Friday, June 22, 2018

100 - 90 = 5 ද....

රු 100ක් ලැබුනු විට රු 90ක් ඉතිරි කරන්න සහ  රු 10ක් වියදම් කරන්න හිතන්න අපි මොළයට පුරුදු කලොත් අඩුම ගානේ රු 5ක් වත් ඉතුරු වේවී ද..

ඉතිරි කිරීම ගැන මට පළවෙනි අවවාදය ලැබුනේ මගේ අම්මාගෙන්..ඒ මම රැකියාවට ගිහින් ටික කාලෙකට පස්සේ.. ලංකාවේ අපි නීතියෙන් වැඩිහිටියෙක් ලෙස සලකන වයස වන අවුරුදු 18න් පසුව හෝ  ඉන් එහාටත් මොන තරම් වයසට ගියත් දෙමාපියන්ගෙන් වෙන් වී වෙනම ජීවත් වෙන්න නොහිතන නිසා  ඉඳුම් හිටුම්, කෑම බීම, බෙහෙත් හේත් සමහර වෙලාවට ඇඳුම් පැලඳුම් පවා දෙමාපියන්ගෙන් නොමිලේ ලැබෙන පරිසරයක රැකියාවෙන් ලැබෙන  මුදල  කොහොමද හසුරවා ගන්නේ කියන තැනදි හරි අවබෝධයක් නැති වෙන්න තියන ඉඩ කඩ වැඩියි..

මේ කාලේ වෙද්දි මගේ තාත්තා අපි අතරින් සමුගෙන තිබුනු නිසා ගෙදරට අවශ්‍ය සමහර දේවල් ද පඩි ගත් දිනට මම අරන් එද්දි මගේ අම්මා මට දුන්නු උපදෙස තමයි වහාම මගේ නමින් තවත් බැංකු ගිණුමක් හදන ලෙසත් එයට සෑම මසකම පුංචි මුදලක් හෝ දමන ලෙසත් කිසිම ඕනකමකට එයින් මුදල් නැවත නොගන්නා ලෙසත්.. මාසය ගත කරන්න මුදල් මදි උනොත් මඳක් ඉවසන ලෙසත්.. (අම්මා කිව්වේ මේ උපදෙස ඇයට කිව්වේ මගේ  තාත්තා බවයි.. තාත්තට කියා ඇත්තේ  ඔහුගේ යහලුවෙක් බවයි..එවැනි යහලුවෝ අද නම් නැතුව ඇති)

අලුතින් ගිණුමක් නොහදා  තිබුනු බැංකු ගිණුමේම මේ උපදෙස ක්‍රියාත්මක කරන්න මම හිතුවේ මගේ අත්සන එක්ක හැමදාම ගැටලු ඇති කරගන්න බැංකු එක්ක ගනුදෙනු අවම කරගන්න මට ඕන උනු නිසයි.. ඉවසීම කියන්නේ මට මගේ ජීවිතේ ඉතාම හොඳින්ම ප්‍රගුණ කරන්න ඉඩ ලැබුනු දෙයක් නිසාම අම්මා දුන්නු උපදෙස ක්‍රියාත්මක කරන එක ඒ තරම්ම අපහසු උනේ නැ වගේම කොහොමත් ගෙදරම හැදුන මගේ අවශ්‍යතා ඉතාම සරලයි...

වැඩිහිටියෙක් විදිහට දෙමාපියන්ගෙන් වෙන් වී වෙනම ජීවිතයක් ගෙවද්දි  එක් තැනකදි මම අම්මා දුන් උපදෙස් වලින් එකක් කිසිඳු වග විභාගයකින් තොරව කඩන්නේ අනාගතය ගැන කිසිම පැහැදිලි වටපිටාවක්  නැති තැනකදි.. ඒ තමයි කිසිම වෙලාවක ඒ මුදල් සියල්ල එකවර ගන්න එපා කිව්ව එක.. ඒ වගේම ඒ උපදෙස් දෙන්න හේතු උනු  රැකියාව අත් හරින්න තීරණය කලෙත් කිසිවක් පැහැදිලි නැති තැනකදි..

කිසිඳු පැහැදිලිකමක් නැතුව අවුරුදු 9කට කලින් ගත් ඒ තීරණය හරි හැටි නොදන්න තැනකට මීදුම අතරින් යනවාක් මෙන්  මාව අරන් ආවේ අද මම නැවතිලා ඉන්න නවාතැනට..  සිනහවත් කඳුලත් ඒ වගේම නොයෙකුත් බාධාවලුත් නොඅඩුව තිබූ ඒ ගමන් මඟ පුරාම  මගේ හිතේ රැව් දුන් එක් දෙයක් තිබුනා.. ඒ තමයි කවදහරි මේ ගමන නැවතුනු දිනක මගේ අම්මා මට දුන් උපදෙස ආපහු පටන් ගන්න බවත් ආපහු කිසිම දවසක කිසිම දෙයක් නිසා ඒ උපදෙස නොකඩන බවත්...

ඉතින් අදින් වසර 6කට කලින් නැවතුනු මේ නැවතුමේදි මම කාටවත් නොකියා  ඒ දේ කරන්න පටන් ගත්තේ හිතේ ලොකු අධිෂ්ඨානයක් ඇතුව.. ලේසි උනේ නැහැ මේ වගේ මුදලින් සියලු දේ කෙරෙන  රටක අම්මා දුන් උපදෙස ක්‍රියාත්මක කරන එක..  අනුන්ගේ මෙන්ම තමන්ගේද නිමක් නැති අවශ්‍යතා ගලාගෙන එන ජීවිතේ අවුරුදු 6කට පස්සේ ආපහු මට පුලුවන් උනා අම්මා  කිව්ව දේ ඒ විදිහටම පිළිපදින්න අඩුම ගානේ අම්මටවත් කඩන්න බැරි විදිහට..
තාත්තාට ඒ උපදෙස කවුරු කිව්වාද කියා අද මට මතක නැති උනත් ඒ උපදෙස තාත්තට කියූ කෙනාට වගේම හරි වෙලාවේදි මට ඒ උපදෙස කියූ මගේ අම්මාටත්, තමන් දන්නා සියලු දේ නොසඟවා අන් අයට කියා දුන් තාත්තාටත්,  ඒ උපදෙස යම්තාක් දුරකට  පිළිපඳින්න හිතුනු මගේ අකීකරු හිතටත් ස්තුතිවන්ත වෙන අතරම  තමන්ගෙන් ඉල්ලා ගත් මුදල් නොදී ඉන්නා කීප දෙනෙක් වෙනුවෙන් ලියූ,  එහෙත් තැපැල් කර නොමැති  ලිපි කිහිපයක් ද තාත්තා අපෙන් සමු ගත් පසු ඔහුගේ ලියකියවිලි අස් කරනා දිනක හමු වුවා මතකයි මට.. 

තාත්තා තීරණය කර තිබු ලෙසම අද වෙනතුරු අප කිසිවෙක් ඒ අයගෙන් ඒ ගැන විමසා නැත..සමාජයක ජීවත් වන වෙනස් වෙනස් මිනිසුන් සමඟ ගනුදෙනු කරන අයුරු  ද මුදල් හරහා අපි දෙමාපියන්ගෙන් උගත් පාඩම්..

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.