Friday, September 4, 2020

අංශු...

අංශු, ආදරේට අංශු කිව්වට ඇත්ත නම හිමාංශු,  නමටම හරියන ගතිගුණ තියන පොඩ්ඩක්වත් තරහ නොයන, පහුගිය කාලේ  අහම්බෙන් මට හමු උනු හරි ආදරණීය තමන්ගේ නොවන හීන ගොන්නක්  හිතේ හිර කරගත්  මිතුරෙක්..මිතුරෙක් කිව්වේ මගේ ජීවිතය මගේ පැත්තෙන් හිතන්න පුලුවන් කෙනෙක් නිසයි..අඬන්න හිතුනු වෙලාවට කිසිම ලෝභ කමක් නැතුව උරහිස දුන්න, අවට පරිසරය සීතල වී ගල් උනු  වෙලාවට  ඔහුගේ  උණුසුම් හදවතේ රිද්මය මට අහන්න දුන්න, හමු වෙන හැම දවසකම  නැවුම්  හැඟුම් මහදේ පිර වූ අංශු එතරම් හිත හයිය කෙනෙක් නම් නෙමේ..

Thursday, August 13, 2020

මොළයේ ක්‍රියාකාරිත්වයේ ධන සෘන දෙකටම වගකිව යුතු ඔහු පමණක් නොවේ..

මගේ පුතුගේ පියාගේ හැසිරීම් ( ඔහුගේ පමණක් නොවේ කාගේ උනත් )  මොන තරම් අසාමාන්‍ය උනත් ඔහුව ඒ හැසිරීම්  වලට තනිකරම  වැරදිකරුවෙක් කරන්න මා හදිස්සි වෙන්නේ නැහැ..අනිවාර්යයෙන්ම ඔහුට උදව් අවශ්‍යයි, ඔහු පිළිගත්තත් නැතත්..ඔහු ඔහුටම සලක ගන්න විදිහ හරිම  අකාරුණිකයි..එය වෙනම කරුණක්..

Tuesday, August 11, 2020

මොකද්ද එහි අවසන් ප්‍රතිපලය..

වයසින් වැඩුනු මනසින් නොවැඩුනු පිරිමියෙකුගේ පෞර්ශ ගැටලු වලදි තනි නොකර, සඟවන්නේ නැතුව  උදව් ලබා දීම වරදක් ලැජ්ජාවක් ලෙස සලකන්නේ ඇයි..ඇයි එවැනි පිරිමින්ගේ නොගැලපෙන ක්‍රියා හැම විටම සාධාරණීයකරණය කර සඟවන්න  උත්සහ ගන්නේ, මොකද්ද එහි අවසන් ප්‍රතිපලය..

Monday, August 10, 2020

නිදහස් නිවහල් ජීවිතයකට බය ඇයි...

මගේ අම්මා ඇතුලු සියලු වැඩිහිටියන් තවමත් සිතන්නේ ඔවුන්ගේ සහ පුතුගේ තාත්තාගේ  කිසිඳු ප්‍රශ්නයක්  නැති බවත් මම තව දුරටත් ඉවසිය යුතු බවත්..ඔවුන් සියලු දෙනාගේ ගැටලු මා  විසඳමින් මගේ මුලු ජීවිතයම ජීවත් විය යුතු  බවත්..ඔවුන් ස්වාධීනව ඒ ගැටලු වලට කිසිවක් නොකරයි අනුන්ට රිදවීම සහ සැඟවීම හැර.

Sunday, August 9, 2020

තනිකරම මගේ තීරණයක්...

ඇයි හැම තිස්සේම කාගෙන් හරි යැපෙන්න හොයන්නේ...ඇයි කාවහරි යටත් කර ගෙන ජීවත් වෙන්න හදන්නේ...ඇයි ස්වාධීන වෙන්න (ඉඩ දෙන්න) බය…තමන් ගැන එතරම් අඩු ආත්ම විස්වාසයක් දැනෙන්නේ ඇයි..

Monday, July 27, 2020

මේ ගෙවී යන්නේ ඒ කාලයයි..

