Tuesday, July 3, 2018

නාමේ නොදිරනා කිව්වට ඒක ඇත්තම ඇත්ත ද..

මේකප් සහ අනෙකුත් සියලු රූප අලංකරණ ක්‍රම සහ විදි යනු මගේ ජීවිතයෙන් බොහෝ ඈත ඇති දේවල් වන්නේ අද ඊයේ සිට නොවේ..ඒ වගේම ආභරණ (ඕනම දෙයකින් නිපදවා ඇති) වලටද මගේ කිසිම කැමැත්තක් නැත්තේද අද ඊයේ සිට නොවේ..

මේ සියලු දේ මට දැනෙන්නේ ජීවිතයට අනවශ්‍ය බරක් කියායි..තමන් තමන් තුල සැඟවීමක් කියායි.. එහෙයින් කිසිඳු දිනක මේ දේවල් ලඟ තබා ගැනීමට උනන්දු වුයේ නැති අතරම තෑගි ලෙස ලැබෙන මේ සියලු දේ අන් අය අතර බෙදා දුන්නෙමි හැකි සෑම විටම.. ඒ අන් අය ඒ දේවල් භාවිතා කරනවාට මගේ කිසිම අකමැත්තක් නැති නිසා..රන් ආභරණ ගැනද මට ඇත්තේ හරිම ඇල් මැරුනු සිතුවිල්ලක්..ඒ නිසාම අද වන විට එක් එක් අයගෙන් තෑගි ලෙස ලැබුනු සියලු රන් ආභරණ මා ලඟ නැත.. එය පුදුමාකාර නිදහසක් බව දන්නේ කීයෙන් කී දෙනාද..

සුවඳ විළවුන් භාවිතයට ද මගේ ජීවිතයේ ඇත්තේ ඉතාම අඩු ඉඩකි...එයට ප්‍රධානම හේතුව බොහෝ සුවඳ විලවුන් වල සුවඳ මට දරා ගත නොහැකි තරම් සැර වීමයි.. මා මෙතෙක් ආස කල එකම සුවඳ විළවුන් වර්ගය මට ගෙනත් දුන්නේ තාත්තා.. අද වෙනතුරු ඒ සුවඳට සම කල හැකි සහ මට දරා ගත හැකි වෙනත් කිසිම විළවුන් වර්ගයක් මට හමු වී නැත.. මේ දේවල් වලින් ඈත් වී ගෙවන සැහැල්ලු සැඟවීමකින් තොර ජීවිතේ හිටපු ගමන් එක් එක් අය මේ දේවල් සමඟ ජිවිතය බද්ධ කිරීමට ලොකු උත්සහයක් ගත්තද එය අද වන තුරු නම් සාර්ථක වී නැත..

ඊලඟට ශරීර ප්‍රමාණය (කෙට්ටු හෝ මහත ) ගැනද කිසිඳු දිනක මා වද වී නැත.. මා අවට සිටින අය නම් විශේෂයෙන් මගේ අම්මා නම් ඒ ගැන වද වූ තරම් ලියන්න වචන ද නැත.. පුංචිම කාලයට පසු කෑම යනු මගේ ලඟ හිත මිතුරෙකු නොවන නිසා වගේම ක්‍රියාශීලි බව නිසාම දරා ගන්න බැරි තරම් මහත් වීමේ ගැටලුවක් මට තිබුනේ ද නැත..

ඒ ගැටලුව යාන්තමින් මගේ ජීවිතයට එබී බැලුවේ පහුගිය වසරේ මගේ එක් යෙහෙලියක් අප නිවසේ කෙටි කාලයකට නවාතැන් ගත් පසුයි..ඒ ඈ නිසා මා නිවසේ කල යුතු වැඩ ප්‍රමාණය බොහෝ සෙයින් අඩු වීම සහ අප එකතු වී ඉයූ රස වෑහෙන කෑම ප්‍රමාණය වැඩි වු නිසා.. ඇයම gym යන්නට සියලු පහසුකම් සාදා දුන්නද gym යනු මා ආස කරන තැනක් නොවන බව වැටහුනු පසු ඇයට gym යන ලෙස පවසා සුපුරුදු කැම රටාවට සහ වැඩ කිරීමේ රටාවට හෙමින් හෙමින් අනුගත උනු අතර ඉබේම අද වන විට පෙර සිටි ගානටම පැමිණ ඇත..මේ කාලය තුල මා වටහා ගත් එක් දෙයක් නම් කිසිඳා කෑම වැඩි පුර කෑවාට මහත් වෙන්නේ නැති කෙනෙක් කියා සිතා සිටි මා එසේ නොවන බව වටහා ගැනීම..

රූපය යනු පිටතින් අලංකාර කල හැකි දෙයක් යැයි මට සිතෙන්නේ නැහැ..තාවකාලිකව කරන්න පුලුවන් තමයි..හැමදාම මට සිතෙන්නේ පිටතින් පෙනෙන අපේ රූපය යනු ඇතුලතින් සත්කාර කල යුතු මනසට බරක් නැති කාලය සමඟ හෙමින් හෙමින් වියැකි යන දෙයක් කියා නිසා මේ කිසිඳු බාහිර අලංකරණ ක්‍රමයක් මගේ ජිවිතයට ඉදිරියටත් ලං නොවනු ඇතැයි මා සිතමි..

මගේ මේ විදිහ නිසා ලොකු අමාරුවක වැටෙන පිරිසක් ඇත. ඒ කිසියම් හේතුවක් මත මට තෑගි දෙන්න සිතන අය.. මේ අයට සිදු වන්නේ තම මනස හිතා මතා වෙහෙසවා out of box සිතා දෙන්නේ කුමක් ද කියා දිවා රෑ සිතීම බව දන්නා නිසාම ඒ දෙන තැගි කිසිදිනක අමතක නොවන ඒවා වගේම මගේ ජීවිතය තවත් පහසු කරවන දේවල් වීම විශේෂයි..

මේ සංකීර්ණ තරඟකාරී  අරුමෝසම් බාහිර ඔපයට වැඩි ඉඩක් වෙන් කරන ලෝකයේ සරල මට එවැනි තෑගි හැම කෙනෙකුට සොයා ගත නොහැකි නිසාම හෘදයාංගම හිනාවත් මිල කල නොහැකි තෑග්ගක් වන්නේ එවැනි හිනාවක් ද ලේසියෙන් කෙනෙකුගෙන් දැකිය නොහැකි නිසාමයි අද ලෝකයේ අන් කෙනෙකු වෙනුවෙන්....

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.