පුංචි අය එක්ක වැඩ කරන්න ඉගෙන ගනිද්දි භාවිතයට ගැනෙන න්‍යායන් ගැන ලියාගෙන යන දෙවෙනි ලිපිය අද..පළවෙනි ලිපියේ කතා කලේ පියවර 8කින් කෙනෙකුගේ ජීවිතය ගොඩ නඟා ගන්න හැටිනේ.. අද කියන න්‍යායේ කියවෙන්නේ පියවර 4කින් කෙනෙකුගේ උපතේ සිට වැඩිහිටි වයස දක්වා බුද්ධිය වැඩෙන විදිහ ගැන..මේ ගැන පර්යේෂණ කරලා හොයාගෙන තියෙන්නේ Jean Piaget..
මේ පුද්ගලයා පැහැදිලි කරනවා දරුවෙක් හිතන පතන විදිහ එහෙමත් නැත්නම් බුද්ධිය (උගත්කම සහ බුද්ධිමත්කම පටල ගන්න එපා) වැඩෙන විදිහ මේ එක් එක් පියවරේදි වෙනස් වෙන බවත් ඒ වගේම එන්න එන්නම සංකීර්ණ වෙන බවත්.. ඒ නිසාම දරුවෙක් ටික ටික ලොකු වෙද්දි ලෝකය දිහා එයාටම ආවේණික විදිහකින් බලන්න පෙළබෙන බවත්.. දරුවෙක් මේ එක් පියවරක් හරියට සාර්ථකව සම්පූර්ණව ගත කරන්නේ නැතුව තවත් පියවරකට ඇතුල් කරවන එක ඒ තරම් හොඳ දෙයක් නොවන බව කියන ඔහු එහෙම උනොත් ඒ දරුවට කවදාවත් තමන්ට උපතින් හිමි පූර්ණ හැකියාවට ලඟා වෙන්න ඉඩක් නොලැබෙන බවත් පැහැදිලි කරන්නේ දෙමාපියන්ට ඉවසීම කියන්නේ තියෙන්නම ඕන දෙයක් බව මතක් කරමින් (පරිපූර්ණ) දරුවෙක් හදද්දි...
කොහොම උනත් බොහෝ දෙමාපියන් දරුවෙක් 1 වසරට ඇතුල් කරන්නේ ඒ දරුවා යන්න ඉන්නවා කියලා තමන් හිතේ මවාගෙන විශ්වවිද්‍යාලයට ඇතුල් කරනවා වගේ හැඟිමකින්.. 1 වසර සහ විශ්වවිද්‍යාලය අතර අවුරුදු 13ක් විතර කාලයක් තියන බව මේ බොහෝ අයට මතක් වෙන්නේම නැති තරම්.. ඉතින් කොහෙද මේ බුද්ධි වැඩීමේ පියවර ගැන හිතන්නේ...ඒ හැසිරීම් වල ප්‍රතිඵල අද ඇස් පනාපිටම පේනවනේ හැමෝටම.. නායකයෙක් කියන්න පුලුවන් මිනිස්සු අද බිහි වෙන්නේ නැහැ.. අද නෙමේ මේ ක්‍රමය තියන තාක් බිහි වෙන එකකුත් නැහැ.. හැබැයි හොරු, මැරයෝ, බොරු කාරයෝ,කොන්ද පණ නැති මින්ස්සු නම් මේ ක්‍රමය බිහි කරන්නේ ඇස් පිය හෙළන තරම් වේගයෙන්..
ඒ අතරම ළමා කාලයේ සිටම ටිකින් ටික සංවර්ධනය වෙන මේ සිතීමේ (බුද්ධිමය) හැකියාව තමයි මිනිසුගේ ජීවිතයේ බොහෝ දේ පාලනය කරන්නේ කියාත් මෙහි කිසියම් රටාවක් එක් එක් පියවරේදි දැකිය හැකි ඇති බවත් කියන ඔහු පුංචි දරුවන්ව හඳුන්වන්නේ ගවේශකයන් විදිහට.. ගවේශකයන් ලෙස ජීවිතය අරඹන දරුවන් එක් එක් වයස් සිමා වලදි එක එක විදිහට ඉගෙන ගන්න බවත් ඒ සඳහා ඕන කරන සියලුම මෙවලම් උපතින්ම දරුවන්ට හිමි වී ඇති බවත් සඳහන් කරන ඔහු කියන්නේ දරුවන්ට ලෝකය ගැන අවට පරිසරය ගැන වගේම ජීවිතය ගැනත් විස්තර විතරක් කියලා නම් වැඩක් නැති බව.. එයාලට ඒ දේවල් සොයා යන්න ඉඩ නොදී..
ඒ කියන්නෙ දරුවෙක් දෙයක් දකින්න ඕන, අල්ලලා බලන්න හැකි වෙන්න ඕන, රසය සුවඳ දැනෙන්න ඕන, එහාට මෙහාට දුවලා පැනලා ඇහෙන සද්ද අනූව ප්‍රතිචාර දක්වන්න ඕන.. එහෙම උනොත් තමයි දෙයක් හොඳින් දරුවෙකුට තේරුම් ගැනීමකින් ඉගෙන ගන්න පුලුවන් වෙන්නේ.. නැත්නම් ගිරව් වගේ කටපාඩම් දැනුමක් එහෙමත් නැත්නම් "ලු" දැනුමක් තමයි දරුවන් ලඟ එකතු වෙන්නේ..අර කතාවට කියන්නෙ ගෙදර මහ පොතක් ඇත,ඒත් ඇති වැඩක් නැත කියලා.. අන්න ඒ වගේ.. දැනුම තියනවා.. වැඩක් ගන්න බැහැ..අන්න ඒ නිසා තමයි මේ න්‍යාය පදනම් කරගෙන ක්‍රියාකාරකම් හැදෙන්නේ, දැනුම දෙන අතරෙම ප්‍රායෝගිකවම ඒ දැනුම භාවිතා කරමින් දරුවන්ට දෙයක් ඉගෙන ගන්න අවස්ථා හදන්න..
