Tuesday, May 19, 2020

ලොකු පුතා...

අපේ ගෙදර TV එකක් තිබුනට බලන්නේ හරිම අඩුවෙන්..බැලුවත් බලන්නේ කෑම ගැන එහෙම නැත්නම් ක්‍රීඩාවක් ගැන තියන දෙයක්..පුතු උනත් පොඩි කාලේ හරිම ආසාවෙන් බැලුවට ටික ටික ලොකු වෙද්දි ( තාම අවුරුදු 9යි ) ඇබ්බැහි උනේ නැහැ..දැන් නම් ගොඩක් වෙලාට පුතු තෝර ගන්නෙත් කෑම හදන වැඩ සටහනක්..

රෑ කෑම කන ගමන් TV බලන්න  හිතුන  ඊයේ බැලුවෙත් කෑම වැඩසටහනක්..කෑම කන්න නියමිත තැනක් කියල කොටුවක් අපේ ගෙදර නෑ..මේසෙට ඉඳගෙන කනවද බිම ඉඳගෙන කනවද එහෙම නැත්නම් එළියේ ( රෑ නම් තරු එක්ක වගේම දිලෙන හඳත් එක්ක ) ඉඳන් කනවද, අතින් කනවද , නිදන කාමරේ ඉඳන් කනවද..මේ ඕනම දෙයක් වෙන්න පුලුවන්..එකම දේ කන බොන තැන අස් කරන්න ඕන..

ඉතින් ඊයේ රෑ SBS food channel එකේ තිබුනේ River Cottage කියන වැඩසටහන..ඔස්ට්‍රේලියාවේ නිල්වන් කඳුකරයේ ගොවිපොළක තමයි ඒ වැඩසටහන පටිගත වෙන්නේ..පුදුම ලස්සන පරිසරයක්.. හැබැයි ස්වාභාවික පරිසරයට සමීප ජීවන රටාවක් ඇති ඒ පරිසරයේ  ජීවිතේ ලේසි පහසු නැහැ..

ඊයේ තිබුනේ ඒ ගොවිපලේ ඇති දැඩි කෙරුන ඌරෙක් එදින දහවල් ආහාරය වෙනුවෙන් සුදානම් කරන මොහොතක සංවේදි වැඩසටහනක්..පුතුගේ පාසලේ මට හමු උනු සංගීතයට සමීප එක් පවුලක් මේ විදිහේ ජීවන රටාවක් ගෙනියනවා අපි ජීවත් වන පරිසරයෙත්...ඒ කිව්වේ හැකි උපරිමෙන් තමන්ගේ ආහාර තමන්ම නිපදවා ගැනීම..දිනක් එතෙක් පවුලෙම කෙනෙක් වගේ ඇති කරපු කුකුළව රෑ කෑම මේසෙට ගෙනාව පුවතක් ඒ පවුලේ අම්මා කිව්වේ දරුවන් අහපු ප්‍රශ්න වලට උත්තරත් එක්ක.."අපි එයාට හොඳම දේවල් දීලා ආදරෙන් බලා ගත්තනේ" 

කොහොම නමුත් මේ වැඩසටහනේ ඌරව මරන්න කලින් රැලෙන් වෙන් කර ගන්න හැටි, ඉන් පස්සෙ හිස් බඩ තියන හැටි වගේම පළපුරුදු කෙනෙක් තුවක්කුවකින් ඌරව මරන හැටිත්, මරන්න සුදුසුම වේදනාව අඩුම විදිහ ගැනත් උදාහරණ සහිතව කතා බහ කෙරුනා..මීට කලින් මෙවැනි වැඩසටහන් මඟ හැරියත් සමහර විට ඒ පරිසරයේ තිබුන සුන්දරත්වය නිසාම වෙන්න ඇති මම තීරණය කලා දිගටම බලන්න..

හැබැ‍යි ඌරට වෙඩි තියන කොටස පෙන්නුවේ නැහැ, ඒ කොටස කපා හැර පෙන්වූ ඊළඟ කොටස නම් මාව ටිකක් නොසන්සුන් කලා..බෙල්ලෙන් විදින ලේ බාජනයකට එකතු කල වැඩසටහන මෙහෙය වූ පුද්ගලයා හනික ගෙතුලට ගිහින් මොනවද දන්නවද හැදුවේ..ලේ පුඩිමක්.ඒ අතරතුරේ උණු වතුර භාජනයක බහා ලූ ඌරු මළ කඳ පිරිසිදු කල හැටිත් මගේ හිත සසල කලා..හිතන්න හැකි මිනිසුන් වන අප, අපේ පැවැත්මට අවට පරිසරය භාවිත කරන හැටි..



ප.ලි.: මනරම් පරිසරයක පිහිටා ඇති මේ ගොවිපළ කරගෙන යනවා කියා කියන වැඩසටහන ඉදිරිපත් කල පුද්ගලයා තමන්ගේ හැඟිම් ගැනත් කතා කරන්න අමතක කලේ නැහැ..ඔහුට මේ මුලු ක්‍රියාදාමයම දුකක් ගෙනාවත් සතුටකුත් ඇති බව.. ඒ big boy  තමන් ලඟට ආව දවසේ ඉඳන් ආදරෙන් බලා ගත් නිසා..

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.