Sunday, July 29, 2018

ඔබ නවතින්නේ කොහෙද කොහොමද...

මිනිස්සු කිසිම දෙයක් හොයලා බලන්නේ නැතුව එක පාරටම කෙනෙක් කියන/හැසිරෙන දිහා බලලා ඇයි නිගමන වලට එන්නේ..මේ බොහෝ අය පාසැල් කාලේ (ඊට පස්සෙත්) නිරීක්ෂණ විශ්ලේෂණය කර නිගමන වලට පැමිණ විභාග වලට සාර්ථකව පිළිතුරු ලිව්ව අය.. (එහෙම නැති අයත් අනිත් අයගේ ඕප දූප ඉතා හොඳින් ගැඹුරින් විමසලා හොයන අය..)

නමුත් ජීවිතයට ඒ හැකියාවෙන් අංශු මාත්‍රයක දෙයක් එකතු කරගෙන නැහැ කියා මට සිතේ.. හුදෙක් රැකියාවක් කර මුදල් ඉපයීමට මිස ලබන අධ්‍යාපනයෙන් සීතිමේ හැකියාව ප්‍රගුණ කර නැති ද කියා මට බොහෝ විට සිතේ.. මිනිසෙක් තවත් මිනිසෙක්ව ඒ කෙනාගේ කෝණයෙන් වටහාගැනීමේ හැකියාව සෘණ අගයක් ගනිද්දි සමාජයකට වෙන්නේ මොකද්ද කියන එක අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නෑ මම හිතන්නේ..

ලංකාවේ හෝ වෙනත් රටක (නිදහස්) අධ්‍යාපන ක්‍රමය ඇතුලේ හැදිලා තියන කෘතීම තරඟකාරීකම අවබෝධ කරගන්න ඔබට පුලුවන් ද.. ඇයි එහෙම වෙලා තියෙන්නේ සහ දිගින් දිගට ඒ ක්‍රමයම පවතින්නේ.. ඒ තරඟයට පිටතින් පැවැත්මක් නැහැ කියන තැනට සමාජයක් පත් වෙන්නේ ඇයි.. මේ තරඟය පිටුපස හැංගිලා තියන මිනිස් හිත් වල ස්වාභාවය ගැන ඔබ කවදහරි ගැඹුරින් හිතලා තියනව ද..
.
යටත් කර ගන්නා යැපුම් වහල් මානසිකත්වයක් ඇති මානසික ගැටලු වල නිසි පිළියම් යොදවා මනස සුවපත් කල හැකි ක්‍රම නැති මිනිස් සමාජ වල වැඩිහිටි පරම්පරාවට අභියෝගයක් වන බාල පරම්පරාවට කුමක්ද වෙන්නේ කියා ඔබ හොයලා බලලා තියනවද කවද හරි..

මේ ක්‍රමයෙදි බොහෝ විට බාල පරම්පරාවට සිදු වෙනවා එක්කෝ බොරුවට රඟපාන්න, එක්කෝ තමන්ගේ හැකියාව නොදැක්කා වගේ අමතක කරලා වෙන කෙනෙකුට ඕන විදිහේ පබයෙක් රූකඩයක් වෙන්න...එක්කෝ මරණය.. අන්තිමේ ආඬි හත්දෙනාගේ කැඳ හැළිය වගේ සමාජයක් බිහි වීමේ යටි පෙළ ඔබට වැටහෙනව ද..වැඩිහිටි පරම්පරාව තමන්ගේ පැවැත්ම ගැන බයකින් සැකයකින් පෙළිමේ ආදිනව ඔබට පෙනෙනවද..

මැරෙන්න වගේම ජීවත් වෙන්නත් බය මිනිස්සු නිසා තමන්ගෙම හිත ගැන බය කරන ක්‍රම ඇතුලත් ආගමික, සංස්කෘතික සිරිත් විරිත් වලින් වෙලා තියන බලපෑම ඔබට දකින්න හැකි ද නිදහස් නිවහල් මිනිස් සමාජ හදා ගන්න යන මාවත් අහුරන...

ඔබ විස්වාස කරන දෙයක් නැත්නම් ඔබ ආස කරන දෙයක් ඔබට සමීප කෙනෙක් (ඔබ කියලා හෝ ඔබ වෙනුවෙන්) අකමැත්තෙන් කරද්දි (කැමැත්තෙන් කරන බව පෙන්වමින්) ඔබ ඉදිරියටම යනවද.. නැත්නම් නවතිනව ද... ඒ කෙනාගේම යහපත වෙනුවෙන් කියාද අපි හිතමු ඔබ කරන්නේ...මේ දේම අහන්න පුලුවන් ඔබ අකමැති දේවල් අන් අය වෙනුවෙන් ඔබ කරන සීමාව කොතනද කියාත්..

එක් මිනිසෙක් සතුටු වෙන්නේ තවත් මිනිසෙක්ගේ කඳුලු වලින් නම් ඒ මිනිස් සමාජයේ අනාගතය ගැන ඔබට මොකද හිතෙන්නේ..

මේ ප්‍රශ්න හරහා අලුතින් බිහිවෙන ක්‍රම දැක්ක තැන දණ ගහලා වඳින්න වගේම නොකල දේවල් පවා කියමින් ගුණ වර්ණනා ප්‍රශස්ති ගායනා කරන්න අවශ්‍ය වැඩිහිටි අයට නම් ගැලපෙන්නේ නැහැ..

එවැනි අධ්‍යාපන ක්‍රමයක්/සමාජ ක්‍රමයක් කිසිඳු වෙනසක් නොකර දිගින් දිගටම පවත්වාගන්න වෙහෙසීම පිටුපස මම නම් දකින්නේ තමන්ගේ නොහැකියාව වහ ගන්න නොසෑහෙන්න උත්සහ කරන මිනිසුන් පිරිසක් මිස තමන්ටවත් සමාජයටවත් වැඩකට ඇති මිනිසුන් නොවේ...

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.