Wednesday, June 20, 2018

ත්‍රිකෝණයකට පාද කීයක් තිබේද...

මේ දවස් වල මගේ බදාදා දවසේ උදේ 9 ඉදන් හවස 3 වෙනකම් ගත වෙන්නේ 1 වසරේ දරුවන් එක්ක..ඒ ගැන වැඩි විස්තර කියන්න කලින් මීට වසර කීපයකට කලින් මම මාරු කලා එතෙක් මම ඉගෙන ගත්ත සහ රැකියාව කල විෂය.. එහෙම කලේ මට ඕන උනා මේ අලුත් පරිසරයේ පුතාව එක්කන් යන්න ඕන මොන වගේ පාරවල් වලද කියලා කල් තියා දැන ගන්න, මොකද දැන ගියොත් නේ කතරගම යන්න පුලුවන්.. නොදැන ගියොත් අතරමඟ..

ඉතින් අතරමන් වෙන්න කලින්ම පුතා ගොඩක් පුංචි කාලේම එයා ගෙදරින් මුලින්ම එළියට අඩිය තියන්න බලාගෙන හිටිය DAYCARE , PRESCHOOL ගැන මම ඉගෙන ගත්තා එහි ඇතුලාත්නයට ගිහින්..(නොදන්න ගොඩක් දේ මට කියා දුන්න හරිම සුහදශිලි අය මට එහිදි හමු වුනා, ඒ වගේම මගේ දැනුමෙන් දෙන්න පුලුවන් උපරිමය දෙන්නත් මට හැකියාව ලැබුනා ඒ ආයතන වලට සහ එහි හිටපු දරුවන්ට )

පුතා ටික ටික ලොකු වෙද්දි පියවරෙන් පියවර මමත් මේ අලුත් පාර දිගේ එයා ලඟින්ම යන්නේ මොන වගේ උදව්ද මගෙන් වෙන්න ඕන කියන එක පැහැදිලිව දැක ගන්න.. මට සමීප කෙනෙක් අලුත් වෙනසක් කරද්දි මගේ පුරුද්ද තමයි මගෙ වැඩ ටිකක් පැත්තකින් තියලා ඒ කෙනාට මට කරන්න පුලුවන් උදව් කරන්න වෙලාව හදා ගන්න එක.. මම කැමැති නැහැ එළියක් දල්වගන්න පුලුවන්කම තියෙද්දි අඳුරේ ගිහින් අන්තිමේ පුතාට වරදක් කියන්න..

ඒ නිසයි පුතා ඉස්කෝලේ යද්දි මමත් මේ ඉස්කෝලේ යන්නේ. එහෙම කලේ නැත්නම් මේ අලුත් පරිසරයේ පුතා මුහුණ දෙන ගැටලු ගැන මට හරි අවබෝධයක් ලබා ගන්න වෙන්නේ නැහැ. අන්තිමේ මටත් පුතාව බොහෝ දෙනෙක් කරනවා වගේ ටියුෂන් යවන්න තමයි වෙන්නේ 1 වසර ඉඳලම..

ඔන්න ඕකයි මම අද 1 වසරේ දරුවන් එක්ක කාලය ගත කිරිමේ අතීත කතාව.. ඉතින් අදත් උදේම මේ දරුවන් එක්ක මට මුලින්ම කරන්න තිබුනේ පරිගණක පන්තියට යන එක.. පුංචි උනාට කරන්න ඕන හැමදේම මේ දරුවෝ දන්නවා.. නොදන්න දෙයක් හරි ගැටලුවක් එන තැනක් හරි අඳුරගෙන විසඳන එක තමයි මගෙ රාජකාරිය..මේ රාජකාරිය කරන අතරේ මගෙන් පන්තිභාර ගුරුතුමිය බලාපොරොත්තු වන දේ තමයි මේ පන්තියේ ඉන්න එක් විශේෂ දරුවෙක් එක් පියවරක් හරි ඉදිරියට අරන් යන්න ක්‍රම හොයන එක.. දරුවෙක් ඉදිරියට (හෝ පසුපසට) අරන් යන්න නම් මුලින්ම ඒ දරුවව අපි වටහාගන්න ඕන.. මොන වගේ දරුවෙක් ද කියන එක..අන්න ඒක තමයි මේ දවස් වල මම කරන්න උත්සහ කරන්නේ..

