2018

මිනිසා සුවඳයි මල සේ (ද) නුවණින් එළියයි හිරු සේ (ද)..

මිනිසුන් ජීවත් වන කිසියම් තැනක නීතිය සංස්කෘතික අංග වලින්, ආගම් වලින් (වගේම තව නොයෙකුත් දේවල් වලින්) වියුක්තව සෑම කෙනෙක්ම මිනිසෙක් පමණක් බව සිහියේ තබා ගෙන ස්වාධීනව හදා ගන්න මිනිස් දැනුම කාලය ශ්‍රමය වැය කරනවා මිසක් එක් එක් පුරවැසියා තම තමන්ට දැනෙන දේ අනූව නීතිය අතට අරගෙන ක්‍රියාත්මක වීමෙන් වෙන්නේ ඉදිරියට යාම වෙනුවට හැමෝම ආපස්සට යෑම කියන එක ඉතාම ඛේදනීය අතීතයකින් පසුවවත් මිනිස්සු ඉගෙන ගන්න ඕන බුද්ධිය මෙහෙයවා.. එයට මේ තරම් කල් යන්නේ හැඟිම් වලට වහල් වෙන බහුතරයක් නිසා පමණයි.

Tuesday, March 6, 2018

නුවරට පිපිනු මලක්...

නුවර, එහෙමත් නැත්නම් මහනුවර කියන්නේ මම ආසම කරන නගරයක්.. නුවරට පිපිනු මලක් (ඒ කාලේ කියෙව්ව පොතක නමක්) වගේ මම උදේ හවස නුවර ආවේ ගියේ 6 වසරේ ඉඳලා 9 වසර වෙනකම් කෝච්චියේ ඉතාම සුන්දර මතකයන් ගොඩක් එක්ක.. අපිට තිබුනා පුංචි කල්ලියක්, ලොකු පොඩි වගේම එකම වයසේ විවිධ පාසැල් වලට ගිය අපි අතරේ හිනාව, කඳුල වගේම රණ්ඩු සරුවල් එක්ක බැඳුනු එකමුතුකමකුත් තිබුනා..

මිනිසාට මිනිසා තවම 100% විස්වාස නැද්ද...

දාන මාන කරද්දි ඔබ ඔබට ලැබෙන පින් කන්ද ගැන විතරක් නොහිතා ඒ දානය දෙන කෙනා හෝ අවස්ථාව ස්වාධීන මිනිසුන්/පරිසරයක් බිහි කරන්න භාවිතා කරනවා නම් ගිය ආත්ම වල පව් කරපු අය අඩු වෙලා පින් කරපු අය වැඩි කර ගන්න මේ ආත්මයේම පුලුවන් වෙයි කාලය එක්ක මට හිතෙන්නේ...

Sunday, March 4, 2018

මිනිස්සු ඉගෙන ගන්නේ ඇයි...

මගේ පුතා එක එක කාලේට එක එක විදිහේ ප්‍රශ්න අහන ඒ ප්‍රශ්න වලට අපි දෙන උත්තර වලට තාර්කික ප්‍රශ්න හරි උත්තර හරි දීල අපිව හිතන්න පොළබවන්න හරි දක්ෂයෙක්.. දවසක් අහනවා ඇයි අපි ඉස්කෝල යන්නේ කියලා.. ඉගෙන ගන්න කිව්වම අහනවා ඇයි ඉගෙන ගන්නේ කියලා..

Friday, March 2, 2018

බහුතර මතය ගැලපෙන්නේ මොන වගේ මිනිස්සු බහුතරයක් ඉන්න සමාජයකට ද..

යල් පැනපු මති මතාන්තර වලින් ඔලුව පුරවගෙන ඉන්න මිනිස්සු බහුතරයක් ඉන්න,

අනිත් කෙනාට මොනව උනත් කමක් නැ "මම" ගොඩ ගියොත් කියලා හිතන බහුතරයක් ඉන්න, (මේ මම ඇතුලේ ඉන්නවා නම් පරම්පරා දහයක් විතර)

නීතියටත් උඩින් ජාතිය,ආගම්,සිරිත් විරිත් ඔලුව උඩ තියාගෙන ඉන්න බහුතරයක් ඉන්න,

Wednesday, February 28, 2018

පට්ටපල් බොරු (ද )....

ආත්ම තෘප්තියට කියමින් ලියන අය තමන් ලියන දෑ අන්තර්ජාලය වැනි නිදහස් අවකාශයකට මුදා හැරිය යුතු ද.. එසේ මුදා හැරීමෙන් පසු කිසිවෙක් තමන් ආත්ම තෘප්තිය සඳහා පමණක් ලියූ දෑ තමන්ට කියා හෝ නොකියා හෝ උපුටා වෙනත් තැනක තමන් ලිව්වාක් මෙන් පළ කිරීම ගැන කලබල විය යුතු ද...

