Monday, July 27, 2020

මේ ගෙවී යන්නේ ඒ කාලයයි..

මගේ විවාහය මගේ අම්මා මොන තරම්  සමාජ භීතිකාවකින් පෙළෙන ආත්මාර්ථකාමි  කෙනෙක් ද කියා අවබෝධ කර ගන්න පාර කපාවියැයි කිසි දිනක මා සිතුවේ නැහැ..ඉපදුනු දා සිටම   මා ඇගේ ඇස් දෙක මෙන්  විටෙක  සිර කාරියක් කරමින් බලාගත්තේ දිනක සමාජය හමුවේ ඇයගේ සාර්ථකභාවය ඔප්පු කර පෙන්වීමේ සාධකයක් ලෙස කියා කිසි විටක සිතුවේ නැහැ. ඉතා බොළඳ ලෙස ඇගේ  හැසිරීම ආදරය යැයි  සිතා සිටියෙමි..

නමුත් වසර 28ක් මා ආරක්ෂ කල ඈ මාස කිහිපයක් තුල වෙනස් වූ අයුරු පුදුම සහගතයි.. ඇගේ යටි අරමුණු වටහ ගත නොහැකි තරම්..ඇය සියල්ල කර ඇත්තේ මට ඇති ආදරයකට නොව සමාජයට ඇති බය සහ සමාජය හමුවේ සුදු චරිතයක් මවා පෙන්වීමට  බව වටහා  ගන්නා විට මා ප්‍රමාද වැඩිය..නැත කිසිම දෙයක් ප්‍රමාද වැඩි නැත..

ඇයම සොයා ගත් කෙනෙක් හා මා මගේ කැමැත්ත ද  ඇතුව  හදිස්සියේ විවාහ වූ පසු එහි පැන නැඟෙන ගැටලු කතා කරන්න ඇය කිසිම විටක ඉඩක් දුන්නේ නැත..කතා  බහ කරන්න ඇති  සෑම ඉඩක්ම හිතා මතා වසා දැමු ඇය, සමාජය ඉදිරියේ තමන් දුවෙක් හදා ඉතා සාර්ථකව  විවාහ කර දුන් බවත් ඇගේ වගකීම් යුතුකම් සියල්ල අකුරක් නෑර ඉටුකර අවසන්  බවත් කියා සිටියේ මහත් ආඩම්බරෙන්..

එතනින් එහාට පැන නඟින සියලු ගැටලු වලට  ඇයගේ සම්බන්ඳයක්  නැති මගේ වරදින් ඇති වන බව පෙන්වන්නට ඇය ගත්තේ ලොකු උත්සහයක්...ඇය එතෙක් රඟ පෑ මාතෘ ප්‍රේමය  හිටි හැටියේ අතුරුදහන් වූයේ මෙන්න මෙතනදි..

කුඩා කල සිටම  ලෙහෙසියෙන් ගැටලු හමුවේ මා සිර වන්නියක නොවේ..කදුලු සලන්නියක නොවේ...නමුත් මේ ගැටලුව මට බර වැඩි බව දැනුනු  මොහොතේ, මගේ කටහඬේ, මගේ හදවතේ බිඳුනු තැන් හරියටම හඳුනා ගත් ඇය කලේ එය පිලිසකර කිරිමක් වෙනුවට බලෙන් වසා දමා උඩු දුවන්න දීමයි...මවක් පියෙක් නොමැති අනාථයෙක් බවට මා පත් කිරිමයි..හිත් පිත් නැති අමනුස්සයෙක්  බවට පරිවර්තනය  වන්න ඇයට ගත වුනේ ඉතා අඩු කාලයක් වගේම පුරුද්ක් ලෙස  ඇය කරන  emotional black mailing ද අඩුවක් නොවීය. 

එතෙක් ඇ රඟ පෑ  මගේ අම්මා නම් චරිතය අතුරුදහන්ව  තිබුනේ ඉතා පුදුමාකාර ලෙසින් වගෙම මේ විවාහය ඇය විසින් සොයා ගත් කෙනෙකු  හා හදිස්සියේ වූ බවත් ඇය අමතක කලේ  පුදුම වේගයෙකින්..ඒ වෙනුවට  මේ විවාහය ඇය කරන්න එපා කිව බව කියමින්  අලුත්ම රඟපැමක් ආරම්භ කර තිබුනේ කෙසේ  හෝ ඇය බේරි මා  උගුලේ සිර වන ලෙසය..

