Friday, May 1, 2020

"ඔයා මෙහෙට එන්න තෝර ගත්ත වෙලාව නම් හරි අපූරු වෙලාවක්"

වසරේ වැඩි කාලයක් වැහිබර  වළාකුලු වලින් හැඩ වුනු අහසක් හිමි,  මීදුමෙන් වැසුනු සීතල නාවලපියෙන්  1995 දී කොළඹ එනවත් එක්කම මට දැනුනු ලොකුම වෙනස,  ඉතා වියළි උණුසුම් දූවිල්ල පිරිනු පරිසරය..ඒ පරිසරය මට ගෙනාවේ එතරම් සුන්දර අත්දැකීම් නම් නෙමේ..ටිකෙන් ටික ඇති වුනු  හුස්ම ගැනිමේ අපහසුතා වසර 9ක් ඇතුලත මාව ගෙනාවේ ඇදුම එහෙම නැත්නම් Asthma කියන හුස්ම ගැනීම අපහසු කරවන රෝගය ලඟට…හැබැයි එහෙම වෙන්නේ පාරිසරික හේතු මත පමණයි..නැවුම් පිරිසිදු පරිසරයක් කියන්නේ  මට නම් දෙව්ලොවක්..

මුලින් මුලින් ඒ තරම් ගණන් නොගත්තට එන්න එන්නම ඒ පරිසරයේ ජීවත් වීම අමාරු වෙද්දි, මගේ එකම සිහිනය උනේ පුලුවන් ඉක්මනින් පුංචි කාලයේ ජීවත් උනු පරිසරය හා සමාන පරිසරයක් හොයා ගෙන යන එක..නමුත් දෛවය මාව ගෙනත් නැවැත්තුවේ ඔස්ට්රේලියාවේ Sydney නගරයේ..ඒ මීට වසර 8කට කලින්..ලංකාවෙන් දුන්නු සියලුම ප්රතිකාර ක්රම නතර කල අපේ GP  පියවරෙන් පියවර හරි පරිස්සමින් බෙහෙත් දුන්නේ සීත කාලේ එන influenza එක්ක වගේම ගිම්හානයෙත් විවිධ හේතු නිසා හුස්ම ගන්න ටික ටික අපහසු  වු නිසා..

පහුගිය වසරේ නොනැවතී දැවුනු ලැව් ගිනි වලින් නික්මුණු දුමාරය තවත් හුස්ම ගන්න මට අපහසු කරද්දි, බෙහෙත් ප්රමාණ වැඩි කරනවා ඇරෙන්න අපේ GP ට කරන්න දෙයක් තිබුනේ නැහැ...ඒ විදිහට ගෙවී ගිය මාස කීපයකට පසුව නැවත පරිසරය පැහැදිලි පිරිසුදු වෙද්දි මගේ හුස්මත්  සාමාන්ය අතට හැරිම ඉතා සාමාන්ය දෙයක්..එලෙස ජීවිතය  අතිශය සාමාන්ය අයුරින් ගෙවී යද්දි,    පහුගිය මාසයේ දිනක උදෑසන හදිස්සියේ මගේ හදවත මිනිත්තුවකට 160 වාරයක් දක්වා සීග්යෙන් දුවන්න පටන් ගත්තේ පපුවේ මැදින් දැනුනු වේදනාවකුත් එක්කම...ඒ වේදනාවේ අවසානය අපේ නිවසට ලඟම තියන රොහලේ හදිසි අනතුරු අංශයේ ඇඳක් මට වෙන් වීම පැය භාගයක් ඇතුලත..ඉන් එහාට දින 3ක් මම දැක්කේ අමුතුම ලෝකයක්..

මගේ ඇඳට එහා පැත්තේ තිරයකින් වෙන් උනත් ඉතා සන්වේදි මට දැනෙනවා ඔහුගේ  වේදනාව..ඇහෙනවා ඔහුගේ කතා බහ ගෙදර ඉන්න කුඩා දරුවන් ගැන...බීමතින් අධික වේගයෙන් රිය පැද වූ ඔහුව පොලිසියෙන් රෝහලට ගෙනත් තිබුනේ කලින් දවසේ රෑ..ඔහුගේ තත්වය එතරම් යහපත් නැහැ...දවල් වෙද්දි සැත්කමටකට ඔහුව අරන් යද්දි දැක්ක ඒ ඇස් මට අමතක කරන්න අමාරුයි…අපේ ඇස් හමු උනා වරක් දෙකක්..