Tuesday, February 27, 2018

ඇයි ඔබ දරුවන් බිහි කලේ...

ඔබේ දරුවන්ට දිනක කියන්න ඇයි ඔබ ඒ අයව මේ ලොකේට බිහි කලේ කියන එක.. ඔබ එක් එක් අයට එක එක විදිහේ හේතු ඇති... මම හිතන්නේ දරුවා දැන ගන්න ඕන දෙමාපියන් විදිහට අපි එයාලගෙන් කිසිම අවසරයක් නැතුව මේ සංකීර්ණ ලොකේට බිහි කරන්නේ මොන වගේ හේතු නිසා ද කියන එක.. මොකද්ද මේ මිනිස් ජීවිතේ අර්ථය කියන එක..

මා මිය ගිය පසු....

මා මිය ගිය පසු නම් සේකරයන් ලිව්වාක් මෙන්
දුක් ගී ලියන්න කියා නම්
කිසිවෙකුට කිසිඳා නොකියමි...
ඒ නන්නාඳුන නුඹේ ගී රාවයන්
රැව් නඟන ඒ හීන් හඬ යාන්තමින් නොව
පැහැදිලිව මට ඇසෙන බැවිනි..
මා දන්නා බැවිනි...
නොසඟවා  පෙම් කල බව
නුඹ
ජීවත්වන කෙටි කාලයේ ආදරය දැනෙන්න
ජීවත් විය හැකි නම් අඬ සඳ බැස යන
අඳුරු රැයක කුමටද දුක් ගී...

සේකරයක් ලියු සෝමදාස ඇල්විටිගලයන් සංගීතවත් කල
අමරදේවයන් ගැයූ
"මා මළ පසු" ගීය ඇසු දිනක ලියූවක්...

Monday, February 26, 2018

කුඩා පැළ නැවත සිටුවීම...

පොළවට  හොඳින් මුල් අල්ලා තිබෙන තවමත් වැඩෙන කුඩා පැළයක් වෙනත් පරිසරයකට ගෙන ගොස් පැළ කිරීමේදි අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග ගැන සිතන විට මුලින්ම සිහියට නැඟෙන්නේ, දැනට මුල් අල්ලා තිබෙන පොළවේ පසෙන් බොහොම පරිස්සමින් මුල් නොකැඩෙන පරිදි සෙමින් ගලවා නැවත ගැලපෙන පරිසරයක සිටු වන තෙක් ආරක්ෂාකාරි ලෙස තබා ගැනීමත්, නැවත සිට වු පසු කාලයක් යනතුරු නව පරිසරයේ උවදුරු වලින් ගලවා ගැනීමට උපක්‍රම යෙදීමත්.. නැත්නම් නැවත සිටු වන පරිසරය මොන තරම් සරුසාර උනත් පැළයේ වැඩීම නම් සැක සහිතයි කියා අමුතුවෙන් කියන්න ඕන නෑනේ...


Sunday, February 25, 2018

අදීපට දීපයක්....

අදීපට දීපයක් දෙන්න ඉදිරිපත් වූ මිනිසත්කම හඳුනන මිනිසුන් නිසාම නුඳුරු දිනක පහන් ගොඩාක් දැල්වේවී අදීපගේ දිවියේ.. ඒ එළියෙන් අදීප ලොව දකිනු ඇතැයි මා සිතමි..

සංකීර්ණ බව තුලින් සරල බව දකින්න නම්.....

පියෙකුට තමන්ගේ දරුවන්ට දිය හැකි එක් මහඟු ත්‍යාගයක් නම් 
තම දරුවන්ගේ මවට දැනෙන ලෙස එළිපිට ආදරය කිරීම 
කිව්වොත් 
ඔබ මා සමඟ එකඟ වෙනවද.. 

මවක් වූ ගැහැනියකට ආදරය කිරීම එතරම් පහසු නැත..
 (ඔබ කියාවි මට කොහොමත් ගැහැනියකට ආදරය කිරීම එතරම් පහසු නැත කියා, පසුව කතා කරමු ඒ ගැන) 
ඒ ඇය තුල එතෙක් සිටියාටත් වඩා චරිත 
ජීවත් වීමට පටන් ගන්නා බැවිනි.. 
ඒ සියලු චරිත අභිභවා "සංකීර්ණ" ඇය තුලින් "සරල" ඇයව 
දකින්න හැකි නම් 
ඒ පරිණත පිරිමියෙකුටම පමණි..



