Thursday, June 7, 2018

මුතුකුඩ ඉහළන මල් වරුසාවේ...

වැස්ස දවස් වලට පාරේ හැදෙන පුංචි පුංචි වතුර පිරුනු විල් වලට පනින්න, ඒ විල් වල ගැඹුර බලන්න ඔබේ දරුවන්ට ඔබ ඉඩ දෙනවද සතුටින්.. කැමැත්තෙන්...එහෙම ඉඩක් වෙන් කරන්න ඔබට කාලය තියනවද ඉතුරු වෙලා...

පුංචි කාලය තරම් සැහැල්ලුවෙන් ගත කරන්න පුලුවන් කාලයක් ආපහු එන්නේ නැති නිසා වගේම මේ පුංචි පුංචි විල් වලට මාත් තවම ගොඩක් ආදරය කරන නිසත් මගේ පුතාට මං හරිම කැමැත්තෙන් (හැබැයි පාලනයක් ඇතුව ) ඉඩ දෙනවා වැස්ස දවස් වලට පාරේ හැදෙන විල් ගැන ටිකක් හොයලා බලන්න..

(අවුරුදු 4.5 එහෙම නැත්නම් 5න් විතර පටන් ගන්න පාසැල් කාලය අවුරුදු 13ක්ම ගෙවන්න ඕන නේ මේ පුංචි පැටව්.. ඒ නිසා ඒ දිඟු කාලයෙන් පීඩනයට පත් නොවෙන්න ක්‍රම අපි එයාලට හදලා දෙන්නම ඕන කියල මට හිතෙනවා..)

ඒ නිසාම වෙනදට දකින්න නැති මේ විල් ඇයි හැදෙන්නෙ කියලත් අපිට කතා කරන්න ඉඩ ඉබේම හැදෙනවා..පුතා කවදාවත් දැකලා නැති උනත් ඟං වතුරක් එන හැටිත්, ආවම කරන්න ඕන මොනවද කියලත් අපි කතා කලා..මම කරන්නේ අහන ප්‍රශ්න වලට එයාටම හිතලා උත්තර දෙන්න පුලුවන් විදිහේ ප්‍රශ්න අහන එක විතරයි...

හැබැයි විල් වලට බහින්න එයාට අවසර තියෙන්නේ ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකොට විතරයි.. උදේ ඉස්කොලේ යන ගමන් දකින විල් මඟ හැරලා යන්න ටික දවසකින්ම පුතා පුරුදු උනා හවසට එයාට ඉඩ ලැබෙන බව තේරුම් ගත්තට පස්සේ.. (හැබැයි ඉතින් පාලනයක් නැතිම තැනක මොනවා කරයි ද නම් මම දන්නේ නැහැ මේ දඟකාරයා.. )

පුංචි දරුවන්ගෙ දඟකාර දෙපාරක් නොහිතන සැහැල්ලු කුතුහලය පිරුනු මනස තේරුම් ගන්න පුලුවන් නම්, තැනට ගැලපෙන්න එයාලව හැඩ ගස්සව ගන්න එක ඒතරම්ම අමාරු දෙයක් නෙමේ.. ඇඳුමක සපත්තුවක ගෑවෙන මඩ වතුර සෝදලා වේල ගන්න පුලුවන්.. හැබැයි ළමා මනසක් වේලිලා ඉරි තලලා ගියොත් ආපහු කොහොමටවත් පණ ගන්වන්න නම් බැරි වේවි..

ඊයේ වෙනදට වඩා විල් හැදිලා තිබුනු නිසා ගෙදර ඇවිත් සපත්තු සෝදලා වේලුනාට පස්සේ මට හිතුනා පොලිශ් කරන්න.. ඉතින් මම පුතාගෙන් ඉල්ලුවා පොලිශ් එක මට ගෙනත් දෙන්න කියලා.. ගෙනාවට පස්සේ එයාටම ඕන උනා ඒ වැඩේ කරන්න.. මමත් ඉතින් හා කියලා දුන්නා කරන්න..

දරුවන්ගේ වැඩ වගේම එදිනෙදා ඔබ කරන වැඩ වලදිත් එයාලවත් එකතු කර ගන්න..පුංචිම කාලේ ඉඳලා මේ දේ කරන්න පුලුවන් නම් දෙපාර්ශවයටම කරදරයක් නැති මැද තැනක් හදා ගන්න පුලුවන් කාලය එක්ක.. එතකොට තමයි දරුවන්ට ඔබෙන් යමක් ඉගෙන ගන්න පුලුවන්.. එතකොට තමයි එක් පරම්පරාවක දැනුම ඊලඟ පරම්පරාවට යන්නේ.. තමන් කරන දේවල් වලින් ඊලඟට වෙන්නේ මොකද්ද කියලත් ඊලඟට කරන්න ඕනේ මොනවද කියලත් ඉගෙන ගන්න දරුවන්ට ඉඩක් දෙන්න.. මම හිතන්නේ එය පාසැල් අධ්‍යාපනයට වඩා බොහෝ ඉදිරියට ඔබේ දරුවන් රැගෙන යාවි..



No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.