කාරුණික රෝහල් කාර්ය මණ්ඩලයේ උපරිම සත්කාර ලබන මගේ හදවත තවම සීග්‍රග්‍රාමී ගමනක්..ඒ අතරේ Short stay කාමරයට ස්ථාන මාරුවක් හදිසි අනතුරු අංශයෙන්.. එතකන්ම පළවෙනි වතාවට හමු උන, එක සැරයක් කිව්වට පස්සේ මතක තියාගෙන මම ආස කරන විදිහට උණුවෙන් තේ හදලා ලඟට ගෙනත් දුන්න, උසම උස ඔහුගේ  සේවා මුරය අවසන් වී යද්දි සමීපම කෙනෙක්ගෙන් වගේ සමු අරන්  ගිය විදිහ අමතක කරන්නත් බැහැ…

ටිකෙන් ටික රෑ වෙද්දි හදවත හිමින් හිමින් සන්සුන් වෙද්දි, කාමරයේ එහා කෙලවරින් ඇහුනු යොවුන් ගැහැණු ළමයෙකු ගේ කටහඩ, ඇගේ දැඟලීම නිසා නිරුවත් වුනු  සිරුර තදින් අල්ලාගෙන මගේ ඇඳ ලඟින්ම ඇයව ඇදගෙන ඇතුලට  ගිය පොලිස් නිලධාරින් වගේම ඇයගේ මුවින් පිට වුනු වචනත් අමතක කරන්න බැහැ…

ඒ අතරේ මහළු යැයි සිතිය හැකි තවත් නොදුටු  ගැහැනු කෙනෙකුගේ ඉතා හොඳින් ඇහෙන විලාපයක්..එකම එක වචනයයි තේරුනේ..ඉන් එහාට ඇය කතා කරන භාෂාව මම කිසි දිනක අසා නැහැ...ඒ විලාපය හිමින් හිමින් මැකි යද්දි නිදා ගන්න වෙලාවත් හරි.. මගේ හද ගැස්මත් ගොඩක් දුරට සාමාන්‍ය අතට හැරී තිබුනේ සේලයින් බෝතල් දෙකක පිහිටෙන්..තුන්වැනි සේලයින් බෝතලය ඉතා සීරුවෙන් මාරු කල,හරි විනෝදෙන්  විහිලු කරමින් කාලය ගත කල හෙදිය කන්න බොන්න දේවලුත් ලඟටම ගෙනත් දුන්නේ මුලු රෑම ඕනම දේකට ඇය ඉන්න බව කියමින්..

හැබැයි ඒ රෑ මම නිදා ගත්තේ නැහැ..මගේ ඇඳට කෙලින්ම තිබුනු ඇඳට මාරුවක් ලබා ගෙන ආව ඇයගේ වේදනාව, ඇගේ කඳුලු, ඉකි ගසා හඬන හැඬුම, ඇගේ බය, නින්ද මගෙන් සෑහෙන ඈතකට යවලා..නමුත් මගේ හදවත තවම සන්සුන්..පේන ඇහෙන දැනෙන හැමදේම බලාගෙන එළි උනු ඒ රැයේ තවත් දෙදෙනෙකුගේ වේදනාවල් මා අවදියෙන් තැබුවා….

පසුදින කිසිම හේතුවක් නොමැතිව උදෑසන කෑම වේලට පසුව නැවත මගේ හදවත විනාඩියට 180ක වේගයෙන් ගැහෙදිදි හැමෝම මගේ ලඟ..ඒත් ඒ කිසි දෙයක් නොදන්න හදවත ආපහු සාමාන්‍ය අතට හැරුනේ කිසිම දෙයක් නොවුනු ගානට..

ඒ අතරේ මාංචුත් එක්ක පොලිසියෙන් අරන් ආවේ සද්ධන්ත හැබැයි ඇවිද ගන්නත් අපහසු නව යොවුන් වියේ තරුණයෙක්..ඔහු ඇවිත් නතර උනේ මගේ වම් අත පැත්තෙන් තිර රෙදි වලින් වැසුනු ඇඳේ..

මේ වෙද්දි මම තීරණය කරලයි තිබුනේ අනුන්ගේ හැඟිම් වලට සීමාවක් මගේ හිත ඇතුලේ හදා ගන්න වෙලාව හරි බව..වාසනාවකට අත් බෑගය ඇතුලේ අහම්බ්බෙන් තිබුනා HeadSet..අතරමැදියෙක් නැතුව පේන ඇහෙන දැනෙන දේවල් මඟ හරින්න තවම මට බැහැ..කවුද දන්නවා ද මගේ හිත මිතුරු නොවෙනස් අතරමැදියා..සංගීතය…ඒ අමුතුම පරිසරයට හුරු වෙමින් ගෙවී ගිය එදා  දවසේ දහවල් මාව බාර ගත්තේ රෝහලේ පළපුරුදු හදවත් අංශය..

ඉතා කාරුණික ඒ වගේම ඉතාම සුන්දර වෛද්‍යවරියක් ඇවිත් කිව්වේ, "ඔයාගේ හදවත වේගෙන් ගැහුනට ඒ රිද්මය අසාමාන්‍ය නැහැ, වේගය අඩු කරන්න බෙහෙත් එක්ක තව එක රැයක් ඔයාව අපි තියා ගන්නවා" කියා..ඒ මොහොත වෙද්දි කරන්න පුලුවන් හැම පරික්ෂණයකම ප්‍රථිපල ඉතා සාමාන්‍ය බවත් හදිසි අනතුරු අංශයෙන් මාව දැනුවත් කරලයි තිබුනේ..

