Friday, June 15, 2018

ඉපදෙනකොටම දරුවන් කතා කරන දවසක් ඒවිද...

පුංචි දරුවන් කියන්නේ ලෝකය අනාවරණය කර ගැනීම එකම අරමුණ කර ගනිමින් නොනවත්වා "වීර චාරිකාවේ" යෙදෙන "දේශ ගවේෂකයෙක්" ලෙස හැඳින්විය හැක.. ඒ නිසා තමයි දරුවන් හදා වඩා ගැනීම බොහෝ වෙහෙසකර වෙන්නෙත්.. එසේ නොකරන දරුවෙකුගේ වැඩීමේ ( ශාරිරික සහ මානසික ) නොයෙකුත් ගැටලු අනිවාර්යයෙන්ම දකින්න පුලුවන්.. එය කිසිසෙත්ම මේ "වීර චාරිකාවේ" යෙදෙන්න ගැටලුවක් කර නොගන්න ක්‍රම සහ විදි වැඩිහිටි ඔබට සොයා දෙන්න හැකියි ඔබ ඒ දරුවාගේ ගැටලු හඳුනා ගන්න සුදානම් නම් විවෘතව..

ඉතින් මේ පුංචි වීරයෝ ලෝකය ගැන දැන ගන්න තමන් ගන්න උත්සහයේදි තමන්ට එන බාධා වලට ප්‍රතිචාර දක්වන්නේ "තරහ" සහ "බය" යන මුලීක ක්‍රම දෙකට.. ඉපදෙන කොටම තමන් මුහුණ දෙන අපහසුතා ගැන කතා කරන්න හැකියාව තිබ්බා නම් එය එසේ වෙන එකක් නැහැ.. ( සමහර වෙලාවට දරුවන් විඳින වේදනාවන් මට බලාගෙන ඉන්න බැරි නිසාම මම ප්‍රාර්ථනා කරන දෙයක් කවදා හෝ අනාගතයේ දවසක මේ හැකියාව දරුවන්ට ලැබෙන්න කියා..)

මේ ක්‍රම දෙකින් දරුවෙක් අපට සන්නිවේදනය කරන්න උත්සහ කරන්නේ තමන්ගේ අපේක්ෂාව ඉටු නොවීමෙන් එයාට ඇතිවන අසහනය.. එය මානසික වෙන්නත් පුලුවන්, ශාරීරික වෙන්නත් පුලුවන්.. මේ දෙකේ එකතුවක් වෙන්නත් පුලුවන්.. ඉතින් එතකොට වැඩිහිටියන් විදිහට ඔබ හිතන්නේ අපි මොකද්ද කරන්න ඕන..යම් කෙනෙක් අසහනයකින් ඉන්නවා නම් එය සමනය කිරීමද අපෙන් වෙන්න ඕන, එය තියුණු කිරීම ද වෙන්න ඕන..

දරුවෙක් කරන්න හදන යම් ක්‍රියාවක් ඔබ විසින් හෝ වෙනයම් විදිහක් වැලකෙන විට ඒ දරුවා තරහා ගන්නවා නම් ඔබ කල යුත්තේ එය වැලකීම නොවේ.. තමන්ගේ අධික්ෂණය යටතේ ආරක්ෂාකාරීව එය කිරීමට ඉඩ සැලැස්වීමයි..මෙහෙම කිව්වාම එය කොතෙක් දුරට මේ තරඟකාරි ජීවන රටාව තුල ප්‍රායෝගිකයි ද සහ අද වෙන විට බිහි වී ඇති දේවල් වලින් දරුවන්ගේ ආරක්ෂාවට නොගැලපෙන දේ කොතෙක් ද... තමන්ගේ නිවස තුලම දරුවන්ට අනාරක්ෂිත දේ කොතෙක් ද..

දරුවෙක් යම් දෙයකින් බියට පත් වේ නම් කරන්න ඕන, එයට හේතු වන සිදුවීමට හිමින් හිමින් නැවත නැවතත් පරිස්සමින් මුණ ගස්වා ඒ බිය ටිකෙන් ටික අඩුකර ගැනීමට උදව් කිරීමයි..බිය අඩු වන විට කුතුහලය පිබිදෙයි.. එය දරුවාගේ ඉගෙන ගැනීමේ හැකියාවේ මුල් පියවරක්.. එයටත් මේ කාර්යබහුල ජීවන රටාවවල් ගත කරන අයගෙන් වෙලාව ඇත්තේ කීයෙන් කීදෙනාටද.. ඒ නිසාම දරුවෙකුගේ උපතින් ලැබෙන ස්වාධීනව ඉගෙන ගැනීමේ හැකියාව මොට වී යැපෙන්නෙක් වීමේ වේගය කොතරම් වැඩි වී ඇත්දැයි සිතා බැලිම ඔබට බාර කරමි..