මගේ විවාහය මගේ අම්මා මොන තරම්  සමාජ භීතිකාවකින් පෙළෙන ආත්මාර්ථකාමි  කෙනෙක් ද කියා අවබෝධ කර ගන්න පාර කපාවියැයි කිසි දිනක මා සිතුවේ නැහැ..ඉපදුනු දා සිටම   මා ඇගේ ඇස් දෙක මෙන්  විටෙක  සිර කාරියක් කරමින් බලාගත්තේ දිනක සමාජය හමුවේ ඇයගේ සාර්ථකභාවය ඔප්පු කර පෙන්වීමේ සාධකයක් ලෙස කියා කිසි විටක සිතුවේ නැහැ. ඉතා බොළඳ ලෙස ඇගේ  හැසිරීම ආදරය යැයි  සිතා සිටියෙමි..

Sunday, July 26, 2020

එය මිනිසෙකු ලෙස උපත ලැබු ඔහුගේ අයිතියක්..

මගේ පුතු ඉදිරියේ ඔහුගේ මවත්, පියත් ඇතුලු වැඩිහිටියන් කිසිඳු වරදක්, අඩු පාඩුවක් නැති සර්ව සම්පුර්ණ මිනිසුන් කියා ඔප්පු කර පෙන්වන්න,රඟපාන්න මට කිසිඳු අවශ්‍යතාවයක් නැති නිසා ඔහු අකමැති, ඔහුට අපහසු අපේ පුරුදු, අපේ ක්‍රියාකලාපයන් ඉතාම නිදහස්ව විවෘතව කතා කරන්න, විවේචනය කරන්න ඔහුට ඉඩ ලැබී ඇත..වෙනස්කම් කරන්න ඉඩ ලැබී ඇත..

Saturday, July 25, 2020

රත්තරන් බිත්තර දමන කිකිළියගේ හදවත සිදුරු කල මිනිසෙක්..

පුතු පිළිසිඳ ගත් දා පටන්  අද වන තුරු මා ආ ගමන කොහෙත්ම පහසු නැත..(ඉන් පෙර ද පහසු නැත) ඒ පුතුගේ තාත්තා පුතුව ප්‍රතික්ශේප කල නිසාවෙන්.. සැලසුම් කල දරු උපතක් උනත්  ඔහු පැවසුවේ මා ඔහුට බල කල බැවින් එසේ වෙන්නට ඉඩ හැරිය බවත් පුතුගේ සියලු වගකීම් මා ගත යුතු බවත්..ඉන් පෙර මා ඔහු වෙනුවෙන් කල සියලු දේ කිසිඳු අඩුවකින් තොරව සිදු විය යුතු බවත්..

Wednesday, July 22, 2020

ඔබට පුලුවන්..

මීට වසර 9කට පෙර හාල් කිලෝ 5ක් ඔසවන්න බැහැ කියූ, දරුවා බලා ගන්නවා නම් සියලු දේ වෙනත් කෙනෙක් සුදානම් කර දිය යුතු බවත් එසේ නැත්නම් තමන් දරුවා බලා ගන්න නොදන්නා බවත් පැවසූ පුතුගේ තාත්තා අද වන විට සතියේ දින හතේම ඔහුගේ සියලු දේ තනිවම කර ගන්නා ගමන් පුතුගේ සියලු වගකිම් ද සති අන්තයේ ඉතා සාර්ථකව තනිව දරයි…මවිසින් ඔහුගේ කිසිඳු අවශ්‍යතාවයක් සපුරන්නේ නැහැ අද වන විට..ඔහු ඕනටවත් වඩා තමන්ගේ අවශ්‍යතා තමන් විසින්ම සපුර ගන්න අති දක්ෂයෙක්..

Tuesday, July 21, 2020

මෙහෙම වෙන්නෙ ඇයි..

මතයක් තියනවනේ විවාහයකින් පස්සේ ගැහැනියක් පිරිමියෙක් හදා ගන්න ඕන කියා..දරු කමට වගේ...කොහොමද වැඩිහිටි පිරිමියෙක් තවත් කෙනෙකු හදා ගත යුතු කෙනෙක් තරම් නොහැකියාවක් නොතේරුම්කමක් ඇති කෙනෙකු උනේ..එවැනි පිරිමියෙක් විවාහයකට සුදුසුයි කියා ඇයි හිතන්නේ...

