Saturday, February 3, 2018

"මාරයිනෙ..... අපි දන්නෙ නෑනෙ ලොක්කො ඔය වගක්.”

හොරෙක් සහ කවි­යෙක්


"මං මිනිස්සුන්ගෙ ජීවිත ඇතුළට එබී බලල, ඒ ජීවිත ලබන අත්දැකීම් මගේ අත්දැකීම් කරගෙන, මං ඒවා නිර්මාණ බවට පෙරලුව. මං උඹලගෙ ජීවිත ගැන ලිව්වා...හොරකම පාපයක් කියනවට වඩා මිනිහෙක් හොරෙක් වෙන්නෙ ඇයි කියල ලිව්වා...මහපාරෙ වැඩකරන මිනිස්සු ගැන... වීදිවල බඩගින්නනට අඬන දරුවො ගැන... ජීවත්වෙන්න ඇඟ විකුණන ගෑනු ගැන... දූෂණය භීෂණය ගැන.... යුද්දෙන් මැරෙන මිනිස්සු ගැන... මේ හැම ජීවිතයක් තුළින් ලබපු අත්දැකීම්වලින් මං කවි ලිව්වා... ඊට පස්සෙ මං කවියෙක් බව මට දැනුණා... මං හොරකම් කළේ ඒ මිනිස් ජීවන අත්දැකීම්.. ඒවාවලින් පොත් ලිව්වා.. පත්තරවලට ලිව්වා.. සමාජගත කළා.. සම්මන්ත්‍රණ පැවත්තුවා.....”

හොරා කවියාගේ වාග් ශෛලීයට අවනතව සිටියේය. ඒ සුමට බව ඔහුගේ රළු ගොරහැඬි සිත තුළ සිසිල් දියදහරාවක් සේ ගලා ගියේය. කලකින් ඇසූ මිහිරි ගීයක් සේ සවන් තුළට කිඳා බැස්සේය.

“ඔය කිසිදෙයක් අපි දන්නෙ නැහැනෙ. අඩු තරමින් අපි එකෙක් ගැනවත් ලිව්ව විත්තිය දන්නවනං අම්මප, බෝතල් පත්තරකාරයකුට හරි කියනව අරන් තියල දෙන්න කියල.”

“ඕකම තමයි මාත් මේ කල්පනා කරන්නෙ පුතා. මිනිස්සු දන්නෙ නැහැ උන්ගෙ ජීවිත ගැන අපි ලිව්ව වගක්. අපි සංවාද කළා. පත්තරවලින් එකිනෙකාගේ නිර්මාණ ගැන චෝදනා කරගත්තා. ඒ ලියපු ඒවායින් කාගෙද උසස් හරවත් නිර්මාණ කියල ගිරිය පුප්පන් කෑගැහැව්වා. දේශන පැවත්තුවා. හොඳම ඒව තෝරල සම්මාන උත්සව තිබ්බා. තෑගිවලට මුදල් දුන්නා.”

“එතකොට ලොක්කො ඔය ලිව්ව මලදානවලට මුකුත්ම හම්බවෙලා නැද්ද?.”

“තියනවා.... දෙතුන් පාරක් හම්බවෙලා තියනවා.”

“එහෙනං සල්ලි ටිකක් ළග ඇති නේද....?.”

කවියා මඳක් නිහඬ විය. ජීවිත කාලයම රටක් සමඟ වචනවලින් ගනුදෙනු කළද, දේශපාලකයන් සමග සේම, හොරකු සමග වචනවලින් ගනුදෙනු කිරීමට ඔහු මානයක් සෙවීය. තමා ළග මුදල් හදල් නැති බව ඔහු කීයටවත් විශ්වාස කරන්නේ නැත. එහෙත් සත්‍යය පවසා මොහුගෙන් ගැලවිය යුතුය. කවියා සිතුවේය.