ඒ අතරම යම් කිසි අලුත් දෙයක් දුටු විට සමහර දරුවන් තුල ඇති වන්නේ බියක් නෙමේ, මැඩපවත්වන්න බැරි කුතුහලයක් කිසිම කෙනෙකුට නවත්වන්න නොහැකි..එවැනි අවස්ථාවක ඔබ හැසිරෙන්න ඕන කොහොමද කියා ඔබ හිතලා තියනවද..ඔබ දන්නවද දරුවන්ගේ කුතුහලය අධර්‍යය නොකල යුතු බව ඔබට ඕනේ නම් ශක්තිමත් ආත්ම විස්වාසයක් ඇති වැඩිහිටියෙක් ඒ දරුවාගෙන් අනාගතයේදී.. මෙහිදි ඔබ ඔබේ හැඟිම් පාලනය කර ගැනීමට ඉගෙනීම හරිම වැදගත්..

තමන්ට මුණගැහෙන හැම දෙයක් ගැනම කුතුහලයෙන් බලන දරුවන් හරි මඟ පෙන්වීමක් ලැබුවොත් ලෝකය ගැන වැඩි වැඩියෙන් අවබෝධ කගෙන තම ජිවිතය සාර්ථක කර ගන්නවා පමණක් නොවේ ලොවට බොහෝ සේ ආදරය කරන්න පෙළෙබෙන්නේ අනියත බය කියන හැඟිම ඉක්මවා ගොස් ඇති නිසායි මනසින්..

ඉතින් එදිනෙදා ජීවිතයේ දරුවන්ගෙන් පෙනෙන සෘනාත්මක හැඟිම් හරි හැටි අවබෝධ කරගෙන දරුවන් මෙහෙයවීම කියන්නේ ඒ දරුවා තමන් පෙළෙන අසහනයන් වචනයෙන් කියා ගන්න නොහැකිව විඳින වේදනාව අවම කිරීමට ඉඩ වැඩි වීමයි.. එවිට ඒ දරුවා තුලින් ලෝකය දෙස කණස්සලෙන් නොව ආදරයෙන් විවෘතව බලන වැඩිහිටියෙන් හිමින් හිමින් බිහි වේවි..


පලි.: මගේ පුතා ලැබෙන්න සිටි කාලයේ මම කියවූ පොත් ඇසුරෙන් ලියා තිබූ කෙටි සටහනක් දිඟු කලෙමි. ඕනම පොතක් කියවීමේ පිස්සුවක් ඇති මට, මේ පොත් සියල්ලක්ම ගෙනත් දුන්නේ මගේ අම්මා..මගේ දරුවෙක් දකින්න මට වැඩිය ආසා කලේ මගේ අම්මා කියා මට සිතුණු වාර ගණනද නිමක් නැහැ..

ඒ වගේම මේ පොත් වල ඇති දේවල් මා පමණක්  (ඒ කියන්නේ දරුවාගේ අම්මාට සියලු වගකීම් පැවරීම ) පිළිපැදිය යුතුයි සහ දරුවා සම්බන්ධ අන් අයද  ඒ දේවල් ගැන දැනුවත් වි පිළිපැදිය යුතු යැයි ඇය නොසිතන බවද මට සිතුණු අවස්ථා බොහොමයි.. අදටත් ඇය සිතන්නේද වැඩ කරන්නේ ද ඒ විදිහටමයි කියාද එය කිසිම දවසක වෙනස් කල හැකි වේ යැයි කියා  මා සිතන්නේ ද නැහැ.

මේ එකම එක  පොතක පමණක්  පරිච්ඡේද 12කට පසු  (එනම් පිටු  150කට පසූ) පොත අවසන් කිරීමට පෙර 13 වෙනි පර්ච්ඡේදය විශේෂයෙන් වෙන් කර තිබුනේ පියවරුන්ට.. එසේ විශේෂයෙන්  පරිච්ඡේදයක් ගැහැනිය සහ පිරිමියා සමව දායක වීමෙන් හැදෙන දරුවෙක් සම්බන්ධ පොතකට ඒ කතුවරයා ඇතුලත් කර ඇත්තේ ඇයි...

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.