Saturday, July 11, 2020

ඉගෙන ගත් අසරණභාවය..

ඔබ අසා තිබෙනවද Learned helplessness එහෙම් නැත්නම් "ඉගෙන ගත් අසරණභාවය" කියන  තත්වය ගැන..මොකද්ද මේ..ඒ ගැන ලියන්න කලින්  මේ ගැන ඉගෙන ගනිද්දි Martin Seligman  කියන පර්යේක්ෂකයා බල්ලන් යොදා  කල පරික්ශණයක් ගැන ලියන්න හිතුනා මට..සතුන් යොදා ගෙන අතීතය පුරාම අදටත් විවිධ විද්‍යාත්මක පර්යේෂණ මිනිස් සතා  විසින් කරන බව නොරහසක් නිසා මම අමුතුවෙන් කියන්න යන්නේ නැහැ මේ පර්යේෂණ වලදි සතාට උන අපහසුතා..

Sunday, June 28, 2020

ඒ සිහිනය නම් බිඳෙන්නේ නැහැ..

Kindergarten වලදි පාසැල් බස් රථ රියදුරු සිහිනයකින් පටන් ගත් මගේ පුතුගේ වෘත්තියම සිහින මේ වන විට වෙනස් වී ඇත්තේ සිතා ගන්නත් අපහසු කෝණයකින්...

Thursday, June 18, 2020

මට හරිම මහන්සියි..

මීට වසර 10කට පමණ පෙර කොළඹින් පිට එක්තරා නැදෑ ගෙදරකදි දුටු දරුවෙකුගේ ඇස් ඉඳහිට මට තවම සිහි වේ..මේ දරුවාගේ මාපියන් දෙදෙනාම වෛද්‍යවරුන්…අපව ඉතා සුහදව සිනා මුසු මුහුණින් පිළිගෙන ගෙතුලට එක්කන් ගිය මේ මාපියන් යුවළගෙන් කෙනෙක් ඇසු විට දරුවා කෝ කියා ලැබුනු උත්තරය "පාඩම් කරනවා"..මේ මා එහි ගිය පළවෙනි වතාව වූ බැවින් දරුවාගේ වයස පිළිබඳ කිසිඳු ඉඟියක් මා දැන සිටියේ නැහැ.. ඉන් පසු ඇසුණූ තොරතුරු වලට අනූව  රෝහලෙත් ඉන් පිටතත් මාපියන් දෙදෙනාම සමාජ සේවා වලට තම කාලය ශ්‍රමය නොමසුරුව වැය කරන්නන්..

Thursday, June 11, 2020

අන්න ඒ වගේ දවසක් තමයි අද..

පුතා ආදරය කරන දෙයක් ලැබුනාම ඒකත් අරන් යන්න කැමතිම තැනක් තමයි අපේ ගෙදර ඉඳන් ටික දුරකින් තියන පිට්ටනිය.. මේ පිට්ටනියට ඇවිත් එක එක කාලෙට, එක එක තාලෙට හරිම ලස්සනට ඉර බැහැගෙන යන විදිහ බලන්න පුතු විතරක් නෙමේ මමත් හරිම ආසයි..හරිම නිදහස්..ඒ වර්ණ රටා කොච්චර වෙලා බලන් හිටියත් එපා වෙන්නේ නැහැ..

Tuesday, June 9, 2020

ලෝකේ කොහේ හිටියත්...

(උගත්/ නූගත්, ධනවත්/ දුප්පත්, කිසිම බේදයකින් තොරව) කෙනෙක් වයස 18න් 20න් නෙමේ 30දි 40දිත් මිනිස් අන්තර් සබඳතා වලදි හැසිරෙන්නේ පොඩි දරුවෙක් වගේ නම් එතන තියනවා ප්‍රශ්නයක්..මට හිතෙන්නේ ප්‍රශ්නේ තියෙන්නේ වෙන කොහෙවත් නෙමේ..මනසේ..