පළවෙනිම දේ තමයි ඒ ඒ දරුවගේ වයස අනූව ඒ අයට වටහාගන්න හැකි සීමාවට ගැලපෙන ක්‍රියාකාරකම් කොහොමද හදන්නේ කියන එක.. මෙතනදි අපි අධ්‍යයනය කරලා හොයා ගන්න ඕන ඒ ඒ දරුවගේ වයස අනූව පුලුවන් මොනවද බැරි මොනවද කියන.. වයස ගැන කියද්දි වයස් වර්ග දෙකක් තියනවා. එකක් අපි ඉපදුනු දවසෙ ඉඳලා ගණනය කෙරෙන වයස.. අනික අපේ මනස වැඩෙන වයස.. සමහර දරුවන්ගේ මේ වයස් දෙක එකම ඉරේ නෙමේ යන්නේ.. අන්න ඒ නිසා මේ ලෝකේ කොහේ උනත් දරුවන් ගොඩක් ඉන්න තැනක හරි කල්පනාවෙන් වැඩ කරන්න ඕන..
ඒ වගේම දරුවෙකුට කරන්න දෙන දේ එයාට අභියෝගයක් වෙන්න ඕන, හැබැයි කරන්න බැරි තරමේ අභියෝගයක් නොවෙන්න ඕන.. මොකද වයස (ශාරීරික සහ මානසික) අනූව කර ගන්න බැරි තරම් දෙයක් දුන්නොත් දරුවගේ හැඟිම් හරහා එයාගේ මනසට වෙන්නේ හොඳ බලපෑමක් නෙමේ.. තමන්ට දෙයක් කරගන්න බැරි වෙනවට පුංචිම පුංචි දරුවෙක්වත් පොඩ්ඩක්වත් කැමැති නැහැ.. එක් එක් මිනිස් සමාජ වල සම්මත කරගෙන ඉන්න සිරිත් විරිත් බහුතරයක් තුලින් බිහි වු දේ.. ලෝකේ ඕනම තැනක බහුතරයක් සලකා බලද්දි සුළුතරයක් අපහසුතාවයට පත් වෙන නිසා සමහර සිරිත් විරිත් නිසාම සමහර දරුවන් අපහසුතාවයන්ට පත් වෙනවා ලෝකය පුරාම..එයට විසඳුම දරුවගේ ආවේණික විදිහ ගැන සැලකිලිමත් වෙමින් සිහියෙන් දරුවෙක් සමාජයක් ඇතුලේ හදන එක..
ඒ අතරෙම දරුවන් අතරින්ම එයාලා ආස කරන දේවල් හොයාගෙන ඒ දේවල් වැඩි දියුණු කරමින් තමයි දවසින් දවස ඉදිරියට අරන් යන්න ඕන. ඔබට පේනවා නම් යම් ක්‍රියාකරමකට දරුවන්ගේ කැමැත්ත දවසෙන් දෙකින් අඩු වෙලා යන්නේ නැහැ කියලා නැවත නැවත ඒ දෙයෙහි නියැලෙන්න ඉඩ දෙන එකෙත් කිසිම වරදක් නැහැ දරුවන්ගේ උනන්දුව පවතින තුරු...ඒ වගේ එක් අවස්ථාවක් එක් පෙර පාසැලකදි මට අත්විඳින්න ලැබුනා.. ඒ තමයි Frozen කියන ෆිල්ම් එකේ එන Let it go කියන ගීතය ඇසුරෙන් හදලා තිබුනු ක්‍රියාකරකම් පෙළක් නැවත නැවත ඒ දරුවන්ගේ හිත් ඇද බැඳ ගත් විදිහ සති ගාණක් පුරාවටම..
ඒ වගේම එකම දේ ගැන එක් එක වයස් සීමා වලදි දරුවෙක් දකින හිතන භාවිතා කරන විදිහ වෙනස් වෙන නිසා යම් දෙයක් ගැන දරුවන්ට තමන්ගෙම උත්තර හොයා ගන්න ඉඩ හදලා දෙන එක තමයි සුදුසුම දේ වැඩිහිටියන්ගේ කාබන් කොපි කරවන්නේ නැතුව.. මේ දේවල් පෙර සුදානමක් නැතුව පැල්න් එකක් නැතුව අත්දැකීම් නැතුව නම් කරන්න බැහැ..ඒ නිසා තමයි දරුවන් එක්ක වැඩ කරන්න ඉගෙන ගන්න ඕනම කෙනෙක් ඒ ඉගෙන ගන්න කාලේම මේ එක් එක් ආයතන වල ප්‍රායෝගික පුහුණු වලට යවන්න තීරණය කරලා තියෙන්නේත්...
No comments:
Post a Comment