Saturday, February 24, 2018

ගැටලු විසඳන්න ඕනේම නම්...

ඉවසීමෙන් සැනසීම ලැබේ එහෙමත් නැත්නම් කාලය සෑම ගැටලුවකටම හොඳම පිළිතුරයි කියලා කිව්වට ඉවසීමෙන් කාලයට ඉඩ දිලා බලන් හිටියටම ගැටලුවකට නිවැරදි පිළියම් ලැබිල විසඳෙනවද.. මට නම් හිතෙන්න ඉවසීම සහ කාලය අතරට තව දේවල් එකතු වෙන්න ඕන කියලයි... 

Thursday, February 22, 2018

මල් වැනි දරුවන් ඔබේ ද මගේ ද අපේ ද....

පුංචි දරුවන්ව පුලුවන් හැකි වෙලේම අගය කරන්න.. අඩු පාඩු දැක්ක ගමන් ඒවට කෑ ගහන්නේ නැතුව හෙමින් එයාලගේ මනසට එක පාර ලොකු පීඩනයක් නොඑන විදිහට පැහැදිලි කරන්න.. ගහන්නේ බනින්නේ නැතුව හරිම නිර්මාණශීලි විදිහට පුලුවන් දරුවෙක්ගේ මනසට කතා කරන්න යහමඟට ගන්න.. ගහලා බැනලා විතරයි දරුවෝ හදන්න පුලුවන් කියලා හිතන අය මෙතනින් එහාට මේ ලිපිය කියවන්න ඕන නැහැ..

Wednesday, February 21, 2018

නෑදෑයෝ අපි නෑදෑයෝ....

මිනිසා විසින් කුමන කාලයකදි හදා ගත් සංකල්පයක් ද කියා අපි හරියටම දන්නේ නැති උනත් අද වෙනකොට පවුල කියන්නේ සමාජයේ තියන කුඩාම ඒකකය.. මේ කුඩාම කුඩා පවුල් ඒකක තුලින් ලොකුම ලොකු වෙනස්කම් සමාජයකට දයාද වෙන්නේ අද ඊයේ ඉඳලා නම් නෙමේ...සරලම පවුල් ඒකකයක් ගත් විට මව, පියා සහ දරුවන් ඉන්න මේ පවුල් ඒකක හරහා දරුවන්ට ඉබේම දයාද වෙන තවත් කොටසක් තමයි නෑදෑයින් කියන්නේ... 

Monday, February 19, 2018

රෝල්ස් කමු...

ජීවිතෙත් ගොඩක් දේවල් රෝල්ස් වගේ තමයි.. පිටින් බලද්දි තියන දේ නෙමේ ඇතුලත තියෙන්නේ... ඒ නිසා රෝල්ස් කාලම බලමු.. 😃 😊😃 😊 

Saturday, February 17, 2018

සොරකම් කල පරම්පරාව....

කියවීම කවදා කොහේදී මොන විදිහෙන් මගේ ජීවිතේ කොටසක් උනාද කියන්න දන්නේ නැති නමුත්  කියවීම කියන්නේ එක්තරා රටා කියවීමක් මිනිස් මනස ඉතා ඈත අතීතයේ ඉඳලාම එක් එක් පියවර පසු කර පැමිණෙන... අකුරු   නිර්මාණය වී     නොතිබුන         අපි නොදන්නා   කාලයක      මිනිසුන් කියවීමට යොදා   ගත්තේ නොයෙකුත් හැඩතල හරහා මැවුනු විවිධ පාට වලින් යුත්  රූප... 


Friday, February 16, 2018

ගුරුවරයා, දරුවා සහ ඉගෙනීම....

මම මගේ පාසැල් කාලයේ දැක්ක මගේ හිත සසල කරපු සිදුවීම් අතරින් ඉහළින්ම තියෙන්නේ ඉගෙන ගන්න දුර්වල ළමයි කාලෙත් එක්ක තව තවත් දුර්වල වීම බොහෝ විට නොදැක්කා වගේ ඉන්න ගුරුවර/ගුරුවරියන්ගේ හැසිරීම්...

ගුරුවරයෙකුගේ වගකීම ඉගෙන ගන්න පුලුවන් දරුවන් විතරක් ඉදිරියට අරන් යන එක ද... එහෙමත් නැත්නම් 1 වසරේ ඉඳල ඉගෙන ගන්න දුර්වල දරුවන්ගේ දුර්වලකම් වලට පිළියම් හොයමින් ඒ දරුවනුත් කාලෙත් එක්ක ඉදිරියට අරන් යන එක ද..

