Thursday, August 13, 2020

මොළයේ ක්‍රියාකාරිත්වයේ ධන සෘන දෙකටම වගකිව යුතු ඔහු පමණක් නොවේ..

මගේ පුතුගේ පියාගේ හැසිරීම් ( ඔහුගේ පමණක් නොවේ කාගේ උනත් )  මොන තරම් අසාමාන්‍ය උනත් ඔහුව ඒ හැසිරීම්  වලට තනිකරම  වැරදිකරුවෙක් කරන්න මා හදිස්සි වෙන්නේ නැහැ..අනිවාර්යයෙන්ම ඔහුට උදව් අවශ්‍යයි, ඔහු පිළිගත්තත් නැතත්..ඔහු ඔහුටම සලක ගන්න විදිහ හරිම  අකාරුණිකයි..එය වෙනම කරුණක්..

ඔහු අද ඉන්න තත්වයට පත් වෙන්න, අද පෙන්වන හැසිරිම් පෙන්වන්න බොහෝ දෙනෙකුගේ දායකත්වයක් ලැබී තිබෙන බව මට වැටහෙන නිසයි මා ඔහු වැරදිකරුවෙකු කරන්න හදිස්සි නොවෙන්නේ..ඔහුගේ කුඩා කාලය, විශේෂයෙන්  මව සහ පියා එකිනෙකාට සැලකූ ආකාරය, දරුවන්ට දෙමාපියන් සැලකූ අකාරය, මොන වගේ පවුල් ජීවිතයක් ද දෙමාපියන් ගත කලේ,  මව සහ පියාගේ පවුල් වල අය ඒ අයට සැලකූ ආකාරය,   මොන වගේ ජීවිතයක් ද කුඩා කාලයේ සිට ගත කරන්න ඔහුට සිදු උනේ , සහෝදර සහෝදරියන් සැලකූ ආකාරය, නැදෑයින් හැසිරුනු ආකාරය ඇතුලු වටපිටාවේ සියලුම දෙනාගේ හැසිරීම් , යාලුවන්ගේ, පාසලේ, ඔහු අවට මුලු සමාජයේම හැසිරිම් , සිදු වූ සිදුවීම්  සියල්ලම සැලකිල්ලට නොගෙන අද ඔහුගේ  හැසිරිම් දිහා බලන්න  හැකියාවක් නැහැ කියායි මට හිතෙන්නේ..ඔහුව පමණක් වැරදිකාරයෙක් ලෙස සලකන්න බැහැ කියායි මට හිතෙන්නේ..

ඔහුට ඔහුගේ හැඟිම්, අදහස් විවෘතව කතා කරන්න ඉඩක් ලැබුන ද..හදවතට සමීප කෙනෙක් හිටිය ද ඔහු වෙනුවෙන්.. ඔහුට ඔහු බලාපොරොත්තු වන විදිහේ ආදරයක් , රැකවරණයක්, පිළි ගැනීමක් ලැබුන ද...නැත්නම් ඒ සිදුවීම් වලට ඔහු මුහුණ දුන්නේ කොහොමද ජීවිතයේ ඉදිරියට යන්න..හිතට දැනුනු තරහ, කලකිරීම්, බලාපොරොත්තු කඩවීම්, දුකට, අසරණකම් වලට කොහොමද මුහුණ දුන්නේ..මේ හැමදේම සැලකිල්ලට ගන්න ඕන ඔහු ගැන නිගමනයකට එන්න කලින්...

මොකද දරුවෙක් ඉපදුනාට පස්සේ ඔහුගේ හෝ ඇයගේ හැසිරිම්  රටාව ගොඩ නැඟෙන්නේ,  හිතන පතන විදිහ ගොඩ නැඟෙන්නේ , කරන කියන දේවල් තීරණය  වෙන්නේ ඔහු හෝ ඇය හැදුනු වැඩුනු පරිසරයෙන් ලැබුන අත්දැකීම් මත නිසා..ඕනම විදිහකට හැඩ ගස්වන්න හැකි මැටි ගුලියක් වගේ මොළයක්නේ අපිට උපතින් ලැබෙන්නේ.. පුංචි කාලේ කියවපු  අර ගිරව් දෙන්නගේ කතාව තමයි මාව මේ විදිහට හිතන්න පෙළෙබෙව්ව මුල්ම තැන..

ඉතින් අද ඔහුගේ මොළය වැඩ කරන ආකාරය ඔහු විසින් තනියම අනිත් අයගේ මැදිහත් වීමකින් තොරව   හදා ගත්තක් නෙමෙ. මොළයේ ක්‍රියාකාරිත්වයේ ධන  සෘන දෙකටම වගකිව යුතු ඔහු පමණක් නොවේ..

ප.ලි.: හැබැයි මගෙත් ඔහුගේ පවුලේ වැඩිහිටියනුත් කියන ලෙස මමවත් මගේ පුතුවත් නෙමේ ඔහුගේ මේ හැසිරිම් වලට මුල.. ඒ වගේම මමවත් මගේ පුතුවත් මේ හැසිරිම් වලට වගකිව යුතු නැහැ...අපි අපේ ජීවිත සතුටින් නිදහසේ සැහල්ලුවෙන් ගෙවීමේ කිසිඳු වරදක් නැහැ..

අතේ දුරින් සිට අපේ ජීවිත වලට බලපෑමක් නොවන පරිදි ඔහුට උදව් කරන්න මගේ අකමැත්තක් නැත්තේ, ඔහුත් ජීවිතය විඳිනවා දකින්න කැමති නිසයි, විඳවන්නේ නැතුව..

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.