Tuesday, July 24, 2018

ඇත්ත ඇස් දකිනවද ඇත්ත බොරු...

රැකියාවක් කරන තැනක තියන තරඟය සහ එකිනෙකා කපාගෙන යට කරගෙන ඉදිරියට යන්න හැදිලා තියන  පරිසරයට ඔබ කොහොමද මුහුණ දෙන්නේ.... ඔබත් ඒ දේ ඉවක් බවක් නැතුව කොපි කරනව ද.. නැත්නම් පාඩු උනත් කමක් නැහැ කියලා ඒ තරඟයෙන් ඉවත් වෙලා ඉන්නවද.. මම මගේ පළමු රැකියාවට යන්න හිතන්නේ වයස 22දි 23දි.. ඒ Software Analyst Programmer කෙනෙක් විදිහට. උපාධිය කරන ගමන්ම අයදුම් කරපු ඒ රැකියාවේ interview දවසේ මට ලැබුනා හරි අපූරු අත්දැකීමක්..

සියලු සහතික කියවා ප්‍රශ්න කීපයකුත් ඇසුව ආයතන ප්‍රධානියා මට කිව්වේ උපාධිය මෙතනින් නතර කරනවා නම් රැකියාව දෙන්න පුලුවන් බවත් එහෙම බැරි නම් දෙන්න වෙන්නේ මම අයදුම් කල රැකියාව නොවන බවත්.. ඒ වගේම උපාධිය සම්පුර්ණ කරන තුරු වැටුප වැඩි නොකරන බවත්.. මේ සියලු දේවල් සිනා මුසු මුහුණින් අහගෙන හිටිය මට යාන්තමින් වැටහුන නිසා ඒ වචන වල සැඟවුනු අරුත මං කිව්වේ මේ රැකියාව ලැබුනත් නැතත් උපාධිය නොනවත්වන බවයි..

ඒ වගේ කෙලින් කතා කරන්න ඊට කලින් ගිය ආයතනයකදි අත්දැකීමක් තමයි උදව් උනේ.. ඉතින් ඒ පුද්ගලයාගේ ඇස් දෙක දිහා බලාගෙන කෙලින් මම එහෙම කිව්වම මේ පුද්ගලයා පොඩ්ඩක්වත් වෙනස් උනේ නැහැ.. හරියට මම එහෙම කියාවි කියා මුල ඉඳලම දැනෙගන හිටියා වගේ..(මිනිස්සු ගැන අත්දැකිම් වැඩි වෙද්දි මේ හැකියාවත් වැඩි වෙනවා.)

ඉන් පස්සේ මේ පුද්ගලයයි මමයි එකඟතාවයකට ආවා අයදුම් කල රැකියාව නෙමේ මම බාර ගන්නේ ඒ අංශයේම වෙනත් රැකියාවක් බව..මෙහෙම පටන් ගත්ත ඒ රැකියාව කරද්දි දිගින් දිගටම මට උසස්වීම් ලැබුනට පළවෙනි දවසෙ ඒ පුද්ගලයා කිව්ව දේ වෙනස් කලේ නැහැ වගේම මම මං කිව්ව දේ වෙනස් කලෙත් නැහැ..ඒ කිව්වේ මගේ වැටුප හරි විදිහට වැඩි උනේ නැහැ මම උපාධිය සම්පූර්ණ කරනකන්ම.. හැබැයි මම කවදාවත් මට කරන්න තියන වැඩ වල තත්වය බාල කලේ නැහැ.. ඒ නිසයි උසස්විම් ලැබුනේ.. කොහොම උනත් මේ ආයතනයේ පුද්ගල සබඳතා වල තිබුන ආරක්ෂාකාරී බව සහ තේරුම් ගැනීම එක්ක වෙනත් ආයතනයකට මාරු වෙන්න මට ඕනකමක් තිබුනේ නැති අතර හදිසියේම මගේ පියා අපි අතරින් සමු ගත් දින පටන් මා මේ ආයතනයේ ඉන්න මිනිස්සුන්ගේ මනුස්සකම ගැන නම් ඉතාම හොඳින් වටහාගත්තෙමි.


මගේ පියා අපෙන් සමු ගත්තේ මගේ සේවය ස්ථිර කරලා ටික කාලයකින්.. එදා සිකුරාදා දවසක්.. ඊට දවස් 7කට පස්සේ ආපහු මම වැඩට ගිය දවසේ ඉඳලා අවුරුද්දක් විතර මම එක දිගටම සඳුදා සහ සිකුරාදා වැඩට ගියේ නැති උනත් කිසිම කෙනෙක් ඒ ගැන වචනයක් වත් කතා කලේ නැහැ.. ඒ වගේම ගෙදර හිටියට මගේ මුදලින් internet බිල ගෙවාගෙන වැඩ කල නිසා වැටුප් වර්ධක වලට එය බාධාවක් උනේත් නැහැ... ආයතනයෙන් දුන් වෙනත් කිසිම පහසුකමක් මම.ලබා ගත්තේ නැහැ.. ඒ කිව්වේ දුරකථන, ප්‍රවාහන වගේ....කොහොම නමුත් අවුරුදු 5කට පස්සේ මේ ආයතනයෙන් මගේ පෞද්ගලික හේතුවක් මත ඉවත් වෙන දවසේ මම දුන්නු අස්වීමේ ලිපිය මේ ආයතන ප්‍රධානියා එක පාරටම භාර ගත්තේ නැහැ.. ඒ වෙනුවට ඇහුවේ ප්‍රශ්නයක්...