Thursday, February 15, 2018

මිනිසා සතෙක් ද සතා මිනිසෙක් ද....

කිසිම සතෙක් ඔබ දැක තිබෙනවාද මිනිසුන් විසින් පුහුණු කිරීමෙන් තොරව මිනිසුන් මෙන් මිනිසුන්ව අනුකරණය කරන.. මිනිසා විසින් හදා ගත් සංකල්ප අනූව තනිව සිතා වැඩ කරන... සත්තු ජීවත් වන පරිසරයේ තියන මිනිසා විසින් හදා ගත් ආගම් වල සංස්කෘතීන් වල ඇවතුම් පැවතුම් තනිව සිතා කරන...මිනිස් ආකල්ප අනූව එක් එක් අවස්ථා වල මිනිස් හැඟිම් වටහාගෙන හැසිරෙන.... එහෙම ඉන්නවා නම් සත්තු කියලා නම් කරන්නේ ඇයි..


Monday, February 12, 2018

අම්මා....

අම්මා කියන චරිතය දෙස විවෘත මනසකින්  බලන්න, ඇයව ඇතුලතින් දකින්න ඔබට ඇරයුම් කරමින් මේ ගී වලට ඉඩක් වෙන් කරමි අද..

ඉපැදුනු දා මා හඬා වැටෙන්නැති
අම්මේ ඔබ හිනැහෙන්න ඇති
දෙතනේ කිරි දී මා සනසන්නැති
අම්මේ ඔබ හිනැහෙන්න ඇති...

බඩ ගා දණ ගා මා නැගිටින්නැති
වැටි වැටි යළි නැගිටින්නැති
අම්මේ ඔබ හිනැහෙන්න ඇති

මට නැගිටින්නට ඔබ අත දෙන්නැති
අම්ම මා සිප ගන්න ඇති
අම්මේ ඔබ හිනැහෙන්න ඇති

වන්දි ගෙවන්නට අද මට පින් නැති
බුදුන් වඳින ලෙස වඳිමි වැටී
ඔබ මතු බුදු බව ලබනු ඇතී....

Saturday, February 10, 2018

දේශය + පාලනය = දේශපාලනය (ද)....

මොකද්ද මේ දේශපාලනය කියන්නේ

දේශය + පාලනය = දේශපාලනය (ද)
මොකද්ද මේ දේශය
මොකද්ද මේ පාලනය

දේශය කියන්නේ අපි මේ ඉන්න ලෝකය (ද )

එතකොට කාවද පාලනය කරන්න තියෙන්නේ මේ ලෝකේ සත්තුද, ගහ කොළද, ගංඟා  ඇළ දොළද එහෙමත් නැත්නම් කඳු වැටිද 

Thursday, February 8, 2018

නීති රීති තිබුනේ නැත්නම් මිනිස්සු මොන වගේ හැසිරෙයිද...

එදිනෙදා දකින දේවල් ගැන මට හිතෙන දේවල් ඉඩ ලැබෙන වෙලාවක කොහේ හරි ලියන්නේ හිත කියන තැන පිරිසිදුවට පිළිවෙලකට තියා ගන්න මම කැමති නිසයි..සිතුවිලි හිතේ පිරෙන එක නවත්වන්න බැරි නිසා මෙහෙම ටිකෙන් ටික හිතේ ඇති වන සිතුවිලි එළියට අරගෙන වැඩක් ගන්න පුලුවන් විදිහට ලියන එක දැන් මගේ පුරුද්දක් වෙලා..

Wednesday, February 7, 2018

මොකාද මේ මිනිහා.....

සාමාන්‍ය අධ්‍යාපනය ලබන අතරෙම පුලුවන් නම් ඔබේ දරුවන් යොමු කරන්න "මිනිසා" ගැන ඉගෙන ගන්න. 

"මිනිසා" කියන්නේ කවුද, 
"මිනිසා" හැසිරෙන්නේ කෙසේද ,
"මිනිස්" හැසිරීම් ගොඩ නැඟෙන්නේ කෙසේද, 
"මිනිස්" ශරීරය හැදිලා තියෙන්නේ කොහොමද, 
"මිනිසාගේ" බාහිර ශාරිර අවයව හරහා කියවෙන භාෂාව කියවන්නේ කොහොමද,
"මිනිස්" ජීවිත බිහි වෙන්නේ කොහොමද, 
"මිනිස්" මොළය එක එක වෙලාවට එක එක විදිහේ චරිත රඟපාන්නේ කොහොමද ඒ ඇයි,
"මිනිසාට" කතා කිරීමේ හැකියාව සිතීමේ හැකියාව ලිවීමේ හැකියාව ලැබෙන්නේ කොහොමද,  මොකටද...

