Saturday, July 21, 2018

ඔබට අවශ්‍ය එකාධිපතියෙක් ද...

මගේ වයස 18 පහුවෙන විටම වාගේ අපේ අම්මට ඕන උනේ පවුලට ගැලපෙන සියලු දුසිරිතෙන් තොර කඩවසම් පෙනුමැති උගත් උසස් රැකියාවැති කෙනෙකු සොයා සියලු නැදෑ හිත මිතුරන් ගෙන්වා මාව රූමත් දුටු දුටුවන් වශීකරවන මනාලියක් කර සතුටු කඳුලු හෙළමින් ගෙදරින් පිටත් කර ඇගේ හිතේ ඇති බර නිදහස් කර ගැනීම උනත් තාත්තා පුංචි කාලයේ පටන්ම මගේ කැමැත්තට වැඩි ඉඩක් වෙන කල නිසා එය සිදු උනේ නැහැ..

කෙසේ නමුත් මට වයස 24 දි හදිසියේ අප අතරින් තාත්තා සමුගත් පසු ආපසු අම්මගේ කන්කෙඳිරිය පටන් ගත්තේ දැන්වත් අර මුලින් කියූ සියලු දේ ඇති කෙනෙක් සොයා මා හැකි ඉක්මනින් පිළිවෙලක් විය යුතු බව තදින් නොකඩවාම කියමින්.. ඇය එයට දුන්නු හේතු දහස් ගණනක් අතරින් එක් හේතුවක් තමයි මගේ වයසේ සියලු අය කසාඳ බැඳ දරුවන් ලබද්දි මම පසුතැවෙනු ඇත යන්න..මේ අතර රටේ ලෝකේ සිටින සියලු දෙනාගේ උපදෙස් අනූව අර මුදු මේ මුදු කුරුල්ලෝ නිදහස් කෙරුම් ද ඇය නොකඩවා මා ලවා කරවන්නට පටන් ගත් අතර ඒ වෙන විට රැකියාවක ද නිරත වී උපාධියේ අවසන් වසර ගත කරමින් සිටි මා පත් වුයේ කිව නොහැකි තරමේ පීඩනයකට.. නිවස එපා කරවන තරම්.. නිවසේ තිබූ එකම සහනය මේ කිසි දෙයක් නොතේරෙන නොදන්නා ආදරය පමණක් සෙවු පූස් පැටියා පමණි..

මා කෙසේ කිව්වත් ලෝකයේ අන් අය සමඟ සංසන්ඳනය කරන ජීවිතයක් මට නැති බවත් මගේ හදවතට එකඟව ජීවත් වීමට මම කැමැති බවත් ඇය කෙසේවත් එය පිළිගත්තේ නැති අතර ඇයගේ මතයේම සිටියේ තාත්තට තව දුරටත් මා වෙනුවෙන් කතා කල නොහැකි වූ නිසාමයි...මළවුන්ගෙන් නැඟිට ඔහුට එන්න පුලුවන්කම තිබ්බා නම් මා වෙනුවෙන් ඔහු එදත් කතා කරන බව දන්නේ මා පමණි..

අන්තිමේ වැදූ හැදූ ඇයට යටත් වන්නට මට සිදු වුනු අතර මගේ විවාහය ඇය බලාපොරොත්තු පරිදිම ඇයම සොයා ගත් කෙනෙකු සමඟ සිදු කෙරුනේ මුලු මහත් නැදෑ පරපුරම ගෙන්වා පෙන්වමිනි.. එයද නවතා ගන්න දැරූ එකඳු උත්සහයක්වත් සාර්ථක නොවූ අතර මා ඉල්ලා සිටියේ නීතිය මඟින් කෙරෙන දේවල් පමණක් කර උත්සව නොපත්වන ලෙසයි.. එයට හේතුව ලෙස ඇයට ඉදිරිපත් කලේ කවදත් සරල වූ මා මනමාලියක් ලෙස හැඩ වී පණ මෙන් ආදරය කල පෙරළා මට ද පණ මෙන් ආදරය කල මගේ තාත්තට දකින්න නොහැකි නම් මටද එය අනවශ්‍ය බවයි..

ඒ කිසිඳු හේතු දැක්වීමකින් නවතාලනු නොහැකි වු ඇය එකාධිපතියෙකු සේ මා මෙහෙය වූ අතර තාත්තා ජීවත් වූ හැමදාමත් කිව්වේ අම්මාව පණ මෙන් රැක බලා ගන්නා ලෙස වූ නිසා දෙලොවක් අතර සිර උනු මා සුපුරුදු පරිදි ගත්තේ අම්මා මට බල කරන තීරණයයි.. ඒ දෙමාපියන්ට මගේ හිතේ ඇති ආදරය මේ ලෝකයේ ඇති අන් සියලුම දෙයට වඩා වැඩි බව අදටත් ඇය තේරුම් ගෙන නැති බව ද මම හොඳින් දනිමි.. කරුණු කාරණා කෙසේ උනත් අද මම මේ ලෝකයේ ජීවත් වන්නේ ඇය නිසා බැවින් ඇයට පිටුපා තීරණ ගැනීම සාදාචාරාත්මක නොවන බව අදටත් මම විස්වාස කරමි..

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.