Wednesday, September 5, 2018

පාඩුවේ ජීවත් වීමට ඇති එකම මඟ වන ගත වීම ද....

ඔබ ඔබව නොරිදවාගෙන, අන් අයට ඔබව රිදවීමට ඇති අවස්ථා සියල්ල වසා දමමින්, අන් අයට ඔබව පාලනය කිරීමට ඇති අවස්ථා ද වසා දමමින් ඔබේ සීමාවන් ඇතුලේ සංවේදීව සතුටින් සැහැල්ලුවෙන් සාධාරණව ජීවත් වීමට ආරම්භ කරන පළමු දින පටන්ම අවස්ථාවාදි දුර්වල මිනිස්සුන් ඔබට ගැසීමට ගල් එකතු කරනු ඇත.. ගලක් සොයා ගැනීමට නොහැකි නම් පුලුන් කැබැල්ලකින් හෝ දමා ගසනු ඇත ඉන් ඔබට රිදෙතැයි සිතා...මීට අමතරව ඉතාම ලගන්නා සුලු වේශයකින් ද මෙවැනි අය ඔබට ලං වෙන්නට උත්සහ කරනු ඇත ආදරයේ නාමයෙන්..


ඔබේ නිදහස් වෙලාව ඔවුන් දකින්නේ ඔබේ නොව ඔවුන්ගේ කියායි..එය ඔබේ බව පැහැදිලි කිරීමට මෙලොව කිසිම සන්නිවේදන ක්‍රමයකින් නොහැකි වනු ඇත අත් හැර දැමීම මිස..මේ ක්‍රමය සමහර මිනිස් සමාජ වල අසූ කොටියක් පින් ලැබෙන පිළිගත් සම්මත ක්‍රමවේදයක් බව කරුණාකර සලකන්න..එයින් පිට සිටින්නන් අසම්මත ජිවිත ගත කරන බවටද ආකල්පයක් ගොඩ නංවා දිවා රෑ පෝෂණය කරමින් පවත්වා ගෙන යාමට බහුතර අවස්ථාවාදි මිනිසුන් නිති පතා දිවි පරදුවට තබා වෙහෙසේ...

මේ ක්‍රියාව කරන්න පෙළබෙන්නේ දරුවන් නෙමේ.. අබ්බගාතයන්ද නොවේ.. දෙඇස් නොපෙන්නෙන් ද නොවේ.. කන් නොඇසෙන්නන්ද නොවේ.. බොහෝවිට පිට මිනිස්සුන් ද නොවේ..එසේ නම් කවුරුන් කියාද ඔබ සිතන්නේ..ඔව්. හොඳින් වැඩුනු අත පය හතර අඩු නැතුව තිබෙන ඇස් පෙනෙන කන් ඇහෙන කිසිඳු ඇසීමේ දුර්වලතාවයකින් නොපෙළෙන,ඉතා හොඳින් හැඟීම් දැනීම් දැනෙන වැඩිහිටියන් යැයි කියා ගන්නා මිනිසුන්.. බොහෝ විට ඔබට සමීපම අය..

කිසිම ලිංග බේදයකින් තොරව ඔබව ඔවුන් පෙළනු ඇත ඔවුන්ගේ අවශ්‍යතා ඔබෙන් කර ගන්න..ඔවුන් විස්වාස කරන ජීවිතය ඔබෙන් ලබා ගන්න ඔබ පණ පිටින් මියැදුනත්..ඔබට යම් ගැලවීමක් ඇත්තේ එක්කෝ ඔබ අබ්බගාතයෙක් නම් එක්කෝ ඔබ මානසික හෝ ශාරීරික ලෙඩෙක් නම් පමණි.. එයද මරණාසන්න නම් පමණි..

මේ නිසා ඔබට ඔබේ හැකියාවෙන් ශක්තියෙන් යමක් ඔබ වෙනුවෙන් කර ගැනීමට අවශ්‍ය නම් එක්කෝ එය කරන්න වෙන්නේ ඉතාම හොර රහසේ.. එක්කෝ බොරු තරහක් අමනාපයක් නොරිස්සුමක් මවා පෙන්වමින්.. නැතහොත් ඔබෙන් යමක් ගත හැකි බව දැනෙන පළමු තප්පරයේම ඔබේ නිදහසට ඇඟිලි ගැසිමේ මහා ව්‍යාපාරය කොතනකින් හෝ ඔවුන් අරඹනු සහතිකය..මේ ව්‍යාපාර ඔවුන්ට සෑහෙන්න ලාභ ලැබෙන ඒවා බවට සහ ඔබට කිසිවක් නොලැබෙන ඒවා බවට හරවා ගැනීමට ඇති හැකියාවට නම් සම්මාන පිට සම්මාන දීලත් මදිය..

ලෝක වාර්ථා වලට එක් කල යුතු ඒ හැකියාවට නොබෙල් ත්‍යාගය ද හිමි විය යුතුයි කියා සිතන ඔවුන් ඔබෙන් ඔවුන්ගේ ජීවන බලාපොරොත්තු ඉටු කරගැනීමට නොහැකි වීම නිසාම ඔබට ඔබ එපා කිරීමට මෙන්ම කෙසේ හෝ ඔබේ සේවය ඔවුන්ට ලබා ගැනීමට (ඔබව වහල් කමේ යෙදවීමට) ඔබව පෙළනු ඇත..එය වැලැක්වීමට සමත් කිසිවෙකුත් මෙළොව තවම බිහි වී ඇතැයි මා නම් නොසිතමි..

කෙනෙක් මේ ලෝකෙට ඉපදෙන්නේ ඒ කෙනාගේ නොව අවට ඉන්න අයගේ වහලුන් වීමට යැයි ඉත සිතින් සිතාගෙන නව ජීවය බිහි කරන සමාජයක ඔබට සැහැල්ලුවෙන් තම නිදහස ආත්ම ගෞරවය රැකගෙන පාඩුවේ ජීවත් වීමට ඇති එකම මඟ වන ගත වීම ද..

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.