Friday, June 5, 2020

ඇයි මට විතරක් බැරි ?

පුතුගේ පාසලේ ගිය වසරේ මම වැඩ කල කාලය ඇතුලේ හමු වූ  එක්තරා දරුවෙක් ගැන මතකයක් අද ලියන්නේ ඒ සිදුවීම් අකුරු කරන්න තරම් හිත සන්සුන් බව දැනෙන නිසයි..ඒ කාලය තුල හමු වූ හැම දරුවෙක් ගැනම මතකය හරිම සන්වේදියි..සමහර තැන් වලදි හිත නිදහස් කර ගන්න ඕන නිසාම අනිත් පන්තියට මම ගියේ යන්න පුලුවන්  දුරම පාරෙන්..

Tuesday, June 2, 2020

සුදානම..

අපේ ගෙදර වැඩිම වියදමක් යන දේවල් අතරින් එකක් තමයි පොත්..පොත් වලට වැඩි කැමැත්තක්,ඉඩක් වෙන් කරන බව පේන්න තිබුනත්,ලොකු වියදමක් දරන බව පෙන්නේ නැහැ ගෙදරට එන කෙනෙක්ට...

Monday, June 1, 2020

කවදාවත් කියන්නේ නැහැ මම ...

අම්මා කෙනෙක් කියන්නේ දරුවන් හැම තප්පරේම මනැසේ (ඒ කියන්නේ දැක්කේ නැති උනත් ලඟ නැති උනත් හිත ඇතුලේ) තියා ගෙන ඉන්න හැකි කෙනෙක්..මේ හැකියාව නිසාම ඇයට ඇය අහිමි වෙන අවස්ථා මමත් මුහුණ දුන්න, මුහුණ දෙන හරි සුලබ දෙයක්..

Saturday, May 30, 2020

හදන එක වගේම (අත පුච්ච ගන්නේ නැතුව) ගලවන එකත් කලාවක්..

මේ සඳුදා පුරුදු විදිහට සතියේ දින පහම දරුවන් පාසල් යන්න පටන් ගත්තට වෙනදා වගේ දෙමාපියන්ට අවසරයක් නෑ පාසල පුරා ඇවිදින්න තියා ඇතුලටවත් යන්න..හැබැයි ඒ උදේට විතරයි..

හවසට වෙනදට පාසල අරින්න විනාඩි 45කට පෙර ඇරෙන ගේට්ටු දෙමාපියන්ට ඇරුනේ විනාඩි 15කට කලින්..ඊට කලින් එන්න එපා කිව්ව දේ නම් හැම දෙමාපියෙක්ම අකුරටම පිළිපඳින්න ඇති..ඒ වගේම නිසි පරතරය තියා ගන්නත් අමතක කලේ නැහැ කිසි කෙනෙක්.. හැබැයි ඒ පරතරය පවත්වා ගැනීම  එතරම් සාර්ථක නැහැ පාසල ඇරුනු පසු..

Thursday, May 28, 2020

මොනවද දන්නව ද ඒ සාධක...

මාසයකට පමණ පෙර (හරියට කිව්වොත් මාසයකුත් දවස් 14ක්  හදිසියේම හදවත දුවන වේගය වැඩි වී රෝහලේ දින 3ක් ගත කල මට, වෛද්‍යවරුන් නිරීක්ෂණ  පරික්ෂණ වලට පසුව කිව්ව හේතුව තමයි උපතින්ම මගේ හදවතේ වේගය තීරණය කරන ස්නායු (sinus node/natural pacemaker) ඉතා සියුම් ලෙස වගේම අසාමාන්‍ය ලෙස අධි ක්‍රියාකාරි බව..

මම ඉන්නේ උදව් කරන්න...