Monday, February 5, 2018

අකුරු මැකී නෑ කොළ ගැලැවී නෑ බොඳ වී නෑ සිතුවම්.......

පුංචි කාලේ හරිම සුන්දර මතකයන් අවදි කරවන මේ ජාතික  රූපවාහිනි තේමා ගීයත්, ස්වාධීන රූපවාහිනියේ තේමා ගීතයත්, මේ රට මගේ රට ගීතයත් මමයි මල්ලියි ඇහුවේ එකම පුටුවක ඉඳගෙන... ටික ටික ලොකු වෙන කොට පුටුවේ ඉඩ මදි උනාට එක් කෙනෙක්වත් පුටුව අත හරින්න ලෑස්ති නැහැ.. මතක විදිහට පුටුවේ දකුණු පැත්ත මල්ලිගේ,  වම් පැත්ත මගේ.. මම හැමදාම බැනුම් ඇහුවෙත් මගේ අත් අකුරු වමට බරයි කියලා....

Saturday, February 3, 2018

"මාරයිනෙ..... අපි දන්නෙ නෑනෙ ලොක්කො ඔය වගක්.”

හොරෙක් සහ කවි­යෙක්


"මං මිනිස්සුන්ගෙ ජීවිත ඇතුළට එබී බලල, ඒ ජීවිත ලබන අත්දැකීම් මගේ අත්දැකීම් කරගෙන, මං ඒවා නිර්මාණ බවට පෙරලුව. මං උඹලගෙ ජීවිත ගැන ලිව්වා...හොරකම පාපයක් කියනවට වඩා මිනිහෙක් හොරෙක් වෙන්නෙ ඇයි කියල ලිව්වා...මහපාරෙ වැඩකරන මිනිස්සු ගැන... වීදිවල බඩගින්නනට අඬන දරුවො ගැන... ජීවත්වෙන්න ඇඟ විකුණන ගෑනු ගැන... දූෂණය භීෂණය ගැන.... යුද්දෙන් මැරෙන මිනිස්සු ගැන... මේ හැම ජීවිතයක් තුළින් ලබපු අත්දැකීම්වලින් මං කවි ලිව්වා... ඊට පස්සෙ මං කවියෙක් බව මට දැනුණා... මං හොරකම් කළේ ඒ මිනිස් ජීවන අත්දැකීම්.. ඒවාවලින් පොත් ලිව්වා.. පත්තරවලට ලිව්වා.. සමාජගත කළා.. සම්මන්ත්‍රණ පැවත්තුවා.....”

හොරා කවියාගේ වාග් ශෛලීයට අවනතව සිටියේය. ඒ සුමට බව ඔහුගේ රළු ගොරහැඬි සිත තුළ සිසිල් දියදහරාවක් සේ ගලා ගියේය. කලකින් ඇසූ මිහිරි ගීයක් සේ සවන් තුළට කිඳා බැස්සේය.

Friday, February 2, 2018

පව් පින්.....

පව් පින් කියන සංකල්පය තිබ්බේ නැත්නම් කෙනෙක් තවත් කෙනෙකුට උදව් කරන එකකුත් නැ... සමාජයක තියන බොහෝ සංකල්ප මිනිස්සු "නිර්මාණය" කරගන්න ඇත්තේ මිනිස්සු ගැන තියන විස්වාසය එන්න එන්නම අඩු උන නිසා වෙන්න ඇති....

කෙනෙකුට උදව් අවශ්‍ය තැනකදි "ඇයි මම ඒ උදව්ව කරන්න ඕන, මොනවද ආපිට මට ලැබෙන්නේ" කියලා හිතන්න මිසක් තව කෙනෙක් වෙනුවෙන් තමන්ට කිසිවක් නොලැබි "සංවේදී" වෙන්න, මානසිකව අල්ලස් නොදී කෙනෙක් වෙනුවෙන් කැප වෙන්න  මිනිස්සුන්ට බැරි වෙන්න ඇති...

Wednesday, January 31, 2018

හරිම ලේසියි...කරන්න තියෙන්නේ නොගැටී නොබැඳී ඉන්න..


