Tuesday, July 17, 2018

පහළට වැටෙන්න පෙර...

පහුගිය කාලේ එක් පෙර පාසැලකදි මට කරන්න තිබුනු පැවරුමකදි තිබුනා ඒ දරුවගේ දෙමාපියන් එක්ක කතා කරන්න..(දරුවන් තෝර ගෙන කරන ඕනම පැවරුමකදි මුලින්ම දෙමාපියන් එක්ක කතා කරන්නම ඕන..එයාලගේ අවසරය ගන්නම ඕන..) උදේට මේ දරුවව එක්කන් එන්නේ අම්මා උනාට ආපහු එක්කන් යන්න එන්නේ තාත්තා..මම යන්නේ මගේ පුතාව ඉස්කෝලේ දාලා නිසා මට මුල ඉඳලම කතා කරන්න උනේ අම්මා එක්ක නෙමේ තාත්තා එක්ක..

මේ තාත්තට පැහැදිලි කලාම මම මේ කරන්න යන දේ ඔහු මගෙන් එක පාරටම ඇහුවේ ඇයි මගේ දරුවවම තෝර ගත්තේ කියා, මට උත්තර දෙන්න ඉඩක් නොදීම ඒත් එක්කම ඔහු කිව්වා මගේ පැවරුම සාර්ථක කර ගන්න ඔහු පුලුවන් උදව්වක් කරන්නම් ඒත් තමන්ගේ දරුවා තෝර ගත්තු එක ගැන දෙපාරක් හිතන්න කියලා..ඒ මම බලාපොරොත්තු උනු දේ නොවුනත් ඔහු එහෙම කිව්වම මට මතක් උනා මේ දරුවන් අතරින් දරුවන් කිහිප දෙනෙක් තෝර ගනිද්දි පෙර පාසැලේ ගුරුතුමිය මට පැහැදිලි කල දේවල්..ඒ නිසා මම ඒ තාත්තට කිව්වේ ඒ ගැන මට සැකයක් නැහැ.. ඔයාගේ දරුවා තමයි මට අවශ්‍ය කියන එක..ඒත් මේ තාත්තා මට ආපහු කිව්වෙ මගේ දරුවාගෙන් ඔයාට වැඩක් වෙන එකක් නැහැ කියා..

ඔහු Chain smoker කෙනෙක් කියන එක වටහා ගන්න වැඩි වෙලාවක් ගියේ නැති නිසා මට ඕන උනේ ඉක්මනින් මේ කතාව ඉවර කරලා ඔහුව පෙර පාසැල් ගේට්ටුවෙන් එළියට යවන්න උනත් ඊට ඔහු ඉඩක් නොදෙන බව වගේම ඊයේ පෙරේදා ලැබුනු ආරංචියකින් ඔහු සසල වී සිටින බවත් පැහදිලිව පෙනුනු නිසාම මම කලේ හිනා වෙලා මගේ අතේ තිබුනු form එක ඔහුට දුන්නු එක පෑනක් එක්ක අත්සන් කරන්න..එහි තවත් දරුවන් කිහිප දෙනෙකුගේ නම් ගම් සහ දෙමාපිය අත්සන් ඇති බව දැක්ක ඔහු නැවතත් මගෙ ඇස් දිහා බැලුවේ මම කරන්නේ කිසිම තේරුමක් නැතිව මගේ පැවරුම එක පාරින්ම fail වෙන වැඩක් බව නොකියා කියමින්.. ඒත් මීට කලිනුත් මේ අවස්ථාවට මුහුණ දී සිටි මගේ හිනාව වෙනස් නොකර තියා ගන්න මට පුලුවන් උනා.. හැබැයි මම මීට කලින් මේ වගේ අවිනිශ්චිත තැන් වලට මුහුණ දුන්නේ අම්මලා එක්ක විතරයි.. ඒ මුල්ම වතාව තාත්තා කෙනෙක් එක්ක තනි උනු හැඟිම් එක්ක පොර බඳින..ඒ දරුවා ඉදිරිපිටම..

ඔහු මගේ ඇස් දෙක දිහා විනාඩියක් විතර බලාගෙන ඉඳලා මගෙ අතේ තිබුනු පෑන අරන් අත්සන් කරලා ඕනම උදව්වක් කරන්නම් කියා දරුවත් එක්ක කෙලින්ම ගේට්ටුව දිහාට පිය මැන්නේ දුම් වැටියක අවශ්‍යතාවය ඔහුට ඒ වෙලාවේ තදින් දැනුනු බව වටහා ගන්න මට අමාරු උනේ නැහැ.. (දෙමාපියන්ට  පුලුවන් අකමැති නම් අත්සන් නොකර අකමැතියි කියන එක සඳහන් කරන්න..)

එදා තමයි මට මුලින්ම දැනුනේ තමන්ගේ දරුවෙකුට විශේෂ අවශ්‍යතාවයක් ඇති බව දැන ගත්තු පියෙකුගේ හදවත ගැහෙන රිද්මය.. ඒ හදවතේ ගින්දරෙන් ඔහු වාහනය ලඟට වෙලා දුම් පිට කරන හැටි ටික වෙලාවක් බලාගෙන හිටිය මගේ ලඟට ආව පෙර පාසැල් ගුරුතුමිය මට තව බොහෝ දේ පැහැදිලි කලා ඒ දරුවා ගැන වගේම ඒ දරුවා මේ පෙර පාසැලේ මුහුණ දෙන අභියෝග ගැනත්.. 

ඒ අභියෝග වලින් කිහිපයක්ම අතුරුදහන් කරන්න අපිට පුලුවන් උනා ඊලඟ සති කිහිපය ඇතුලත.. මේ වගේ වෙලාවක ජිවිතේ වැටෙන්න පුලුවන් උපරිම පහළට වැටෙන දෙමාපියන්ව ආපහු ගොඩ ගන්න නම් සමාජයේ හැම කෙනෙකුගේම උදව් අවශ්‍ය බව ඒ ගුරුතුමිය වචනවලින් නෙමේ මට පැහැදිලි කරලා දුන්නේ තමන්ගේ ක්‍රියාවෙන්..ඒ ක්‍රියාව පිටුපස ඇයගේම අතීතයේ සෙවණැලි ඇති බවත් මට ඇ‍ය කිව්වේ ටික දවසකින් අපි අතර ඇති උනු සුහදබව වැඩි උනු නිසාමයි..

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.