මේ සඳුදා ඉඳන් home learning අවසන් වී පුතු නැවත දවස් පහම පාසැල් යවන්න හැමදේම සුදානම්..දවස් පහම හරිම සැහැල්ලුවෙන් විනෝදෙන් පහසුවෙන් අපිට ඕන ඕන විදිහට පාසැල් වැඩ කල ඒ කාලය අවසන් වීම මට නම් ගේන්නේ පොඩි දුකක්..(ඉගැන්වීමෙත් තියනවා  thrill එකක්) පාසැල් යනවටත් වඩා මේ කාලය මට සහ පුතුට පහසු කාලයක් වීමත්,  එකටම පැය 24ම ගත කිරීමෙන් අපි අතර බැඳිම වගේම අවබෝධයත් තවත් ලං වී ශක්තිමත් වීමත්  තමයි හේතුව..

Sunday, May 24, 2020

ඔබ මොනවද දන්නේ....

  • ආත්ම ගෞරවය කියන්නේ මොකද්ද කියා ඔබ ඔබේ දරුවන්ට කියා දෙනවද.. අනුන්ට දක්වන ගෞරවය නෙමේ..ආත්ම ගෞරවය..

  • සහකම්පනය කියන්නේ මොකක්ද කියා ඔබ ඔබේ දරුවන්ට කියා දෙනවද.. අනුකම්පාව නෙමේ..සහකම්පනය..

Friday, May 22, 2020

ඒ මට හිතෙන දේ..

මම ගොඩක් පරිස්සම් වෙන තැනක් තමයි මගේ ජීවිතයට මෙතෙක් (සැඟවී වගේම එළිපිටත්)  නරක අත්දැකීම් ලැබූනු (සමීප)  වැඩිහිටි පුද්ගලයින් සමඟ පුතුගේ සබඳතා පවත්වා ගැනීම කියන්නේ..දරුවන්ට දෙමාපියන් නිසා තෝරා ගැනීම් වලට ලක් කල නොහැකි මිනිස් සබඳතා වලට අනිවාර්යයෙන් නිරාවරණය වෙන්න  සිද්ද වෙන බව අපි හැමෝම දන්න දෙයක්..

Thursday, May 21, 2020

තව දුරයි...

මගේ අම්මත් එක්ක කතා කරන හැම වෙලාවකම අවසානයේ මට හිතෙන දේ තමයි, ඇයගේ මනස මොන තරම් අත හැරීමට දුරයි ද, යථාර්ථය එහෙම නැත්නම් ඇත්ත එලෙසින්ම සාමකාමීව පිළිගැනීමෙන් මොන තරම් දුරයි ද  කියන කාරණය..අර මැක්කගේ කතාවේ වගේ මොන තරම් කතා කරත් අන්තිමෙ නවතින්නේම එතන නිසා කතා බහ සීමා කරල දැන් වසර 3ක්..

Tuesday, May 19, 2020

ලොකු පුතා...

අපේ ගෙදර TV එකක් තිබුනට බලන්නේ හරිම අඩුවෙන්..බැලුවත් බලන්නේ කෑම ගැන එහෙම නැත්නම් ක්‍රීඩාවක් ගැන තියන දෙයක්..පුතු උනත් පොඩි කාලේ හරිම ආසාවෙන් බැලුවට ටික ටික ලොකු වෙද්දි ( තාම අවුරුදු 9යි ) ඇබ්බැහි උනේ නැහැ..දැන් නම් ගොඩක් වෙලාට පුතු තෝර ගන්නෙත් කෑම හදන වැඩ සටහනක්..

ගලන ගඟකි ජීවිතේ..

අපේ ගෙදර හැම දෙයක්ම සම්පූර්ණයෙන්ම කලමණාකරනය කරන්නේ මම දැන් වසර 5ක ඉඳන්..පාලනය නෙමේ,ගෙදරක් එහෙම නැත්නම් පවුලක් කියන්නේ පාලකයෝ ඉන්න තැනක් විදිහට නෙමේ මම මගේ දෙමාපියන්ගෙන් දැක්කේ..විශේෂයෙන් මගේ තාත්තගෙන්..

Sunday, May 17, 2020

අරුත සඟවා ඔහේ ලියැවුනු අකීකරු පෙම් කතාවක්..

