Saturday, July 7, 2018

මං ආස මං වෙන්න....

අදින් ඇරඹෙන මගේ ජීවිතයේ 38 වෙනි වසර දක්වාම මම උත්සහ කලේ මම කියන කෙනාව මට නැති කරගන්නේ නැතුව අන් අය එක්ක සාමකාමීව ජීවත් වෙන්න ක්‍රම හදා ගන්න.  මට මං වෙන්න තිබුන ඕනකම එහෙමත් නැත්නම් මගේ හදවතට එකඟ වෙන්න බැරි තැන් වලදි නැවතෙන්න වගේම එකඟ තැන් වලදි ඉදිරියට යන්න තිබුනු ඕනකම නිසාම පහුගිය වසර 37 පුරාම මෙන්න මේ වගේ වචන අදහස් නොගැලපීම් වලදී මට ඇහුණු වාර ගාණ වැඩියි..

මොනවද දන්නව ද ඒ වචන, හිතුවක්කාර, පණ්ඩිත, නපුරු, ආත්මාර්ථකාමි, පොර, බිත්තිය, අමුතු, රැඩිකල්, ගලක්, මුතු ඇටය.. තව ඇති මතක් උනාම ලියන්නම්.. පුදුමේ කියන්නේ මේ (සමහර) වචන කියලත් ලඟටම වෙලා ඉන්න උත්සහ කරන එක..

ආත්මාර්ථකාමී කියන වචනය ගැන පහුගිය දිනක හරි අපූරු අර්ථකතනයක් මම කියෙව්වා කෙනෙක් ලිව්ව.. ඒ තමයි ආත්ම + අර්ථ = ආත්මාර්ථ...ඒ අනූව බැලුවොත් නම් සීයට දාහක් ඒ වචනය මා වෙනුවෙන් භාවිතා කිරිම නිවැරදියි..මොකද මම හැමදාම හෙව්වේ/හොයන්නේ මොකක්ද මගේ ජීවිතයේ අර්ථය කියන එක නිසා..

මේ වචන කිව්ව අය එක එක විදිහේ හැඟිම් මේ වචන අස්සේ හංගලා කතා කල බවත් ඒ අයගේ මුහුණ දිහා බලද්දි වගේම ඒ අයගේ හැසිරීම් දිහා බලද්දිත් පැහැදිලිව පෙනෙද්දි මුලදි නම් මම තරහ ගත්තට කාලය මට පුරුදු කලා හිනාවෙන් විතරක් උත්තර දෙන්න.. එහෙම පුරුදු වෙන්න ගොඩක් අය උදව් කලා වගේම ජීවිතේ මෙතෙක් ලද අත්දැකීම් ද ගොඩක් උදව් උනා..

පුංචි කාලේ පටන්ම මාව දන්න යහළු/යෙහෙළියන්ට මා ඇසුරු කිරීම ගැන නොයෙකුත් අයගෙන් නොයෙකුත් සීමා මායිම් තිබූ බවත්  අදටත් එය එසේම බවත් පෙනෙන සිදුවීම් වලින් නම් අඩුවක් නැහැ..මේ අයගේ පොදු ලක්ෂණයක් ද මම දකිමි, ඒ තමයි තමන්ගේ දුර්වලතා ගැන සමාජයක් ඉදිරිපිට කතා කිරිමට ඇති දැඩි අකමැත්ත සහ අන් අයට වරද  පැටවීමට ඇති දැඩි කැමැත්ත..

කෙනෙකුට ඒ කෙනා වෙන්න දෙන්න එහෙම නැත්නම් ස්වාධීන වෙන්න දෙන්න ගොඩක් මිනිස්සු අකමැති එහෙම උනාම තමන්ට ඒ කෙනාගෙන් ගන්න තියන ගොඩක් දේ අහිමි වෙන බව පෙනෙන නිසා වගේම  තමන්ගේ පෞර්ශ්‍ය දුර්ලවතා වලට වග කියන්න කෙනෙක් හොයා ගන්න නොහැකි වන නිසා.. මොකද තවම ලෝකේ බොහෝ මිනිස් සමාජ වල මානසික උපදේශන (Counseling)  කියන්නේ පිස්සන්ට පමණක් වෙන් වූ සේවා කියා සිතා ඉන්න නිසා..