Why are you leaving everything ?

මෙන්න මේ දේ තමයි මුල්ම දවසේ මේ පුද්ගලයා මගෙන් සඟවන්න උත්සහ කල දේ.. මගේ සුදුසුකම් සහ පෞර්ශය එක්ක ඒ පුද්ගලයා වටහාගෙන තිබුනා ඒ රැකියාවට ගැලපෙන හැමදේම මං ලඟ ඇති බව.. ඒ පුද්ගලයට ඕන උනේ උපාධිය සම්පූර්ණ නොකර ඒ ආයතනයේ මාව දිගටම රඳවගන්න කියන එක පළවෙනි දවසෙම තේරුම් ගන්න තරම් මට හැකියාවක් තිබුන නිසා ඒ මුලු කාලය ඇතුලතම කිසිම කෙනෙකුට ඕන විදිහට නෙමේ මම වැඩ කලේ.. ඒ වගේම මගෙන් පස්සේ මම කල වැඩ කොටස බාර දෙන්න කෙනෙක් හදන්නත් මම ගොඩක් උත්සහ කලා දන්න හොයා ගන්න හැමදේම team එකේ හැමෝටම කියලා දීලා..ඒ නිසාම වැඩ කල කිසිම කෙනෙක් එක්ක මට තරඟයක් තිබුනේ නැහැ.
.
එදා හිතපු නැති වෙලාවක මම අස්වීමේ ලිපිය දෙන වෙලාවේ ඒ පුද්ගලයා වටහාගෙන හිටියේ මාව කිසිම දෙයක් කියලා නවත්වන්න වෙනස් කරන්න බැරි බව.. ඒ ප්‍රශ්නයට මම උත්තර දුන්නේ නැති උනත් අස්වීමේ ලිපිය බාර ගත්ත ඒ පුද්ගලයා ඊලඟට වෙන්න ඕන දේවල් ඉක්මනින් කරලත් දුන්නට ඒ ආයතනයේ මම කල වැඩ ගැන විස්තර තියන Service letter එක ලියද්දි ආයෙත් අපි අතර අදහස් නොගැලපීමක් ඇති උනේ මම කරලා තිබුනු වැඩ එක A4 කොලේකට පමණක් සීමා කරලා ලියවන්න ඒ පුද්ගලයට ඕනකම තිබුන නිසයි..ඒ ඕනකම කොතරම් ද කියනවා නම් මම කල වැඩ වලින් සමහර දේවල් ඒ ලිපියට ඇතුලත් නොකර ඉන්න හේතුත් නිර්මාණය කර ගත් මේ පුද්ගලයා සමඟ ඇති වුනු තරහ පිට නොකර හිටියේ පහුගිය කාලය පුරාම දැක්ක මනුස්සකම් නිසාමයි..

මෙන්න මේ වගේ තමයි මිනිස් සමාජයක තියන බොහෝ ආකල්ප හැදිලා තියෙන්නේ කියන එක ඒ ආකල්ප වල මුල් හොයාගෙන යද්දි ඔබටම දකින්න පුලුවන්..මිනිස්සු මිනිස්සු ගැන අවබෝධ කර ගන්න ප්‍රමාණය වැඩි වෙන්න වෙන්න මේ වගේ අයථා විදිහට මිනිස්සුන්ව භාවිතා කරන්න ක්‍රම මිනිසුන් අතරින්ම හැදෙන්නේ මිනිස් මොළයේ තියන සුවිශේෂි බව නිසාමයි..මේ වහල් බවින් මිදෙන්න බොහෝ අයට අපහසු මුදල් නිසාමත් නෙමේ මම නම් දකින්නේ.. ඒ හැම බාධකයක්ම බිඳෙගෙන ඇත්ත මොකද්ද කියලා හොයලා බලන්න මිනිස්සුන්ට තියන ඕනකම තමයි මේ ක්‍රමවේද වලින් ගැලවෙන්න තියන එකම මඟ.. එයට බුදු දහම ඉතා හොඳ මඟ පෙන්වීමක් බව නම් මම දන්නේ අත්දැකීමෙන්..


පලි.: ඔස්ට්‍රේලියාවෙත් රැකියා ස්ථානයක් ගැන මට තියනවා හරි අපූරු අත්දැකීමක්.. වෙලාවක ලියන්නම්..

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.