Wednesday, January 17, 2018

රැල්ල ඇදෙනවා වැල්ලේ වැදෙනවා... සමන් මොට්ටු වගේ වතුර බිංදු ඉහෙනවා...

රැල්ල ඇදෙනවා වැල්ලේ වැදෙනවා

සමන් මොට්ටු වගේ වතුර බිංදු ඉහෙනවා....
මිනිසා කියන සතා  ටිකෙන් ටික හිතන්න පෙළබෙන පරිණාමයේදී නොයෙකුත් නිර්මාණශීලි දේවල් බිහි වී ඇති බව මිනිස් ඉතිහාසය ගැන කියැවීමේදී අපට ඉතා හොඳින් පෙනෙන දෙයක්.. එක් එක් කාල වකවානු වල එක් එක් සමාජ තල වල එක් එක් විදිහේ මිනිසුන් අතරින් නිර්මාණය වූ බොහෝ දේ අද වෙනකොට මුල් බිහි වීමෙන් කොයි තරමක් ඈත් වී ඇත්දැයි කියා නම් පැහැදිලි නැති නමුත්  සමහර නිර්මාණශිලි මිනිසුන්ගේ විස්වාසයන් මත බිහි වු විවිධ දේ සොයා බැලීම අත්හදා බැලීම පිළිපැදීම නම් නොනවතින චක්‍රයක්... මේ චක්‍ර ගැන කතා කරද්දි මිනිස් ශරීරය පුරා දිව යන ශක්තීන් ගැන කතා කරන චක්‍ර වර්ගයක් ගැන ලියන්නයි අද මම යන්නේ...

මේ ගැන මට හොයන්න හිතුනේ  මගේ ජීවිතේ එක් කාලෙක විවිධ හේතු මත හුස්මත් එක්ක ඇති වුනු නොනවතින ගැටලු නිසා හුස්ම ගැන වෙනදට වඩා මට හිතන්න  හේතු වුනු නිසා  කාලයත් එක්ක ජීවිතය මරණයෙන් කෙලවර වෙනකන්ම. 

මේ කතා කරන චක්‍ර අපේ ශරීරයේ  පිහිටා ඇති බවට විස්වාස කරන්නේ අපේ කොඳුඇට පෙළ මුල් කරගෙන.. ඒ කියන්නේ කොන්ඳක් ඇතුව ජීවිතේට මුහුණ දෙන කොට මේ කොඳුඇට පෙළේ පහළින් ආරම්භ වී හිස් මුදුනින් අවසන් වන විවිධ ශක්තී මූලයන් සමතුලිත කිරීමක් ගැන තමයි මේ කතා කරනන් යන්නේ... මේ ශක්ති මූල කියන්නේ බොහෝ දුරට අපේ හැඟිම්.. අපේ සිතුවිලි අපි හිතන විදිහ අනුව ගොඩ නඟා ඇති දෙයක් කියලයි මම මේ චක්‍ර ගැන කියවද්දි හිතුනේ.. කොහොම උනත් මේ චක්‍ර අපේ ශරීරයේ භෞතිකව පිහිටා ඇති දෙයක් නම් නොවේ..

ඒ කියන්නේ ඔබට කෙනෙකුගේ ශරීරයක් විවෘත කර මේ චක්‍ර දැක බලා ගන්න බැහැ.. ඔබේ අතින් ඇසින් නාසයෙන් දිවෙන් වගේ අපට සාමාන්‍යයෙන් දැනෙන ශරීර අංග වලින් මේ කියන චක්‍ර හඳුනා ගන්න බැහැ... මේ එක්තරා කාලෙක එක්තරා නිර්මාණශීලි මිනිසුන් කොට්ඨාශයක් අතින් බිහි වූ සංකල්පයක්  කියලයි මට හිතුනේ සමාජයක් වඩා හොඳ අතට හරවගන්න මිනිස් හිත් භාවිතා කරලා හුස්ම ගැන හිත යොමු කරවලා..   