ගොඩක් වැඩිහිටියන් මට කිව්වේ කිසියම් තැනකදි  අනිත් අය වෙනස් කරනවාට වඩා ලේසි දේ තමන් වෙනස් වීම කියන එකයි.. ඒ අතරේ අතරින් පතර හිටියා කිසිම හේතුවක් නිසා තමන් නොවන කෙනෙක් වෙන්න එපා කියලා නොකියා කිව්ව හරිම ආදරණීය වැඩිහිටියන්..උණ පඳුරු මහා සුළි සුළඟටත් එහා මෙහා වැනී  රැකෙන අතර ඉද්ද ගැහුවාක් මෙන් කෙලින් වැඩුණු ගස් මහ පොළොව සිඹින්න යන්නේ එක් මොහොතක් බවත් සමහර වැඩිහිටියන් හරි අපූරුවට පෙන්නලත් දුන්නා තමන්ගේ ජීවිතයෙන්ම..

මේ තැනට සුදුසු විදිහට රඟපාන්න කියන වැඩිහිටියෝ නොකියා කියන්නේ කාරිය කෙරෙන තුරු  කෙනෙක්ව රැවටුවාට කමක් නැහැ කියා නේද කියා සිතුනත් දාන මාන කරමින් පන්සලේම කාලය ගත කරන අය කොහොමද එහෙම කියන්නේ කියා ද සිතේ..

හැබැයි ගොඩක් අය මාව දන්නේ හරි කීකරු  (පිස්සු නටන්නේ නැති) කෙනෙක්  විදිහට, ඒ මට මගේ අම්මටයි තාත්තටයි එහායින් යන්න ගොඩක් අමාරු නිසා හිතේ තියන ආදරය නිසා වගේම ඒ දෙන්නාගේ කාලයෙන් වගේම මුදලිනුත් වැඩි හරියක් වැය උනේ මට මිසක් මගේ මල්ලිට නොවන නිසා..

කොහොම උනත් අද මම යම්කිසි සාර්ථකයත්වයක් ජීවිතයේ ලබා ඇත්නම් ඒ පිටුපස ගණන් කල නොහැකි තරම් මිනිසුන් සිටින බව මා කියූ විට මා ආ ගමන් මඟේ හැරවුම් ලක්ෂ මෙන් සිටි මිනිසුන් පවසන්නේ, මා කල කිසිවක් නැත, මේ සියල්ල කලේ ඔබ බවයි...අන්තිමේ මාද ඔබම විය,ඔබද මාම විය..අපද අපම විය..

වයස 35 වෙද්දි කරන්න ඕන කියා සිතූ බොහෝ දේ වගේම නොසිතුව බොහෝ දේ ද  සිදුව ඇති  ජීවිතය මම ගෙවන්න කැමති මගේ හදවතට එකඟව නිසා ඉදිරියටත් වෙන්නේ මට මං වෙන්න ක්‍රම හදා ගනිමින් යන එක තමයි ඉතින්. බලමු මොන වගේ වචනද ඉදිරියට අහ ගන්න වෙන්නේ කියලා...

2 comments:

  1. රැස් විදාගෙන ශක්ති ලැබදෙන හිරුද අහසෙහි වැජඹුනේ
    පස් තුළින් නිති මතුවෙනා පැල නැවුම් සුළඟින් සැනසුනේ
    දොස් කියන අය ගුණ කියන අය අප වටා නිබදව වැනේ
    තිස් අටෙන් පසු ඔබම ඔබ වනු දිවිය ජයගනු දින දිනේ....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. තිස් අටක් වන තුරු දිවි ගෙවු මේ දිවි මඟේ
      ගුණදොස් කියන දන හමු වු මේ දිවි මඟේ
      තවම රැඳි ඇත නැවුම් බව මේ දිවි මඟේ
      දිලෙන හිරු ලඟයි නිබඳව මේ දිවි මඟේ...

      Delete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.