කාලයක සිට වසරේ අවසානය මාසය ලෙසින් (මිනිසුන් විසින් තම පහසුවට) නම් කරන මේ මාසයේ මේ කාලයට අප නිවස ආසන්නයේම ඇති කිතුනු දේවස්ථානය ගැන මගේ දෙනෙත් යොමු වෙන්නේ වෙන කිසිවක් නිසා නොව එය පිහිටි මුලු පරිසරයම එකාලෝක වෙන මාසයක් බැවිනි..
ඉතින් මම කියන්න ගියේ මේ විදුලි ආලෝක සැරසිලි අතර ඇති එක් විශේෂ ගොඩනැඟිලක් ගැන..ඒ ගොඩනැඟිල්ල විශේෂ වන්නේ මට නොව මගේ පුතුටයි..එය නමින් නම් බක්ලම් හවුස්.. දුටු පළමු දා සිට එහි නිමැවුම ගැන මපුතුට ඇත්තේ කුතුහලයකි...ඉතින් ඇතුලට නොගිහින් කොහොමද.. කුඩා කාලයේ මම හැදුනේ බහු ජාතික /ආගමික පරිසරයක නිසාම උපතින් බෞද්ධ නමුත් අන් ආගමික ස්ථාන ගැන මට ඇත්තේ හුරු පුරුදු හැඟිමක්.. එයට මුලීක හේතුව මගේ දෙමාපියන්ද එසේ වීම බව නම් නොකියාම බැහැ..(පුංචි කාලේ කෝවිල් ගිය හැටි, කට්ටකුමන්ජල් දුමාරය අතරින් නළලේ රත් පැහැ තිලක තියා ගත් හැටි, බුලත් කොළයක එතූ පාට තුනකින් යුතු කුන්කුම රැඳවු සුදෝසුදු පොල් බෑය මට අද වගේ මතකයි..)
මපුතු ඒ මුලු විඩියෝ පටය දිහාම දෑස් දල්වා බලාගෙන සිටි අතර ඊට ඉතාම හොඳින් ඇහුම්කන් දෙන බවද පැහැදිලිවම පෙනුනු දෙයක්..වරෙක එක් රූප රාමුවකට පසු අනිත් රූප රාමුව එන්නට පෙර වෙන්න යන්නේ කුමක්ද කියාත් ඔහු කියනු මට ඇසුනි..මින් පෙර අහලා දැකලා නැති නමුත් ඒ හඬ පටයට හොඳින් සවන් දෙන ඔහුගේ හදවත ඒ හඬට එකාත්මික වී ඇති බව වටහා ගන්න මට අපහසු උනේ නැහැ..
මගේ පුංචි පුතු ද කුමක්දෝ හේතුවක් මත මේ භූමියේදි හැසිරෙන්නේ ඉතාම සන්සුන්ව කීකරුව වගේම හරිම සතුටින්..(එයට හේතුව නම් මං වගේම තම නිදහසට ආදරය කරන, තේරුම් ගැනීමකින් තොරව ඔහු ලවා නොයෙකුත් දේවල් කරවන, ඔහුට බල කරන කිසිවෙක් ඒ භුමිය තුල නොමැති වීම බව මට නම් රහසක් නොවේ..) ඒ තමයි මාව මේ දෙසට කාන්දමක් මෙන් අදින මුලීකම හේතු..මපුතු ඉපදුනු දා සිට නොවේ පිළිසිඳ ගත් දා සිට මගේ ජීවිතය කැරකෙන්නේ ඔහු කේන්ද්ර කරගෙන..ඊට පසුබිම සැකසී ඇත්තේ ද මගේ බලපෑමෙන් තොරව වගේම මගේ පාලනයෙන් ද තොරවයි...

ඒ හුරු පුරුදු බව නිසාම පන්සල් වගේම අනෙකුත් ආගමික ස්ථාන ගැනද මට ඇත්තේ මගේ කියන හැඟිම මිස "ඒවට අපිට යන්න තහනම්" කියන හැඟිම නෙමේ නිසා කිසිම අපහසුවකින් තොරව මපුතුගේ ඉල්ලීම ඉටු කරන්න මට හැකි උනා.... (හැබැයි මටම ආවේණික අදහස් උදහස් ඒ හැඟිම් වලට වහල් වෙලා නම් නැහැ එදා වගේම අදටත් ඒ වගේම හෙටත් )
එහි ඇතුලට ගිය විට අපි දැක්කේ එකේ සිට පිළිවෙලින් අංක කරන ලද ඉතා විශාල සිතුවම් රාශියක්..ඒ සිතුවම් එකින් එක බලාගෙන යද්දි මා නොදන්නා කටුක අතීතයක ජීවත් වූ ඒ මිනිසුන්ගේ ජීවිත ගැන මට දැනුනේ කිව නොහැකි දුකක්..අනුකම්පාවක්.. එතරම් සජීවී බවකින් යුක්තයි ඒ සිතුවම්..ජීවිතය මොන තරම් නම් ගැහැටක් වන්නට ඇති ද ඒ කාලයේ කියා සිතෙන අතරෙම පාසැල් කාලයේ වෙනත් ආගම් ගැන ලබපු කෙටි අධ්යාපනය වගේම තනිවම පත පොත කියවා එකතු කර ගත් දැනුමෙන් ඒ සිතුවම් වලින් පිළිඹිබු කරන්නේ මොනවාද යන්න මතුපුට පුංචි අවබෝධයක් ලබා දෙන්නත් මට හැකි වුනා..