මේ නොපෙනෙන  ශක්තී ප්‍රභවයන් සමතුලිතව පවත්වා ගැනීම  ජීවිතයක් දීප්තිමත්ව ප්‍රාණ්වත්ව සහ නිරෝගීව පවත්වා ගන්න අත්‍යවශය බව මෙහිදි කියැවෙන්නේ මිනිසුන් සතුන්ගෙන් වෙනස් වී හිතන්න පුලුවන් ජීවි කොටසක් බවට පරිවර්තනය වීමේදී හැඟිම් පාලනය ඉතාම වැදගත් වෙන නිසා වෙන්න ඕන... මේ අපේ ශරීරයේ එක් එක් තැන් වල ඇති බවට විස්වාස කරන චක්‍ර, එහෙමත් නැත්නම් හැඟිම් පාලක මධ්‍යස්ථාන ගැන කතා කරන්න කලින්  මට තියනවා  අහන්න ප්‍රශ්නයක්, අපේ හිත් වලට දැනෙන දුක් හෝ අපි ජීවිතේ මුහුණ දෙන නොයෙකුත් ආපදා වලට මූලික හේතුව මොකක් කියලද ඔබ හිතන්නේ....

මේ ගැන කියවද්දි එක තැනක තිබුනා මෙන්න මෙහෙම,

"මේ හැම දුකකටම (ආපදාවකටම)  පාදක වෙන්නේ එහෙමත් නැත්නම් මේ හැම දුකක්ම ඇති වෙන්නේ අපි හැමෝම (මේ ලොකේ ජීවත් වන සියලුම මිනිසුන්) එකම මිනිස් වර්ගයාට (කුලකයට)  අයත් බව නැතුව  තනි තනි පුද්ගලයා ලෙස මිනිස් වර්ගයා දෙස බැලීම   කියලා.. හරියට මහ මුහුදුක  රැළිති ඒ මහ මුහුදෙම කොටසක් බව නොහිතා වතුර සොයන්න පෙළබීම වගෙයි කියා..". 

ඒ කියන්නේ මේ මහ මුහුදේ බිඳි බිඳි  නැඟෙන රැල්ල හැදිලා තියෙන්නෙත් වතුර වලින්මනේ, හැබැයි රැල්ල ඒ ඇත්ත දකින්නේ නැතුව මහ මුහුද පීර පීර හොයනවා වතුර හති වැටෙනකන්ම !!!!    අවසානේ රැල්ල වැල්ලේ හැපිලා බිඳිලා යනවා..... 

අහන්න මේ ගීය...ඊලඟ ලිපියෙන් හමු වෙනකම්.

මුහුද ලස්සනයි... මුහුද හරි ලොකුයි..
හෝ හෝ... හෝ හෝ.. හෝ හෝ....
හෝව නතර වෙන්නෙ නෑ...

රැල්ල ඇදෙනවා  වැල්ලේ වැදෙනවා 
සමන් මොට්ටු වගේ වතුර බිංදු  ඉහෙනවා...

ප.ලි. : මිනිස් ඉතිහාසය පුරා නිර්මාණය වෙලා තියන නොයෙකුත් සිරිත් විරිත්, ඇදැහිලි ක්‍රම, ආගම්, දර්ශනවාදයන් වගේම එක එක විදිහේ විස්වාසයන් ගැන අදහස් ඉදිරිපත් කරද්දි බොහෝ මිනිසුන් උඩ බලාගෙන කෙළ ගහ ගන්න එක නම් හරි විහිලුවක්....ඒ කිව්වේ  අතීතයේ තමා වැනිම මිනිසෙකුගේ සිතුවිල්ලක් දිහා  අපහාස උපහාස කරමින් විවේචනය කිරීම යනු තමා ගැනම එලෙස දැකීම නොවේද...

මේ ලිපි පෙළ ලියද්දි මෙන්න මේ ලින්ක් කියවන්න මම "දැනට" බලාපොරොත්තු වෙමි...

https://en.wikipedia.org/wiki/Chakra
https://www.wellbeingalignment.com/chakra-meditation.html
https://www.consciouslifestylemag.com/7-chakra-meditation-balancing/
https://www.mindvalleyacademy.com/blog/spirit/guide-to-chakra-meditation
https://chopra.com/articles/what-is-a-chakra

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.