ඔබට කෙනෙක් හේතුවක් ඇතුව හෝ නැතුව රිදවනවා නම්, එහෙමත් නැත්නම් කෙනෙක් ආත්මාර්ථකාමි විදිහට හැසිරෙනවා නම් ඒ පුද්ගලයා සමඟ ගැටීම නවතා නිහඬව හොයන්න ඒ පුද්ගලයාගේ අතීතය, ජීවත් වුනු පසුබිම් පරිසරය වටා ගෙතුනු ඒ පුද්ගලයාගේ ජීවන කතාව ඔබට හෙමින් විවෘතව නිගමන වලට එන්නේ නැතුව කතා කරන්න පුලුවන් නම් ඔබට දකින්න පුලුවන් වේවි බොහෝ හේතු ඒ හැසීරිමට...  

Monday, January 29, 2018

ගහේ කටු උල් කරන්න ඕනෙද...

ගහක ස්වභාවිකව තියන කටු (අපි කියමුකෝ රෝස පඳුරක)  ඇල්ලුවොත් තියුණු බව දැනෙන්න නම් ඒ කටු තියන ගහ හැදුනු පරිසරය හොඳින් පෝෂණය වී තිබිය යුතුයි.. එහෙම නැති නම් ගහට සොබාදහමින් උල් කටු ලැබුනට ඈත ඉඳන් බලද්දි ඒ කටු උල් වගේ පෙනුනට ලං වෙලා අල්ලලා බැලුවම තමා තේරෙන්නේ ඒ කටු වල කිසිම ප්‍රාණවත් බවක් නැහැ කියලා...


Saturday, January 27, 2018

දෙබිඩි වැඩිහිටියන්ගේ (දෙබිඩි) දරුවන්......

බොහෝ වැඩිහිටියන් කෙනෙක් වෙනුවෙන් ඇති වන "ආදරයක්" දරුවන්ගෙන් සඟවා ගනී... 

ඒ වැඩිහිටි අයම කෙනෙක් වෙනුවෙන් ඇති වන "වෛරය" (තරහ) කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව දරුවන් ඉදිරිපිට පිට කරයි... 

ඉතින් තමන්ට එළිපිට පෙනෙන දෙයට ප්‍රතිචාර දක්වා වැඩෙන "මිනිස්" මොළයක් හිමි දරුවෝ තම වැඩිහිටියන්ගේ  අඩි පාරේ ගමන් කරයි.

Friday, January 26, 2018

සරලව ජීවත් වෙන්න....සිහියෙන් කාලය ගෙවන්න...

ජීවිතයේ ගෙවෙන හැම තප්පරයකම දැනෙන හැඟිම් (ධනාත්මක හෝ සෘනාත්මක) තමන්ගේ හිත රවටා ගැනීමට හේතු නොසොයා සිහියෙන් විඳින්න... ගෙවෙන හැම තප්පරයක්ම නැවත නොඑන ලෙසම දැනෙන හැඟිම් ද පැමිණ අතුරුදහන් වෙන අයුරු ඔබ දකීවී.. එවිට පමණක් ඒ හැඟිම්  අත්දැකීම් බවට හරවා ගත හැකි වනු ඇත.. එවිට පමණක් ජිවිතය විඳවන්නේ නැතිව විඳිය හැකි වනු ඇත...අවශ්‍ය වන්නේ සිහිය පවත්වා ගැනීම පමණයි හැම තප්පරේම.. 

Monday, January 22, 2018

මවක් වීමට හිතන ගැහැනියක් නම් ඔබ....

දරු ගැබක් පිළිසිඳ ගත් ගැහැනියක් දිවි ඇති තුරා හිරේ වැටුනා හා සමානයි.. එතනින් එහාට තමන් තමන්ව අමතක කල යුතු තැන් මරණය තුරා හමු වනු ඇත... කලබල නොවී සාමකාමීව කිසිවෙකුට චෝදනා නොකර මැසිවිලි නොනඟා තමන්ගේ හිතට අවංකව ඒ කැපවීමට  සුදානම් නම් පමණක් දරුවන් බිහි කිරීම ගැන හිතන්න ඔබ ගැහැනියක් නම්.... 

Saturday, January 20, 2018

ඉන්ධන අවසන් ද...

දැල්වෙන පහනකින් පහන් සියයක් දැල්වූවත් එහි ආලෝකය අඩු නොවනු ඇත... පහනෙහි දැල්වීමට මුලිකව වු "ඉන්ධනය" අවසන් වූ විට පමණක් පහන නිවී යනු ඇත.. මෙහි එන "ඉන්ධනය" ආදරය කරුණාව ලෙසත් පහන ඔබේ ජීවිතය  ලෙසත්  පහනේ ආලෝකය  ඔබේ හැකියාවන් ලෙසත් සිතා බලන්න..

