Tuesday, May 19, 2020

ගලන ගඟකි ජීවිතේ..

අපේ ගෙදර හැම දෙයක්ම සම්පූර්ණයෙන්ම කලමණාකරනය කරන්නේ මම දැන් වසර 5ක ඉඳන්..පාලනය නෙමේ,ගෙදරක් එහෙම නැත්නම් පවුලක් කියන්නේ පාලකයෝ ඉන්න තැනක් විදිහට නෙමේ මම මගේ දෙමාපියන්ගෙන් දැක්කේ..විශේෂයෙන් මගේ තාත්තගෙන්..
විදුලි බිලේ ඉඳන් ( අන්තර්ජාල බිල හැර) ගෙදරක් පවත්වාගෙන යන්න  ඕන කරන සෑම දෙයකම බිල් ගෙවන්නේ මම..අමතක උනා කියන වචනයට මම අකමැති නිසා වගේම තවත් කෙනෙකුට කරදර කරන්න අකමැති නිසා මේ බිල් කලට වෙලාවට ස්වාධීනව ගෙවන්න ක්‍රම තමයි මුලින්ම හදා ගත්තේ..හොර බොරු කරන්න මම කැමති නැහැ..ඒ වගේම මුලින්ම මේ බිල් වලට මුදල් වෙන් කරලා තමයි අනිත් ඕනම දේකට අත තියෙන්නේ..බිල් ගෙවන්න ලැබෙන මුදල් මදි නම් මම කරන්නේ අවශ්‍යතා සරල කර ගන්න එක මිසක් පොලු තියන එක නෙමේ..එතනදිත් මුලින්ම කපා හරින්නේ මගේ අවශ්‍යතා..

කන්න බොන්න අවශ්‍ය දේවල් ඇතුලුව ගෙදරකට ඕන කරන හැම දෙයක්ම ගේන්නේ මම උනාට ගේන දේවල් තීරණය වෙන්නේ පවුලේ හැමෝගෙම අදහස් වල එකතුවෙන්..උයන පිහන එකත් ඒ වගේ.. කෑම බීම වලින් පස්සේ විනෝදය වගේම මානසික සහනය වෙනුවෙන් කෙරෙන දේවල් ගැනත් අවදානය යොමු වෙන්නේ පවුලේ හැමෝම සතුටින් සැහැල්ලුවෙන්  ඉන්නවා දකින්න මම  කැමති නිසයි.. ( විවෘත මනසක් තියන නිසා විනෝදය ගැන කතා කරද්දි සීමා මායිම් නැති තරම්, එකම දේ ආරක්ෂාකාරි වෙන්න ඕන )..කැඩෙන බිඳෙන දේවලුත් ගොඩක් වෙලාට හදන්නේ හෝ අඳාල තැනට යොමු කරන්නේ මම...

පුතු වෙනුවෙන් කරන වියදම් වලදි මම වග බලා ගන්නවා පොත් වලට වඩා හැම විටම සෙල්ලම් බඩු වැඩියෙන් ඇහැ ගැටෙන්න ගෙදර පවත්ව ගන්න..මොකද මම පොත් පිස්සියක්..( I believe play base education) සෙල්ලම් බඩු වලදිත්  විශාල පරාසයක විවිධ දේ කාලෙන් කාලයට එක් කරද්දි පුතුගේ කැමැත්ත  (සමහර විට මම  අකමැති උනත් ) අනිවාර්යයෙන් සලකා බැලෙන්නේ සෙල්ලම් බඩු වලින් සෙල්ලම් කරන්නේ පුතු මිසක් මම නෙමේ නේ..

මේ හැමදේම කලමණාකරනය කරන්න කලින් කොහෙන්ද කොහොමද මුදල් ලැබෙන්නේ කියන එක ගැන තමයි මම මුලින්ම සැලසුම් කලේ..එහිදි එකිනෙකින් ස්වායත්ත ක්‍රම 4කින් (5වෙනි  ක්‍රමය ස්ථීර නැහැ) ඉතා සවිමත්ව අඩිතාලම හදා ගන්නා තුරු වෙහෙසුනේ මගේ මොළය..

මෙතෙක් ජීවිතයේ මම අඩුවෙන්ම(මුදල්/කාලය )  වියදම් කරලා තියෙන්නේ, ඉදිරියටත් කරන්නේ ආගම් වලට..මම ආදරය කරන කෙනෙක් ආගමක් වෙනුවෙන්  යම් දෙයක් කරනවා නම් මිස ස්වාධීනව ආගම් වෙනුවෙන් කිසිම දෙයක් කරලා නැහැ වගෙම කරන්නෙත් නැහැ..

හැබැයි ඕනම කෙනෙකුට යන්න එන්න තැනක් නැති නම්, කන්න බොන්න දෙයක් නැති නම් ආරක්ෂාකාරීව උදව් කරන්න මම දෙපාරක් හිතන්නේ නැහැ...මීට වසර 3කට පෙර ගෘහස්ත ප්‍රචණඩත්ව ගැටලුවකදි යන්න එන්න තැනක් නැති උනු මිතුරියකට මගේ ගෙදර ඉඩ වෙන් උනත්,  එවකට ඇගේ සැමියා මා සමඟ කිසිඳු ගැටුමක් ඇති කර නොගත් නිසාම වසර දෙකක් ඇතුලත ඇයට සහ දරුවන්ට ආරක්ෂාකාරි ස්වාධීන ජීවිතයක් ගෙන යා හැකි පරිසරයක් නිර්මාණය කර ගන්න උදව් කරන්න මට හැකි උනා මගේ පවුලේ කිසිඳු දෙයක් මඟ නොහැරෙන ලෙසින්..

මේ එක දෙයක්වත් මම කරන්නේ කවුරුත් කියන නිසා නෙමේ. කිසිම කෙනෙකුගේ බල කිරිමකින් නෙමේ..මම සුදානම් කියා දැනුනු මොහොතක මගේම කැමැත්ත තමයි හැම දෙයකම ආරම්භය..එහෙම උනාම හරිම සාමාකාමිව පිළිවෙලකට සැහැල්ලුවෙන් කල්පනාවෙන් ජීවිතයේ ගඟ ගලාගෙන යන්න ඉඩ දෙන්න ඕනම කෙනෙකුට පුලුවන් අවට ඉන්න අයට කරදරයකුත් නැතුව..



No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.