“මායි බිරිඳයි මෙච්චර කාලයක් ජීවත් වුණේ ඒ සල්ලිවලින් තමයි පුතේ. ඒත් එයා දැන් මා ගාව නැහැ. මැරිල දෑවුරුද්දක්

*********************************************************************************

"හඳ පායගෙන එනකොට මං එයත් එක්ක යනවා අපේ චමත්කාර ආදරණීය අතීතයට... ඒ සඳ කිරණ එක්ක පහළ වෙන කවි සිතුවිලිවලින් මං හදවත පුරෝගන්නව... සමාජ අසාධාරණය වෙනුවෙන් තීන්ත පෑනෙන් කවි ලියපු මට, ඒ ගැන කිසිම අදහසක් දැන් හිතට එන්නෙ නෑ... ප්‍රේම සිතිවිලිවලට විතරයි දැන් මේ හිතේ ඉඩ වෙන්වෙලා තියෙන්නෙ..

සිතිවිලිවලින් ලියනකොට තීන්තවලින් ලියනව වගේ කොහෙවත් රැඳෙන්නෙ නෑ. හුළඟට පාවෙලා සැහැල්ලු වෙලා යනවා.... හඳ වුණත් දැන් පායන්නෙ සමාජ අසාධාරණයට එරෙහිව නොවෙයි... ඉස්සර තරුණ කාලේ හඳ පායන වෙලාවට තමයි මං වීදි මුඩුක්කු පුරා රෑට ඇවිදින්නෙ. ඒ හඳ එළියෙන් තමයි මං ඒ මිනිස්සුන්ගෙ දුක දැක්කෙ. අදහස් හිතට ගත්තෙ... දැන් ඒ හඳඑළිය රන් තැටියකින් කිරි අරන් එන්න වාගේ සනාතන ප්‍රේමය වෙනුවෙන් වෙන්වෙලා. අපේ ආදරණිය සංසාරගත ප්‍රේමය වෙනුවෙන් මගේ දෑස් ළග නලියන්නෙ.”

*********************************************************************************

ඔය කබඩ් එක උඩ තියෙන සම්මාන ටිකවත් අරන් ගිහිල්ල විකුණගනින් පුතා... තව ලියපු පොත් පත් කීපයකුත් ඇති.” කවියා සන්සුන්ව කිවේය.

“මේ උඹේ නම කොටපු සරුව පිත්තල කෑලි.....?” හොරා ඇසීය.

“ඔව්... යකඩ බරට වත් වික්කෑකි මහිතේ. ඕව අයිති මට නෙමෙයි උඹලට. මං උරුමක්කාරයෙක් එනකල් බල බලා උන්නෙ.”

“උඹ මෙච්චර වෙලා මාව රැවට්ටුවෙ උඹලව රවට්ටපු යකඩ කෑලි ටික මට දීල බේරෙන්න ද නාකියො?. මේක ගහගනින් උඹෙ......”


කේන්තිය පාලනය කරගත නොහැකි වූ හොරා සම්මානයක් උස්සා කවියාට දමා ගැසුවේය. එහෙත් එය අනපේක්ෂිත ලෙසින් පියාඹා ගොස් පතිත වූයේ, කවියා වාඩිවී සිටි බිත්තිය අසල කොනක තිබූ මකුළුදැල් බැඳි, අතීතයේ ජන නායකයකු අතින් කවියා සම්මානයක් ලබන පැරැණි ජායාරූපයකට ය. කැඩී බිඳී ගිය ජායාරූපයේ බියකරු හඬට කවියාගේ හදවත තරමක් සැලිණි. එහෙත් ඔහු ඒ දෙස නොබලා සඳඑළියට හොරෙන් මෙන්, තමාට දෙස් දෙවොල් තබමින් පියවර තබන හොරාගේ සෙවණැල්ල දෙස සන්සුන්ව බලා සිටියේය.

*********************************************************************************
*********************************************************************************

හොරෙක් සහ කවි­යෙක්




ප.ලි. : උපුටා ගැනීම 3/02   සත්මඬල  සිළුමිණ  2018.

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.