පහන දිගටම දැල්වීමටත් පහනේ එකම අරමුණ වන අවට පරිසරයට ආලෝකය ලබා දීමටත් අවශ්‍ය වන්නේ තමා ඇතුලතින්ම ඇති වන කිසිවෙකුගෙන් නොයැපෙන ආදරය කරුණාව සොබාදහමෙන් ලැබෙන මරණය එන තුරු....

Wednesday, January 17, 2018

රැල්ල ඇදෙනවා වැල්ලේ වැදෙනවා... සමන් මොට්ටු වගේ වතුර බිංදු ඉහෙනවා...

රැල්ල ඇදෙනවා වැල්ලේ වැදෙනවා

සමන් මොට්ටු වගේ වතුර බිංදු ඉහෙනවා....
මිනිසා කියන සතා  ටිකෙන් ටික හිතන්න පෙළබෙන පරිණාමයේදී නොයෙකුත් නිර්මාණශීලි දේවල් බිහි වී ඇති බව මිනිස් ඉතිහාසය ගැන කියැවීමේදී අපට ඉතා හොඳින් පෙනෙන දෙයක්.. එක් එක් කාල වකවානු වල එක් එක් සමාජ තල වල එක් එක් විදිහේ මිනිසුන් අතරින් නිර්මාණය වූ බොහෝ දේ අද වෙනකොට මුල් බිහි වීමෙන් කොයි තරමක් ඈත් වී ඇත්දැයි කියා නම් පැහැදිලි නැති නමුත්  සමහර නිර්මාණශිලි මිනිසුන්ගේ විස්වාසයන් මත බිහි වු විවිධ දේ සොයා බැලීම අත්හදා බැලීම පිළිපැදීම නම් නොනවතින චක්‍රයක්... මේ චක්‍ර ගැන කතා කරද්දි මිනිස් ශරීරය පුරා දිව යන ශක්තීන් ගැන කතා කරන චක්‍ර වර්ගයක් ගැන ලියන්නයි අද මම යන්නේ...

Monday, January 15, 2018

එහෙ මෙහෙ දුවන කූඹියෝ එක්ක නෙමේ...තරඟ කරන්න තමන් එක්කම කාලය එක්ක...

ඔබේ දරුවන්ට හුරු කරන්න තමන් එක්කම තරඟ කරන්න. ඊයෙට වඩා අද, අදට වඩා හෙට තමන් ඉන්න තැනින් මානසිකවත් ශාරීරිකවත් පියවරක් ඉදිරියට තබන්න කාටවත් නොරිදවා... ඔව් කාටවත්  නොරිදවා....අන්තිමට කිව්ව දේ නම් එතරම් ලේසි නැ.. ඒත් මනසින් උසස් මිනිස් සතෙක් විදිහට අපි පුලුවන් තරම් උත්සහ කරන්න ඕන මිනිස්සුන්ට නොරිදවා ඉන්න... මිනිස්සුන්ට වගේම සතුන්ට ගහ කොළ ඇතුලු අප අවට පරිසරයටත්...

තාක්ෂණය සමඟ ඉදිරියට යන ලෝකයක ඒවායෙන් ඉවත්ව ගල් යුගයේ තබා දරුවන් හදනවාට වඩා මිටියක් අතට දී අත තලාගන්නේ නැතිව ගල් ලෙන බිඳ, ලෙන් දොර හරින්නට ඔවුන්ට කියා දුන්නොත් ඔවුන් ඔබවත් රැගෙන නව මංපෙත් කරා යමින් මායාකාරී වානිජකරණයටවත් පටු දේශපාලන අරමුණු වලටවත් ලිංගික අසහනකාරීන්ටවත් අසු නොවී වගකීම් සහගත ආදරණීය පුරවැසියන් බවට පත්වේවි....

Saturday, January 13, 2018

කාලෙත් එක්ක පාට වෙනස් කර ගන්න සැන්ඳැ අහස...

මේ හැමදාම කාලෙත් එක්ක පාට වෙනස් කර ගන්න සැන්ඳැ අහස තරම් මාව ආකර්ශණය කර ගන්න පුලුවන් දෙයක් තවත් මෙළොව නැතුව ඇති... බිඳි බිඳි නැගෙන රළ නඟින මහ මුහුද ඇරුනම...

මේ වගේ මොහොතින් මොහොත පාට වෙනස් වෙන නැවුම් සුන්දර සිතුවමක් පරිස්සමින් අඳින කෙනෙකුට ජීවිතයක් පුරවන්න පුලුවන් හිස් තැන් නොපෙනෙන්නම...