තමන්ගේ  දරුවා අපහසුවෙන් ජීවත් වන විට එයට සමාජය පැත්තෙන් බලා නිදහසට හේතු කියමින්   කෙසේ ඈ සැනසිල්ලේ එදිනෙදා ජීවතය ගත කලා  ද යන්න මට තවම ප්‍රහෙලිකාවක්..ඒ මා ද   අද මවක බැවින්...මගේ දරුවා ඉතා කුඩා අපහසුතාවයකින් පෙළෙන  බව දකිද්දි ඉවසන්න හැකියාවක් මට නම් නැහැ..මා අවට සමාජය නොවේ මුලු ලෝකයම වෙනස් කරන්න, උඩු යටිකුරු  කර දරුවා විඳින අපහසුව අතුරුදහන් කරන්න මා තුල  මගේ පුතුට ඇති ප්‍රේමයට පුලුවන්. 

මා එසේ  උනත් මගේ අම්මා කියන ගැහැනිය මාස  කීපයක්  දැන  හඳුන ගත් පවුලක ගැටලු වැලක්ම   හමුවේ  මා තනි කර සමාජය හමුවේ  පෙන්නුවේ ඉතා සාර්ථකව සියලු දේවල්  අවසන් වී ඉතා සතුටින් සියල්ලෝම ජීවත් වන බවයි..හරියට සුරංඟනා කතාවක් වගේ...

දිගින් දිගටම ඉතා අසාධාරණ ආසාමාන්‍ය හැසිරිම් පෙන්වු මේ විවාහය සමඟ මා  කෙසේ  හෝ  ජිවත් විය යුතු බව එය මගේ උරුමය බව ඇය පැවසුවේ  වචන  වලින් පමණක් නොවේ හැසිරිමෙනුත්..නිවස තුල ඇති ගැටලු  සියල්ලම කතා බහ නොකර තනි කැමැත්තට  බලෙන්ම  වළලා  දැමු ඇය  තමන්ගේම  දරුවා‍ ප්රතිකශ්සප කල පිරිමියෙකුට මගේ ශරීරය සහ ආත්මය තව දුරටත් බිලි දිය යුතු බව තරයේ ඇදහුවාය, සමාජයේ ඇයට ඇති තැන සහ සුදු චරිතය පවත්වා ගන්න..

ඇයගේ මේ සමාජයට ඕන විදිහට  ජීවත් විමේ උන්මාදය අප කුඩා කල සිටම පවතින්නක්..වරදින සෑම විටම කොහේට හෝ ඇඟිල්ල දිඟු කර චෝදනා  කරන ඇය සාර්ථකවීම් බාර ගන්නේ මහත් කැමැත්තෙන්..මම බලෙන් ඉල්ලා ඉපදි ඇති බවක් මිස ඇය හැඟිම් වලට වහල් වී මා බිහි කල බවත් මා ස්වාධීන මිනිස් දුවක් බවත් පිළිගන්න ඇය සුදානම් නැහැ....ඒ වගේම මා ඉපදී ඇත්තේ ඇගේ ජීවිතයේ අඩු පාඩු සපුරන්න බවයි ඇය හිතන්නේ..එකක් දෙකක් නෙමේ...ඇය ජීවත් වන කාලය පුරාවටම...සමාජයේ කෙනෙක්ගෙන් ඇයට වන මදිපුංචිකම් වලට විසඳුම ද සෙව්වේ මගේ ජීවිතයෙන්...ඇයට මම වියදම් කරන මුදල් ප්‍රමාණය ද මදි බවත් ඈ කියයි..