හදවතේ වේගය වැඩි වෙන්නේ ඇයි කියන ප්‍රශ්නය මගේ හිතේ තිබුනට වචන වලින් ඒ ඇයි, මොකද්ද හේතුව කියන ප්‍රශ්නය මම ඇහුවේ නැත්තේ පැහැදිලිව කෙලින්ම  කියන්න හේතුවක් තවම සොයාගෙන නැති බව මට තේරිලා තිබුන නිසයි..එදා රෑ මට ලැබුනු අලුත්ම ස්ථාන මාරුව හදවත් අංශයට...මාව අරන් ගිය රොහල් සේවකයා කිව්වේ "ඔයා තරුණ වැඩියි මේ යන ගමනට", හරි සන්සුන්ව හිනා වෙලා..

ඒ කිව්ව දේ මට තේරුනේ ඇතුලට ගියාට පස්සේ.. හැම ඇඳක්ම තිර රෙදි වලින් වට කරල තිබුනු ඒ කාමරයේ මමත් තව එකම එක ගැනු ළමයෙකුත් විතරයි හිටියේ වයස 70ට අඩු..20 වෙනි වියේ සිටි ඇයවත් අමතක කරන්නම බැහැ..එක පාරට ඇඟේ බර අඩු කර ගත් ඇයගේ හදවතට එය දරා ගන්න බැහැ.. අඩි කිහිපයක පරතරයකින්  මගෙන් වෙන් වී සිටින ඇගේ අම්මා කාටදෝ මුලු සිදුවීමම කියන්නේ දැන් බය වෙන්න දෙයක් නැහැ කියමින්.. 

මේ ඔක්කොම අස්සේ මගේ හදවත ඉතා සෙමින් සාමාන්‍ය අතට හැරෙද්දි පුතුගෙන් එන පණිවිඩ වලට උත්තර ලිව්වේ ඊලඟ දවස පුතුගේ උපන්දිනය මට ගත කරන්න වෙන්නේ රෝහලේ බව දැනෙමින් තිබුන වෙලාවක...COVID-19 නිසා පුතුට එන්න බැහැ රෝහලට. කොහෙත්ම..

මේ සිමා මායිම් ඔක්කොම අස්සේ, එදා හදිස්සියේ කියපු ගමන්  මට ඕන කරන හැමදේම අරගෙන රෝහලට ආවේ, ආපහු මාව එක්කන් යන්න ඇවිත් පැය තුනක්ම රස්තියාදු උනේ පවුලේ කෙනෙක් තරම්ම ලඟ සු...ඇගෙන් මම ලබා ගන්නේ සේවයක් උනත් ඒ වෙලාවේ ඇගේ කාලයට මිලක් ඕන නෑ කියා ඇය කිව්ව වචනයට හදවතේ ඇති ගරුත්වය වචන වලින් ලියන්න මට බැහැ….විශේෂයෙන් මේ වගේ වෙලාවක….බොහෝ සීමා මායිම් මැද ඇයට හිමි විය යුතු නමුත්  අහිමි උනු මුල්‍යමය අවස්ථා බොහොමයක් පසු කරමින් ඇය හිටියේ..

ඉතා සිහින් හඬින් වෙන වෙනස්කම් පවා මහා ලොකුවට දැනෙන මට එදා රෑ නිදා ගත්ත තරම් සන්සුන් පරිසරයක් නොතිබුනාට හදවත නම් දැන් සුපුරුදු පරිදි සාමාන්ය වේගයට ඇවිත්..උදේම ආව වෛද්යවරිය කිව්වේ "අද ඔයාට ගෙදර යන්න පුලුවන්..2කට විතර" කියා.. ඇගේ වචනය විස්වාස කල මම නිසා  රෝහල් රථ ගාලේ රස්තියාදු උනේ සු, අපේ ආදරණීය ඕනම හදිස්සියකට උදව්වට එන උදව්කාරිය..

කොහොම හරි හවස් 5  වෙද්දි හැමදේම අවසන් වී ගෙදර එන්න පිටත් වෙන මොහොතෙවත්, ඇයි එහෙම උනේ කියා පැහැදිලි හේතුවක් හොයා ගන්න නොහැකි වුනු බව සහ හදවත් රිද්මයේ කිසිඳු අසාමාන්ය බවක් නොමැති බවත් වේගය පමණක් වැඩි බවත්  හදවත් අංශයේ හරිම මිත්රශිලී ප්රධාන වෛදයවරයා මට කිව්වේ දුන්නු බෙහෙත් බොන ගමන් ඔහුව නැවත සති 2කත් 4ත් අතර කාලයකදි හමු වෙන්න කියා..


ප.ලි.: මේ හැම දෙයක් අතරෙම පළවෙනිම දවසේ හවස් යාමයේ උදේ ඉඳන් හිටපු හදිසි අනතුරු අංශයේ ප්‍රධාන වෛද්‍යවරිය කිව්ව වචන ටික මට අමතක කරන්න බැහැ.. 

"මම හිතුවේ ඔයාගේ Heart beat  එක වැඩි වෙන්නේ දුන්නු  බෙහෙත් නිසා කියල, ඒත් මම දැන් තමයි දැන ගත්තේ ඔයාට කිසිම බෙහෙතක් නොදුන්න බව "


No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.