Friday, January 12, 2018

මා නොදකින කොන්ක්‍රීට් කඳු වල සුන්දරත්වය දකිනා මිනිසුන්...

කොන්ක්‍රීට් කඳු බලන්න මිනිස්සු කට්ට කාගෙන යන්නෙ ඇයි කියන එක පුංචි කාලේ ඉඳලම මට තියන උහතෝකෝටික ප්‍රශ්න වැලෙන් එකක්.. 

වැස්ස දවසක තමන්ගේ ගේ ලඟින්ම ගලාගෙන යන පුංචි දිය දහරක මිල කල නොහැකි  සුන්දරත්වය දකින්න බැරි මිනිස්සුන්ගේ ඇස් වල පෙනීම මොන වගේ වෙන්න ඇති ද කියලා A/L වලට ජීව විද්‍යාව  හදාරද්දි,  මේ වයසේදීම මේ කාමරයේ දීම  පරම්පරා කීපයකම උසස් පෙළට පාඩම් කල අය  බිත්ති හතරේ එක් එක් තැන් වල  ඇඳලා තිබුනු රූප අතරට මමත්  මගේ කොටස එක්  කරන්න ඕන කියල හිතුනු එක් පාලු රැයක, ඇසක හරස්කඩක්  බිත්තියේ පැන්සලෙන් අඳින ගමනුත් මම කල්පනා කලා...

Wednesday, January 10, 2018

සහෝදරයාගෙන් නැඟුනු පැනයක්... මිනිස් වර්ගයා යනු කවුරුන්ද....

ඉතා ඈත අතීතයේ පටන්ම මිනිස් වර්ගයා මිනිස් වර්ගයාගේ හිත සුව පිණිස කියා විප්ලව, විමුක්ති සටන් මෙහෙයවමින් සිය දහස් ගණනකගේ ලේ කඳුලු සොලවා තවත් සිය දහස් ගණනකගේ ජීවිත සදාකාලික අඳුරු අගාධ වලට ඇද දමමින් කරන්නා වු දේශපාලන මෙහෙයුම් වලට කලින් කී දෙනෙක් මේ මිනිස් වර්ගයා යනු කවුරුන්ද කියා සොයා බලා අධ්‍යයනය කර තිබේ ද... 



Saturday, January 6, 2018

කියවීම,ලිවීම සහ (කටපාඩම්) අධ්‍යාපනය....

කියවීම කෙනෙක් පුහුණු කරන්න ඕන අලුත් දැනුම එකතු කරන්න.. ලිවීම පුහුණු කරන්න ඕන ඒ එකතු කරගත් දැනුමෙන් මතුවන අලුත් අදහස් ලියන්න.. කියවීම ලිවීම පුහුණු කරන අධ්‍යාපනයක් කල යුත්තේ කෙනෙක් එකතු කරගත් දැනුම මැන බැලීමට වඩා ජීවිතයට ඒ දැනුම ප්‍රායෝගිකව එකතු කර ගන්නේ කෙසේද යන්න සොයා බැලීමයි.. එහෙම උනා නම් අධ්‍යාපනය කියන්නේ තරඟයක් පීඩනයක් වදයක් නොවෙන්න තිබුනා නේද කියා මසිත විමසයි නම් ඇයි මම එය නොලියා ඉන්නේ...

Friday, January 5, 2018

මිනිස්සු ඉන්නේ සතුටෙන් ද...

දරුවෙක් ඉපදීමෙන් පසුව අවුරුදු 6න් ආරම්භ වන අධ්‍යාපනය අවුරුදු 13කින් නිම වන විට ඒ දරුවාට අවුරුදු 19ක්.. ඉන් පස්සේ උසස් අධ්‍යාපනයට අවුරුදු 3ක් හෝ 4ක් නම් වයස 23/24 ක්..(තවත් ඉහලට ඉගෙන ගන්නවා නම් වයස ඊටත් වැඩියි) ඉන් පසුව රැකියාවක් සොයාගෙන යම් ස්ථාවරයක් හදා ගන්නා විට වයස 29ක්.. ඉන් පස්සේ කසාඳයක් බැඳ ළමයි හදලා ඉවර වෙද්දි ජීවිතේ මැදි වයස.. එතනින් එහාට තමන් අමතක කර දරුවන් වෙනුවෙන් තමන් පොඩි කාලේ කරගෙන ආව දේවල් කල යුතුයි.. ඉතින් කොහෙද මිනිස් මනසට විවේකයක් අලුතෙන් හිතන්න නිර්මාණශීලි දෙයක් කරන්න...  සන්සුන්ව ජීවිතය විඳින්න..
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.