පුතුගේ පාසලේ ගිය වසරේ මම වැඩ කල කාලය ඇතුලේ හමු වූ එක්තරා දරුවෙක් ගැන මතකයක් අද ලියන්නේ ඒ සිදුවීම් අකුරු කරන්න තරම් හිත සන්සුන් බව දැනෙන නිසයි..ඒ කාලය තුල හමු වූ හැම දරුවෙක් ගැනම මතකය හරිම සන්වේදියි..සමහර තැන් වලදි හිත නිදහස් කර ගන්න ඕන නිසාම අනිත් පන්තියට මම ගියේ යන්න පුලුවන් දුරම පාරෙන්..
(පැයෙන් පැයට පන්ති මාරු වෙන විදිහට මගේ කාල සටහන හදලා තියෙන්නෙත් ඒ නිසාමයි..මොකද මම උදව් කලේ සාමාන්‍ය දරුවන්ට නෙමේ..විවිධ හේතු මත විශේෂ අවශ්‍යතා තිබුනු දරුවන්ටයි මගේ කාලය වෙන් උනේ..)
මේ දරුවා අනිත් හැම දරුවෙක් අතරින්ම කැපී පෙනුනු අයුරින් මගේ හිතට ලං වුනු දරුවෙක්..ඒ බව මුලින්ම කිව්වේ පන්තිභාර ගුරුතුමිය.. මෙවැනි දරුවෙකුගේ විස්වාසය දිනා ගැනීම ඊටත් වඩා පොඩි හරි ගෞරවයක් ඇහුම්කන් දීමක් ලබා ගැනීම කියන්නේ වැඩිහිටියෙකුට පහසු දෙයක් නෙමේ කියලයි ඇය මට හැමදාම කිව්වේ..
4 වසරේ හිටිය මේ දරුවට ලියන්න කියවන්න හරියට බැහැ..ඉවසීමත් බින්දුවයි..හරි ඉක්මනින් කඩා වැටෙනවා මනසින්..මගේ රාජකාරිය තමයි ඒ කඩා වැටීම පස්සට දාන එක හැකි තරම්.."ඇයි මට විතරක් බැරි" කියන ප්‍රශ්නය මේ දරුවගේ ඇස් වල නැගෙද්දි මගේ ඇස් වලට උනපු කඳුලු වේල ගන්න තමයි සමහර දාට දුරම පාරෙන් අනිත් පන්තියට ගියේ..
ටික ටික සමීප වෙද්දි, විස්වාසය ගොඩ නැඟෙද්දි, තමන්ගේ සංකීර්ණ පවුල් පසුබිම ගැන එහෙන් මෙහෙන් කිව්ව මේ දරුවට ඉගෙන ගන්න බැරි කිසිම වෛද්‍යමය හේතුවක් නැහැ..තියෙන්නේ දීර්ඝ කාලින දෙමාපිය නොසැලකිල්ල.. මඟ හැරුනු කාලය ආපස්සට තල්ලු කරන්න කාටවත් බැහැ..දරුවෙකුගේ පලවෙනි වසර 5/6 හරිම වැදගත් කියල හිතෙන්නේ මේ වගෙ තැන් වලදි..දැන් ලේසී නැහැ..කාටවත් බැනැලා වැඩකුත් නැහැ..
පාඩමක මැදදි මට මේක කරන්න බැහැ කියා පොත් ඉරලා, පැන්සල දෙකට කඩා පුටුව පස්සට තල්ලු කර, ඉන් එහාට කිසි කෙනෙකුට ඇහුම්කන් නොදෙන නමුත් පාසල තුලදි කිසිම ශාරිරික මානසික දඬුවමක් නොවිඳින මේ දඟයා, නිවාඩු කාලයක් අවසන් වී පැමිණි දිනක තනියම හරිම නිහඬව පන්තියේ පිටිපස්සටම වෙලා බිම ඉඳගෙන හිටියේ තවත් දරා ගන්න බැරිම තැන වෙන්න ඇති..
පන්තියට වෙන් වී තිබුනු මගේ කාලය අවසන් වී තිබුනත් ඒ දරුවව තනි කරලා යන්න හිතුනේ නැහැ මට..මට දැනුනු හැඟිම පැහැදිලි කරන්න හරිම අමාරුයි..ඒ මගේ දරුවෙක් නෙමේ තමයි... ඒත් ඒ දරුවෙක්..විනාඩි කීපයක් යද්දි කේන්තිය කඳුලු විදිහට පිට වීම නතර කර ගන්න ඒ දරුවා ගත්ත අසාර්ථක උත්සහය අවසානයේ පන්තියේ ඉස්සරහ හිටිය මම හිටියේ ඒ දරුවා ලඟ බිම ඉඳගෙන..
ඒ වෙලාවේ පන්තිය කරගෙන ගිය ගුරුවරයා මාව නැවැත්තුවේ නැහැ.. දරුවට කියන්න ඕන උන හැමදේම නිහඬව අහගෙන "ඔයාට පුලුවන්" කියන වචනය විතරක් කියලා එතනින් ආවට සෑහෙන දවසක් ඒ වේදනාව තිබ්බේ මගේ හිත ඇතුලේ..මම දන්නවා ඒ දරුවට ඇවිදල තියා දුවලවත් කෝච්චිය අල්ල ගන්න පරක්කු වැඩ්යි දැන්..ඒත් අත අරින්නේ කොහොමද.. එතකොට ඒ දරුවගේ අනාගතය....
ප.ලි.: අපි අත් අරින්න නොහිතුවත් ගිය වසර අවසානයේ මේ දරුවගේ අම්මට වෙනත් නගරයක ලැබුනු රැකියාවක් හේතුන් පාසලෙන් අස් වෙන්නේ කවුරුත් බලාපොරොත්තු නොවුනු මොහොතක.. අයියට වෙලා තියන දේ දකින මේ පවුලේ මල්ලි එතන්ට නොවැටී ඉන්න තනියෙන් උපරිම උත්සහ ගන්න බව මම දැක්කේ, මල්ලිගේ පන්තියේ වෙනත් දරුවෙකුට උදව් කරන අතරතුරේ..
No comments:
Post a Comment