Wednesday, March 21, 2018

දන්නවද හැම දේකටම වැස්ස කතා කරන විදිහක් තියන බව..

ඔබ කවද හරි අහගෙන ඉඳලා තියනවද වැස්ස වහින විදිහ හරියට ඇස් නොපෙනෙන කෙනෙක් වගේ... අවට පරිසරයේ තියන දේවල් ගැන වැහි බිඳු වල හඬින් අවබෝධයක් ඇති කර ගන්න ඔබට පුලුවන් ද.. ඒ කිව්වේ ඔබ ඉන්න නිවසේ දිග පලළ.. වහලේ තියෙන්නේ කොපමණ උසකින් ද..  අවට ගස් කොළන් ගැන...

මලක පෙත්තකට වැහි බිඳු වැටෙනවා වගේ නෙමේ ගහේ කොළ වලට වැහි බිඳු වැටෙන්නේ.. එකම මහ පොළවට ඒ වැහි බිඳු  දෙක වැටෙන්නේ දෙවිදිහකට. අහන් හිටියොත් ඔබට ඇසේවි.. ඒ වගේම මිනිසා විසින් කෘතීමව හදපු බිමකට වැටෙන වැහි බිඳුවේ නාදය නෙමේ නිරුවත් මහ පොළවට ඒ වැහි බිඳුවම වැටෙද්දි ඇහෙන්නේ..

දන්නවද හැම දේකටම වැස්ස කතා කරන විදිහක් තියන බව.. එතකොට කාලෙකින් වැටෙන වැස්සකදි වියැලුණු පොළොවෙන් නැඟෙන සුවඳ කවුද විඳලා තියෙන්නේ...

මේ වගේම තවත් හරිම සුන්දර නාදයක් තමයි කුරුල්ලන්ගේ හඬ..  කන් දෙකක් තිබුනට ඇහෙන අය මිසක් අහන අය හරිම අඩුයි.. ඔබ අහන කෙනෙක් ද ඇහෙන කෙනෙක් ද...

අවට පරිසරය මනසින් දකින්න හුරු වෙන්න නම් අවට පරිසරයෙන් කලබල නොවෙන හිතක් ඔබට තියෙන්න ඕන. ඇස් වලින් දකිනවට වඩා හදවතින් දැනෙන්න ජීවත් වීම හරිම සුන්දර දෙයක්. එහෙම හිතුනේ මෙන්න මේ ෆිල්ම් එක බලද්දි.. අන්ධ කෙනෙක් කියන්නේ ඇස් පෙනෙන කෙනෙකුටත් වඩා ජීවිතය ඒ කෙනාටම ආවේණිකව විඳින කෙනෙක් කියලා මට හිතිලා තියෙන්නේ වරක් දෙවරක් නම් නොවේ.. ඒ වගේම කෙනෙක්ගේ ස්වාභාවික විදිහ හිටපු ගමන් වෙනස් කරන්න යාම එතරම් නුවණට හුරු වැඩක් නොවන බවත් මට හිතිලා තියෙන්නේ වරක් දෙවරක් නොවේ..


කිසියම් ශාරීරික හෝ මානසික ආබාධයකින් පෙළෙන කෙනෙකු පෙර ආත්මේ කල පව් පින් ගැන විචාර කරනවට වඩා කොතරම් වටිනවද ඒ අබාධය අභිබවා ජීවිතය විඳින්න ඉඩ සලසා දීම... ඇයි මිනිස්සු ඒ වගේ පරාර්ථකාමී නොවී පෙර ආත්මෙක පව් වලට මේ ආබාධ බැර කරන්න තරම් කපටි වෙන්නේ කියන එක මට වටහාගන්නම නොහැකි දෙයක්...

අංග සම්පූර්ණව ඉපදෙන එක් මිනිසෙක් අඩු පාඩු සහිතව ඉපදෙන මිනිසෙකුගේ  අඩු පාඩු වලට හේතු කියලා මඟ හරින එකද කල යුත්තේ.. එය ද නියම මිනිස්කම... එහෙම නැත්නම් ඒ අඩු පාඩු මඟ හරවා ගන්න අංග සම්පූර්ණ මිනිසා උදව් කිරීමද නියම මිනිස්කම.. අපි උදේ හවස අදහන ආගම් දිහා හැඟිම් වලින් නෙමේ බුද්ධියෙන් බලන්න තවත් පමා වෙන්නේ ඇයි...

ඒ වගේ මුලුමණින්ම ශාරිරිකව අඩපණ වූ එහෙත් හදවතින් බැඳුණු දෙදෙනෙක් ගැන කතාවකුත් මම බැලුව ගිය සතියේ.. හැබැයි ඒක කාගෙවත් නිර්මාණයක් නම් නෙමේ... මේ මහපොළවේ සෑබෑවටම ජීවත් වන දෙදෙනෙක් සහ තවත් මනුස්සකම හඳුනන මිනිසුන් කිහිප දෙනෙකුගේ එකමුතුකමින් සැබෑවටම උනු දෙයක්..  (මේ විඩියෝ එකේ කමෙන්ට්ස් පුලුවන් නම් කියවලා බලන්න.) 


එක් තැනක මා කියෙව්වා ආබාධිත වීම ගැටලුවක් වීම අවම කර ගන්නේ කෙසේ ද යන්න ගැන.. එහිදී මුලිකවම කතා කෙරුනේ කොහොමද ඒ ඒ අබාධිත වීමට අවට පරිසරය හැඩ ගස්වන්නේ කියන කාරණය ගැන මිසක් ඒ ආබාධිත කෙනාව අවට පරිසරය අනූව  වෙනස් කරන එක ගැන නෙමේ.. 

2 comments:

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.