යම් කිසි දෙයක් හදාරන කෙනෙක් නිර්මාණයක් කරද්දි එයට හදවත පසාරු කරගෙන යන බරක් තිබුනට, හැදැරීමක් නැති තැන පුළුන් කෑල්ලක් තරම් සැහැල්ලුයි, ඇඟේ බලහත්කාරයෙන් වැදුනත් නොදැනෙන..



Thursday, May 14, 2020

ඔබ හිතන්නේ ඇයි එහෙම සටහන් කරන්නේ....

පුතුගේ පාසලේ දෙක වසරේ අවසන් වාරයේ සෑම දරුවෙක්ටම අවස්ථාවක් ලැබෙනවා පාසැල් තූර්‍ය වාදන කණ්ඩායමට බැඳෙන්න කලින් තමන්ට ගැලෙපෙනම සංගීත භාණ්ඩය තෝර  ගන්න..

ඒ තෝරා දීම කරන්නේ පළපුරුදු කණ්ඩායමක් විසින්..සෑම දරුවෙක්ටම වෙන වෙනම හැම සංගීත භාණ්ඩයක් සමඟම විනාඩි කීපයක් ගත කරන්න හැකි අයුරිනුයි එදා දවස සැලසුම්  වී තියෙන්නේ.. 

Tuesday, May 12, 2020

ගිය හකුරට නාඬන්නේ..තියන හකුර රැක ගන්නේ..

සාමාන්‍යයෙන් උදේ නැගිටින මොහොතේ එදා දවසේ මොනව ද කරන්නේ කියා සැලසුමක් මගේ හිතේ නැහැ..එහෙම තියන දවස් අසාමාන්‍ය දවස්..

එදා දවසේ මොනවද කන්නේ, මොනවද කරන්නේ, නොකරන්නේ, අලුත් දෙයක් එහෙම නැත්නම් විශේෂ දෙයක් හදනව ද නැද්ද,කොහෙද යන්නේ නොයන්නේ.. මේ කිසිම දෙයක් නැති නැවුම් මනසක් තමයි උදේ  නැගිටිද්දි මට තියෙන්නේ..

Thursday, May 7, 2020

අඹ රුක් සෙවණැල්ලේ..

මගේ පුතත් මන් වගේම පුංචිම කාලේ ඉඳලම අවට පරිසරයට ඉතා සංවේදි දරුවෙක් නිසා කාලයක සිට මම විවිධ ක්‍රම භාවිතා කරනවා ඔහුව, අවට පරිසරය කෙසේ තිබුනත් සන්සුන්ව සිහියෙන් ඉන්න හුරු කරන්න..

Wednesday, May 6, 2020

කොකිස්

පයින් යන්න එන්න පුලුවන් තරම් ලඟ සිංහල කඩයක් තියනවා කියන්නේ රෑ මැද්දේ  උනත් කොකිස් කන්න  පුලුවන් කියන එක සින්දුවකුත් අහන ගමන්..තව ඕනම නම් කහට අඩු ඉඟුරු දාපු වැඩි සීනි ප්ලෙන් ටී එකක් බොන්නත් පුලුවන්..

Friday, May 1, 2020

"ඔයා මෙහෙට එන්න තෝර ගත්ත වෙලාව නම් හරි අපූරු වෙලාවක්"

වසරේ වැඩි කාලයක් වැහිබර  වළාකුලු වලින් හැඩ වුනු අහසක් හිමි,  මීදුමෙන් වැසුනු සීතල නාවලපියෙන්  1995 දී කොළඹ එනවත් එක්කම මට දැනුනු ලොකුම වෙනස,  ඉතා වියළි උණුසුම් දූවිල්ල පිරිනු පරිසරය..ඒ පරිසරය මට ගෙනාවේ එතරම් සුන්දර අත්දැකීම් නම් නෙමේ..ටිකෙන් ටික ඇති වුනු  හුස්ම ගැනිමේ අපහසුතා වසර 9ක් ඇතුලත මාව ගෙනාවේ ඇදුම එහෙම නැත්නම් Asthma කියන හුස්ම ගැනීම අපහසු කරවන රෝගය ලඟට…හැබැයි එහෙම වෙන්නේ පාරිසරික හේතු මත පමණයි..නැවුම් පිරිසිදු පරිසරයක් කියන්නේ  මට නම් දෙව්ලොවක්..

