Monday, March 26, 2018

අතීතය සිහිනයක් පමණයි... සැබැ සුවඳක් නෑ ද...

අම්මත් එක්ක පොඩි කාලේ  එක්තරා දවසක කොළඹ කොටුවෙන් කෝච්චියට නැග්ග මම ටික වෙලාවකට පස්සේ පැණි දොඩම් ඉල්ලලා අම්මට කරදර කලේ ඒ සුවඳට මම ගොඩක් ආදරය කල නිසා වෙන්න ඇති දැනුනු.. කොළ පාට පැණි දොඩම් පුරවපු ඒ පුංචි කූඩයේ තැනින් තැන ලෙලි ඇරපු රත්තරන් පාටින් බැබළෙන දොඩම් මුලු කෝච්චියම සුවඳ කලාට දොඩම් ගත්තේ හරිම  ටික දෙනයි.. 

මගේ කරදරේ නිසාම අපිටත් දොඩම් අර ගන්න අම්මා ඒ දොඩම් විකුණපු කෙනාට සල්ලි දෙන අතරේ ඒ කෙනා අපි අතට දොඩම් පුරවපු බෑග් එක දීලා පසු නොබලා යන හැටි බලාගෙන මම ඒ එක දොඩම් ගෙඩියක පොතු ගලවන්න පටන් ගත්තේ අර රත්තරන් පාට දකින්න නොඉවසිල්ලෙන්.. ඒ උනත් ඒ දොඩම් ගෙඩියේ ඇතුල හරිම වෙනස්, සුදු පාටට හුරු මිසක් රත්තරන් පාටක් ගෑවීලාවත් නැහැ.. මම තව ගෙඩියක් පොතු ඇරියේ දොඩම් විකුණපු කෙනා කොහෙද කියලා බලන ගමන්මයි.. ඒ ගෙඩියත් ඒ වගේමයි කියලා පෙනෙද්දිම මම දැක්කේ කෝච්චියෙන් බැහැලා වෙනත් දිශාවකට කඩිමුඩියේ දුවන වෙළෙන්ඳා...

ඒ වෙලාවේ මගේ  හිතට දැනුනේ තරහක් නෙමේ.. කලකිරීමකුත් නෙමේ.. දුකකුත් නෙමේ.. ඇයි එහෙම කලේ කියන ප්‍රශ්නය විතරයි.. පුංචි අපේ ආසාව ඇස් වලින් වගේම  හැසිරීමෙනුත් හොඳටම දැනෙද්දිත් වැඩිහිටි කෙනෙකුට පුලුවන් ද මේ වගේ රැවටීම් කරන්න.. මට ඕන උනේ අන්න ඒ ප්‍රශ්නය ඒ වෙළෙන්ඳගෙන් අහන්න විතරයි.. 

ප. ලි.: ඊට සෑහෙන කාලෙකට පස්සේ ව්‍යාපාර පාලනය ගැන ඉගෙන ගනිද්දී වෙළදාම කියන මායාව පිටුපස තියන මූලධර්ම එකින් එක කටපාඩම් කල මගේ හිතේ අර වෙළෙන්ඳා හොල්මන් කල වාර ගාන අනන්තයි.. මිනිස්සු මිනිස්සුන්ව රැවටීම මොනම විදිහකින්වත් සාධාරණීයකරණය කරන්න පුලුවන් ද.. අදත් මම මගෙන් සිය දහස් වාරයක් අහන ප්‍රශ්නයක්...

ප.ප.ලි.: මෙහි පළමුවෙන් අදහස් පළ කර ඇති කපුටාගේ අදහස් දැක්වීමෙන් පසු එක් කළෙමි.. මට ඒ වෙළෙන්ඳව එදා ආපහු මුණ ගැහෙන්න විදිහක් තිබුනා නම්, කතා කරන්න ලැබුනා නම්,  එහෙම කරපු හේතුව දරු පැටව් රැකීම නම් මම අම්මා ලඟ ඒ වෙලාවෙ තිබුන සල්ලි වලින් අපිට ගමනාන්තයට යන්න ඕන කරන ගාණ විතරක් තියාගෙන අනිත් ඔක්කොම දෙන්න කියලා අම්මගෙන් ඉල්ලනවා.. හැබැයි ඒ විතරක් මදි... ඒ වෙළෙන්ඳට මේ වගේ රැවටීම් නොකර තමන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කර ගන්න ස්වාධීන විදිහක් හදලා නොදී..

3 comments:

  1. වෙළෙන්දා කෝච්චියේ හිටිය පොඩි එකාගේ ආසාවට පයින් ගැහැව්වේ ගෙදර ඉන්න පොඩි එකෙක්ගේ ආසාව ඉෂ්ඨ කරන්න වෙන්න බැරි නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ තාම මිනිසා තිරිසන් ගතියෙන් උඩට ඇවිත් නැ.. එතකොට ඔය ආගම්, සංස්කෘතිය, සිරිත් සිරිත්, නීති රීති මොකටද තියෙන්නේ... ඒවා බිහි වුනේ ඇයි .. මිනිස්සු ඒවා මත්තේ නැහෙන්නේ ඇයි ?

      Delete
    2. කපුටෝ, සත්තු නම් තමන්ගේ පැටැවුන්ට කන්න දෙන්න තවත් දරුවෙකුගේ අම්මා තාත්තා වුනත් මරලා දාන්න දෙපාරක් හිතන්නෙත් නැහැ, හොයන්නෙත් නැහැ...උන්ට තවත් සතෙක් ගැන අනුකම්පාවක් එහෙමත් නැත්නම් හෘදසාක්ෂියක් කියලා එකක් නෑ නේද.. ඒත් මිනිස්සු ....බොහෝ මිනිස්සුන්ට වඩා සමහර සත්තු ලඟ මිනිස්කම් තියනවා කියලා හිතිලම නැද්ද..

      වෙලාවක් තියනවා නම් පොඩ්ඩක් හොයලා බලන්න මොකක් හරි හේතුවකින් මැරෙන්න ලං වෙලා ඉන්න බල්ලෙක්ගෙ හැසිරීම දිහා.. ඒ බල්ලා තමන් මැරෙන බව දැනුනාම නිස්කලංක තැනකට යනවා මිසක් මිනිස්සු වගේ මුලු ලෝකෙටම කරදරයක් වෙන්නේ නැහැ තමන්ගේ ජීවිතේ බේර ගන්න....

      Delete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.