Tuesday, June 19, 2018

අම්මයි මමයි...

පහුගිය කාලයේ අහම්බෙන් මම බැලුවා මවුවරුන් සහ දරුවන් ගැන කතා කරන වැඩසටහනක්.. මේ වැඩසහටන මෙහෙය වූ නිවේදිකාව හැමදාම හැම අම්මා කෙනෙක්ගෙන්ම අහනවා වෙනස් නොවන ප්‍රශ්නයක් වැඩසටහන ආරම්භයේදී. ඒ තමයි මේ දැන් තමන් ලඟින් වාඩි වෙලා ඉන්න දියණිය හෝ පුතා මුලින්ම තමන්ගේ අතට ලැබුනු වෙලාවේ ඇති උනු හැඟිමයි, ඒ වෙලාවේ දරුවා මොන වගේ කෙනෙක් කරනවා කියල ද හිතුවේ කියලයි..

මේ එක් වැඩසටහටකට ඇවිත් සිටි මවක් එයට දුන්නු උත්තරය අන් අයට වඩා වෙනස් වූ නිසාම මම එතන නැවතුනා.. වෛද්‍යවරියක් වු මේ අම්මා වෛද්‍යවරියක් වන තමන්ගේ දියණිය ගැන ඇහුව ප්‍රශ්නෙට දුන්න උත්තරේ තමයි.. "මට නම් ඒ වෙලාවේ වේදනාව මිසක් වෙන මුකුත් දැනුනේ නැ" කියන එක.. ඒ උත්තරෙත් එක්ක ඒ වෙලාවේ වැඩසටහනේ ඇති උනු පරිසරය මට "චුටි මල්ලි සහ පොඩි මල්ලි" දෙන්නවත් මතක් කලා.  ඇත්තටම දරුවෙක් ඉපදිලා මුලින්ම තමන් ලඟට දෙන මොහොතේ අම්මා කෙනෙකුට දැනෙන්නේ මොන වගේ හැඟිමක් ද කියන ප්‍රශ්නයට දෙන්න පුලුවන් මොන වගේ උත්තරයක් ද..

මේ වැඩසටහනේ ගොඩක් දෙනා (විතරක් නෙමේ සමාජයේ බහුතරය ) උත්තර දෙන්න පුරුදු වෙලා තියෙන්නේ තමන් අහලා දැකල තියන දේ අනූව තැනට ගැලපෙන සාමන්‍යයෙන් අපි දන්න උත්තරේ මිසක් අවංකව තමන්ට ඒ වෙලාවේ දැනුනු දේ හිතලා බලලා ද කියලා හිතෙද්දි මගේ හිත ගියේ අවුරුදු 7කට කලින් මගේ පුතාව මුලින්ම මගේ අතට දීපු දවසට..

අවුරුදු 7කට පසුවත් ඒ මොහොතට කිසිඳු අපහසුවකින් තොරව මගේ සිතට අසුරු සැණින් ගමන් කල හැකි බවත් සියලු සිදූවීම් අකුරක් නෑර මතකය නම් පොතේ වේදනාවකින් තොරව සටහන් වී ඇති බවත් තේරුම් යද්දි මට හිතුනේ සිතට පමණක් නොව අපිටත් එසේ ගමන් කල හැකි නම් කියා.. (අනාගතයේ එවැනි තාක්ෂණයක් ද ඒමේ පෙර මඟ සලකුණු ගැන ලිපියක් ද පහුගිය දවසක් මා කියවූවා).

ඉපදෙන්න ආව දවසේ ඉඳලාම එක එක විදිහේ අභියෝග වලට මුහුණ දුන්න මේ පුංචි පැටියා ලැබෙන්න හිටිය මුලු කාලයේම මට කිසිම කරදරයක් නොකල දරුවෙක්.. ඇත්තම කියනවා නම් මගේ සාමාන්‍ය ජීවිතයේ කිසිම වෙනසක් උනේ නැහැ..මට මතක එකම අපහසුව එකම පැත්තකට නිදා ගන්න අපහසු උනු එක විතරයි.. ඒ ඇරෙන්න මගෙ පුතා මගේ ඇඟ ඇතුලේ හිටිය මුලු කාලයේම මට කිසිම අපහසුවක් ඇති වුනේ නැහැ සාමාන්‍යයෙන් ගර්භණි මවකට ඇතිවන..

මේ විදිහට හරිම පහසුවෙන් පුතා එක්ක මාස ගාණක් එයාව නොදැක ගෙවලා සෞඛ්‍ය හේතු මත සිසේරියත් සැත්කමකින් එයාව මගේ අත් දෙකට දෙන මොහොතේ මම හිටියේ හොඳ සිහියෙන් කිසිම අපහසුකමක් නැතුව.. ඉනෙන් පහල වෙන දේවල් ගැන නොදැනෙන්න නිර්වින්දනය කර තිබුනත් මට දැනුනා කවුරු හරි මගේ ඇඟ ඇතුලෙන් උඩට තල්ලු කරනවා වගේ හැඟිමක් කිසිම වේදනාවක් නැති, ඒත් එක්කම කවුරු හරි මගේ මුණ ලඟට ගෙනත් පෙන්නුවේ මගේ පුතාව..

ඒ වෙලාවේ මට දැනුනේ මොන වගේ හැඟිමක් ද කියන එක මට අදටත් හරියටම පැහැදිලි නැහැ..

මාස ගාණක් මගේ ඇඟේම කොටසක් වෙලා හැම තප්පරයක්ම එකට ජීවිතයට මුහුණ දුන්න කෙනෙක්ගෙන් වෙන් වෙන්න උනා වගේ ලොකු හිස් බවකුත් ඒ අතරේ එකටම හිටිය අපි දෙන්නට වෙන් වෙලා ජීවත් වෙන්න පුලුවන් වෙයි ද කියන සැකයකුත් මට දැනුනා කියලා මට හිතෙනවා ආපහු හිතද්දි..

විනාඩි කිහිපයක් සෝදන්නේවත් නැතුව මගේ පපුව උඩ හිටපු පුතාව ඊලඟ මොහොතේ එතන හිටපු අය මගෙන් වෙන් කලේ පිරිසිදු කරලා ආපහු මට දෙන්න කියල දන්නවා උනත් මට දැනුනේ මගේ ඇඟේ කොටසක් ඒ අය අරන් ගියා වගේ හැඟිමක්.. ඒ අරන් ගිය කොටස නැවත ලැබෙනකම් මම අසම්පූර්ණයි නේද කියා මට හිතුනා ඒ වෙලාවේ..

නමුත් හොඳ සිහියෙන් සිටි මම දන්නවා ආයේ කිසිම දවසක අපි දෙන්නා එක් කෙනෙක් වෙන්නේ නැහැ කියන එක... අපි දෙන්නා දෙන්නෙක්.. මම හිතන්නේ ඒ වෙලාවේ මම අවබෝධ කර ගත්තේ පුතාට පුතා වෙන්න දෙන්න අවශ්‍යම දෙයක් කියලයි..



දරුවෙක් කියන්නේ අපෙන් හැමදේටම යැපෙන්න නිර්මාණය උනු කෙනෙක් උනාට එයා වෙනමම නිදහස් කෙනෙක්..මම කරන්න ඕන එයාට එයාම වෙන්න ඉඩ අරින එක.. ඒත් එක්ක අතීතයට ගිහින් හිටි මගේ හිත ආපහු වර්තමානයේ මේ මොහොතට ගෙනාවේ පුතාගේ කටහඬ....

2 comments:

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.