Saturday, April 11, 2020

තනිකම..

ඊයේ හරිම නිහඬ දවසක්..ඒ වගේම වැහිබර දවසක්..වෙනදට වැල නොකැඩී ඇදෙන වාහන වෙනුවට අද ඇහෙන්නේ පේන්නේ ඉඳහිට යන ට්‍රක් රථ ඇතුලු තවත් වාහන කීපයක් පමණයි..

Wednesday, April 8, 2020

අම්මේ,එයා තාම ජීවත් වෙනවා ද..

මතක් වෙන හැමදාම මම පහල ගරාජ් එකට යන්නේ දැනට මාස 4ක පමණ කාලයක සිට එක තැන නැවතිලා ඉන්න කාර් එක බහැ දැකල එන්න..දැනටමත් එක සැරයක් battery එක ගොඩ ගන්නම බැරි තැන මාරු කර ඇති නිසා තව සැරයක් එහෙම නොවෙන්න තමයි හිතලම සතියකට කීප සැරයක් යන්නේ…

Tuesday, March 31, 2020

අවසන් විනාඩි 45

පුතුගේ පාසලේ අවසන් විනාඩි 45 ගත වෙන්නේ හරිම සැහැල්ලුවෙන්, එක්කො මුලු පන්තියම සින්දුවක් දාගෙන ඕන තරම් හයියෙන් කෑ ගහලා පිස්සු  නටන, එහෙම නැත්නම් මුලු පන්තියම එළියට ගිහින් ගුරුවරයත් එකතු වෙලා සෙල්ලම් කරන, එහෙම නැත්නම් සරල විනෝදාත්මක විද්‍යාත්මක පරික්ෂණ අත්හදා බලන්න දෙන, එහෙමත් නැත්නම් තමන් කැමති දෙයක් තෝරගෙන කරන්න කියා හෝ මුකුත්ම කරන්න ඕන නෑ කියා  සම්පුර්ණ නිදහස  දෙන විනාඩි 45ක්..

Monday, March 30, 2020

නම නොදන්නා සීයා සිහි ගැන්වු තාත්තා

ඉඳ හිට  තනි අතින් බඩු මල්ලකුත් අරන් හීන් පොඳ වැස්සේ  පාරේ යන  වයසක සීයා කෙනෙක්ව ජනේලයෙන්  දකිද්දි  මතක් වෙන්නේ මගේ තාත්තා..අද හිටියා නම්..

Sunday, March 29, 2020

අපේ GP

පහුගිය වසර 8තුල මගේ ජීවිතයේ බොහෝ දේ වෙනස් උනත් වෙනස් නොවූ දේවල් ද ඇත.ඉන් එකක් තමයි අපේ GP...2012 වසරේ සිට අද වෙන තුරු ඕනම අවශ්‍යතාවයකට අපි යන්නේ, උපදෙස් විමසන්නේ එකම GP කෙනෙක් ලඟට..වසර 8 ක් තිස්සේ හිමින් හිමින්,  ඒ වගේම හරිම විවෘතව මානුශීයව ගොඩ නැඟුනු මේ සම්බන්දය අද වෙද්දි ඉතාම හොඳ ද්විපාර්ශවීය අවබෝධයක් සහිතව ඉදිරියට යන්නක්..

Saturday, March 28, 2020

වගකීම්,යුතුකම් සහ අයිතිවාසිකම්

ඔස්ට්‍රේලියාවේ NSW ප්‍රාන්තයේ , මාර්තු මාසයෙන් ඇරඹෙන සරත් සමය අවසන් වෙන්නේ මැයි මාසයෙන් ඒ සීත සමයේ ආරම්භයෙන්..දෙසැම්බර් මාසයෙන් ඇරඹෙන ගිම්හානය අවසන් වී යන  නිසා මාර්තු මාසය වන විට දිනක් ඇතුලත එහෙම නැත්නම් සතියක් ඇතුලත කාලගුණය වෙනස් වෙන්නේ හිතා ගන්න අපහසු ලෙසින්.. 
අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.