ඉන් පස්සේ මගේ පුතුගේ අවධානය දිනා ගත්තේ ඒ ශාලාවේ එක් කොණක තිබුනු කලුවර කාමරයක්.. එතුලින් ඇසුනු සිහින් හඬ ගැන මැඩ ගන්නට නොහැකි කුතුහලයකින් පෙළුනු මේ පුංචි කොල්ලා මාවත් ඇදගෙන එදෙසට යද්දි එතන බාරව හිටි අය කිව්වේ ඒ පෙන්වන්නේ කුඩා වීඩියෝ පටයක් බවයි ජේසුගේ ජීවිතය සහ නත්තල අලලා සැකසුනු.. පුතුට ඕන උනා එය බලන්න..මොන වගේ දෙයක් පෙන්නාවිද කියා පුංචි සැකයකින් නමුත් කිසිඳු පැකීලිමකින් තොරව මමද පුතු සමඟ ගොස් එහි අසුන් ගත්තේ අප ඉදිරියේ පුළුල් තිරයක් ආලෝකමත් වෙද්දි අවට පරිසරය අඳුරේ ගිලෙද්දියි.. (අන් ආගම් ගැන දෙමාපියන්ගේ හැසිරීම් දරුවන් ඔබට නොදන්නවා අවශෝෂණය කර ගන්න බව මතක තියා ගන්න )

ඒ රූප රාමු වලත් මා දැක්කේ මිනිසුන් විඳින දුක, ජීවිතය පවත්වා ගන්න ගන්නා වෙහෙස,මනස සැහැල්ලු කරගන්න ගන්නා වෙහෙස..ඒ රූප රාමු වල සිටි දුකින් පීඩිත මිනිසුන්ගේ මුහුණු වල ලියැවී තිබුනු ගිලී මැරෙන්න යන මිනිසා තණකොළ ගහෙත් එල්ලෙනවා වගේ හැඟිමක් මසිත වෙළා ගනිද්දි මිනිස් ජීවිත වලට ආලෝකය එක් කරන ආදරය, කරුණාව, සාමානාත්මතාවය තවමත් කොතරම් මිනිස් ජීවිත වලින් ඈතද කියා ද සිතුනි..
ඉන් පසු සෑම වසරකදීම මේ දේවස්ථානය අවට පරිසරය ආලෝකමත් වෙද්දි අර විඩියෝ පටය මපුතුගේ හදවතේ රඟදෙනු ඔහුගේ මුවින් පිටවෙන වදන් වලින් දකිද්දි ඒ වීඩියෝ පටය ආදරය මුල් කරගෙන නිර්මාණය කර තිබීම ගැන මට දැනුනේ කිව නොහැකි තරම් සැහැල්ලුවක්.. ( දරුවෙකුගේ මොළය යමක් ධාරණය කරගත් පසු එය වෙනස් කිරීම හිතන තරම් පහසු නැහැ )
පුංචි පුංචි වෙනස්කම් කීපයක් ද සහිතව ආලෝකමත් වී තිබුනු මාවත් දිඟේ හිමින් හිමින් පිය මැන්න අපි අවසානයේ ඉන් පිට වී අවට පරිසරයේ අන්ධකාරයට එකතු උනේද ඇතුල් වූ සේම සතුටෙන් සැහැල්ලුවෙන් හදවත එළිය වුනු මිනිස් ජීවිත වල පිටතින් නොපෙනෙන සැඟවුනු දුක්බර කතාවක්ද සිත්හි දරාගෙන....
ප.ලි.: මපුතුට ඉතාම හොඳ මතක සහ ධාරණ ශක්තියක් තිබුනද මෙහි ඇති ලාංකීය සම්භවයක් ඇති ඕනම පන්සලික් ඔහුව මඳක් ඈත් කර තබන්නේ අවබෝධයෙන් තොර කට පාඩමින් ඔහුව ඈත් කර තබන්න මගේ හිත මට බල කරන බැවින් වගේම එය ඔහුට ඉතා වෙහෙසකර පීඩාකාරි දෙයක් බව දැනෙන බැවිනි...
No comments:
Post a Comment