ලංකාවෙන්  පිටව ආ පසු ද ඇය නෙමේ එක්  අඩියක්වත් ඇගේ  මේ අදහස් වලින්  හෙලවුනේ.එක්සිත්ව තදින් ඈ කියා  සිටියේ මේ විවාහය දිගටම ගෙන යා යුතු බවත් නැත්නම් ඇයට ඇගේ පවුලට, සමාජයට මුහුණ දිය  නොහැකි බවත්..මා සහ දරුවා විඳින අසාධාරණය ඇයට කිසිම ගාණක් නැත..ඇගේ අරමුණ ඉටු වීම පමණකි ඇයට අවශ්‍ය..මේ සියල්ල දෙස ඉතා කලකිරිමෙන් (පිළිකුලෙන්) බලා සිටි  මා  ඇයට කිසිම අඩු පාඩුවක් නොකර සැලකුවෙමි..මාව අමතක කර සැලකුවෙමි..ආර්ථිකව සහ මගේ අනාගතයට අහිතකර තීරණ පවා ගනිමින් ඇයව අන් අයට  භාවිතා කිරිමට  ඇති සෑම ඉඩක්ම  වසා දැමුවෙමි..තනි නොකෙලෙමි...ඇයට දිය හැකි උපරිම සහනදායි ජීවිතයක් ලබා දුන්නෙමි සියලු බර  මා අදිමින් තනිව..

නමුත්  ඇගේ රාජධානියෙන් මිදී  මා ස්වාධීනව  කුඩා හෝ සතුටක් ලබන විට  හැපින්නියක සේ කිපෙන, මගේ අහිංසක කුඩා පුතුට පවා බැන වදින  ඇයගේ හැසිරීම් තවත් මා   ඉවසිය යුතු නැති බව දිනක් මා  තීරණය කලෙමි..සැබවින්ම මා ඒ තීරණය ගත යුතුව තිබුනේ   මීට බොහෝ කාලයකට  පෙර උනත් මා ඇයව තනි  කලොත් ඇය මහත් ඉහලින් තබාගෙන  සිට්න  සමාජයේ කිසිවෙක් ඇය ලඟ නැති බවත් වටහා ගෙන සිටියත්, දෙමාපියන්ගේ  මෙවැනි හැසිරිම් ඉවසිය යුතු නැති බවත්, මම ජීවිතාන්තය තුරුම  ඇගේ   වහලියක් නොවන බවත් ඇයට  කෙලින්ම පවසා ඇගෙන් ඈත් වීමි..

සමාජය ඉදිරියේ සුදු චරිතයක් රඟපාන ඇය නිවසේ රඟපාන කලු  චරිතය පිටුපස කුමන විදිහේ ඛේදවාචයක් ඇත්දැයි කියා මා දන්නේ නැහැ හරියටම..එය කුමක් උනත් මගෙත් මගෙ අහින්සක  කුඩා පුතුගෙත්  ජීවිත බිලී නොදී විසඳුමක්  සොයා ගත හැකි විය යුතුයි....මේ ගෙවී  යන්නේ ඒ කාලයයි..



ප.ලි.: සමහර මිනිසුන් අවබෝධ කර නොගන්න දෙයක් නම්, ඔවුන්ගේ හැසිරීම කෙනෙකුට ඉතා හිරිහැරයක් බවත් සිමාව පැන්න විට තමන් තනි වන බවත්..අනුන්ගේත් තමන්ගේත් යහපත වෙනුවෙන් තමන්ගේ හැසිරීම් වෙනස් කර ගත යුතු  බව පිලි ගන්න අකමැති  මෙවැනි මිනිසුන් සිටිය යුත්තේ   නිදැල්ලේ සැරුසරමින් නම් නොවේ ..

මා මේ  සියල්ලෙන් තනිව ගැලවුනු පසු ඇය පවසන්නේ තවත් පුදුම කතාවක්.. පවුලක් කඩා ඇයට පව් පුරවා ගන්න බැරි බවයි. ඒ තර්ක ඇය ඉදිරිපත්  කරන්නේ හොඳ සිහියෙන් ද  කියා මට නම්  ඇත්තේ ලොකු සැකයක්..මොකද පවුලක් කියන්නේ සුන්දර අත්දැකීම් මවන සියල්ලන්ගේම සතුට සහනය  ගෙනෙන දෙයක්  ලෙසයි මා  දකින්නේ...කෙසේ නමුත් අද  මා ඒ ආත්මාර්ථකාමි චරිතයෙන් ඉතා ඈතින් සැනසිල්ලේ ජීවත් වෙමි..

2 comments:

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.