මේ පුංචි දරුවා දන්නේ නැහැ මම හරි කවුරු හරි එයාට ලං වෙන්න උත්සහ කරන්නේ එයාට උදව් කරන්න කියන එක.. ඒ නිසා සෘණාත්මක හැසිරිම් පාලනය කරන්න මුලින්ම ඉගෙන ගන්න ඕන.. කොහොම හරි අද දවසේ ගිය සතියට වඩා මට ලං වෙන්න ඉඩ දෙන්න එයාට හිතිලා තිබුන නිසා අද අපි ගොඩක් වැඩ කලා එකට..

ඕනම දරුවෙක් (විතරක් නෙමේ, ඕනම කෙනෙක්) එක්ක වැඩක් කරද්දි කතා කරන වචන සහ අපි හැසිරෙන විදිහ ඒ වැඩේ යන්නේ ඉදිරියට ද පස්සට ද කියන එක තීරණය කරන මුලීක සාධක..මොන තරම් සෘණාත්මක දේ කලත් ධනාත්මක දෙයක් කරන්න පුංචිම පුංචි උත්සහයක් ගත්තත් ලොකු දෙයක් කලා හා සමානව අගය කරන්න පුලුවන් නම් මේ දරුවා එක පියවරක් ඉදිරියට අරන් යන්න මට අවශ්‍යම කරන "CONNECTION" එක හදා ගන්න පහසුයි කියන තමයි අද දවස ඇතුලත ඒ දරුවාගෙන් මම වටහාගත්ත දේ..

මම හිතනවා ලබන සතියේ යනකොට මමත් මේ දරුවත් අතර අද හදා ගත්ත "CONNECTION" එක නොකැඩි තියෙන්න තරම් ශක්තිමත් වේවි කියලා.. එහෙම තිබුනොත් විතරයි මට මේ දරුවව එක පියවරක් හරි ඉදිරියට අරන් යන්න පුලුවන්.. නැත්නම් මට ලබන සතියේ කරන්න වෙන්නෙත් මේ "CONNECTION" එක හදාගන්න මහන්සි වෙන එක..

මොකද දරුවෙකුට දෙයක් කියලා දෙන්න කලින් ඒ දරුවත් කියල දෙන කෙනත්, කියල දෙන දෙයත් අතරේ හැදෙන්න ඕන ත්‍රිකෝණයක්.. මේ ත්‍රිකෝණය හදන්න බැහැ දරුවත් මමත් එකිනෙකා එක්ක මනසින් (CONNECT) සම්බන්ධ වෙන්නේ නැත්නම්.. සරලවම කිව්වොත්  "කියන දේ ඇහුවේ නැත්නම්"..


ගොඩක් දරුවන්ට ඉගෙන ගන්න බැරි බැහැ, බැරි මෙන්න මේ ත්‍රිකෝණේ හදා ගන්න අවශ්‍ය කරන "CONNECTION" එක තනියම හදා ගන්න.. එහෙම තැන් අඳුරගෙන උදව් කරන්න පුලුවන් නම් ඉගෙන ගන්න බැහැ කියන ගොඩක් දරුවන් ඉගෙන ගන්න පුලුවන් කියන කොටසට දාන්න පුලුවන් අය..


පලි.:  අද ඉස්කෝල ඉවර වෙලා මගේ පුතාව ගන්න එන ගමනෙදි හදිස්සියෙන් මගේ ඇස් දෙක නතර උනා එක අම්මා කෙනෙක්ගේ ඇස් දෙකක් ලඟ.. ඒ ඇස් වල තිබුන වේදනාව අඳුරගන්න මට අමාරු උනේ නැහැ.. ඒ තමයි මම මේ තේරුම් ගන්න උත්සහ කරන දරුවගේ අම්මා...

දරුවෙක් අතින් වෙන පුංචි අතපසුවීමක් අල්ලගෙන ඒ දරුවව මනසින් වට්ටන ගුරුවරු අතරේ මේ පන්තිභාර ගුරුතුමිය මේ දරුවා (වගේම  ඕනම දරුවෙක්) අතින් වෙන බරපතලම වැරදිත් ඉවසන හැටි වගේම හරි දේ හුරු කරන්න යොදාගෙන තියන මානුශීය උපක්‍රමත් දකිද්දි හිතට දැනෙන හැඟිම පැහැදිලි කරන්න අමාරුයි..

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.