Thursday, February 8, 2018

නීති රීති තිබුනේ නැත්නම් මිනිස්සු මොන වගේ හැසිරෙයිද...

එදිනෙදා දකින දේවල් ගැන මට හිතෙන දේවල් ඉඩ ලැබෙන වෙලාවක කොහේ හරි ලියන්නේ හිත කියන තැන පිරිසිදුවට පිළිවෙලකට තියා ගන්න මම කැමති නිසයි..සිතුවිලි හිතේ පිරෙන එක නවත්වන්න බැරි නිසා මෙහෙම ටිකෙන් ටික හිතේ ඇති වන සිතුවිලි එළියට අරගෙන වැඩක් ගන්න පුලුවන් විදිහට ලියන එක දැන් මගේ පුරුද්දක් වෙලා..

පෑන පැන්සල කියන්නේ මගේ මිතුරෝ නම් නෙමේ පුංචි කාලේ ඉඳලා.. ඇඟිලි වලින් පෑන පැන්සල අල්ලන්න අමාරු කරන ලෙඩේ මට තියෙන්නේ උපතින්.. මගේ හිතේ මතුවෙන අදහස් කොලේක ලියන්න කලින් පෑන මගේ ඇඟිලි අතරින් ලිස්සලා යන්නේ හරියට ලිවීම කියන්නේ මගේ ජීවිතෙන් ඈතට යන්න ඕන දෙයක් වගේ...ලේන්සු කියන්නේ මගේ ජීවිතේ හුස්ම තරන්ම ලඟින් තියා ගන්න උනු දෙයක් කාලයකදි.. කාලෙත් එක්ක තාක්ෂණය දියුණු වෙද්දි දැන් මම මූණ දෙන ප්‍රශ්නය තමයි කොයි වෙලෙත් ලඟ තියන TOUCH SCREEN PHONE එකේ හිතට එන අදහස් වල කෙටි සටහනක් තියන්න කරන්න වෙන සටන දිනන්නේ කොහොමද කියන එක.. හොඳ වෙලාවට අවුරුද්දේ එක් කාලයක විතරයි දැන් මට ඒ සටනට මූණ දෙන්න වෙන්නේ පරිසර තත්වයන් නිසා.. 

ඉතින් මම එදිනෙදා දකින දේවල් අතරින් කාලෙකට කලින් ලියලා තිබුන කෙටි සටහනක් දිඟු කරන්න අද මට හිතුනා.. මම දැන් අවුරුදු 3ක 4ක ඉඳන් උදේ හවස  දකින දෙයක් තමයි මේ ලඟ පාත තියන ඇවිදින පඩි පෙළ... පඩි පෙළක් කිව්වට මේක මේ සිමෙන්ති ගඩොල් එහෙමත් නැත්නම් යකඩ (ඇතුල යකඩ ද කියන්න නම් මම දන්නේ නැහැ)  වලින් හදපු පඩි පෙළක් නම් නෙමේ.. 

මේ පඩි පෙළ හැදිලා තියෙන්නේ පුංචි පුංචි මිනිස් පැටැවුන්ගෙන් ටික ටික උස යන.. මේ පඩි පෙළේ පඩි ගණන් කරන එක ටිකක් අමාරු වැඩක්, මොකද ඔක්කොම පඩි ටික  එක සැරේ දකින්න අමාරු නිසත් ගොඩක් පඩි එක වගේම නිසත්.. කොහොම හරි කාලෙත් එක්ක පඩි 8ක් උඩට පහලට යන බව  හිතා ගන්න පුලුවන් උනා මට... 

මේ වගේම තවත් ඉතාම සිත්ගන්නා සුළු හරියට පරණ ඉංග්‍රිසී චිත්‍රපටියක දර්ශනයක් වගේ පඩි පෙළක පඩි කීපයක්  මම දැක්කා දැනට අවුරුදු 4කට විතර ඉස්සර, රුසියානු පවුලක පඩි 12ක පඩි පෙළකින් එදා ඇවිත් හිටියා හරිම ලස්සන රත්තරන් පාට කැරලි කොන්ඩ තියන සුදු පාටට හුරු ඇඳුම් ඇඳලා හිටිය පඩි 4ක්.. මේ පඩි 12න් 1ක් පඩියක් තවම මෙලොව එළිය දැකලා තිබුනේ නැහැ.. පඩි පෙළේ 11 වෙනි පුංචි පඩිය මෙලොව එළිය දැකලා තිබුනේ 21වෙනි වර්ණදේහයේ වැඩිපුර පිටපතක් එක්කයි...ඒත් පවුල ඇතුලේ සතුටේ අඩුවක්වත් පසුතැවීමක සලකුණක්වත් නම් මම දැක්කේ නැහැ.. 

මේ පවුලක තියන පඩි ගාන වැඩි කර ගන්න එක ඇතුලේ සැඟවුනු රහස් බොහොමයක් තියන එක නොරහසක්..රහස් කියද්දි මතක් වුනේ අපේ පුතාගේ PRESCHOOL   එකේ DIRECTOR... ඇය ඕනම කෙනෙක් එක්ක කට පුරා හිනා වෙලා හරිම ලෙන්ගතු විදිහට කතා කරන ඕනම දෙමාපියෙක්ව එක සැරෙන් තමන්ගෙ දරුවට ගැලපෙනම PRESCHOOL  එක මේක තමයි කියලා හිතවන්න පුලුවන් කෙනෙක්.. ඇයත් එක්ක 2014 දි ඇති වුන පළවෙනි කතා බහත් 2017දි ඇති වුන අවසාන කතා බහත් අතරේ කියන්න ගොඩක් කතා තිබුනට අද කියන්නේ යන්නේ උඩින් කිව්ව කතා වල වගේ පඩි පෙළක් ගැනම තමයි.. 2017දි මම ඇයව අවසන් වරට දකිද්දි මෙළොවට  තවත් දරු පැටියෙක්  ඇය බිහි කරන්න ආසන්නයි කියලා පැහැදිලිව පෙනෙන්න තිබුනත් මම ඒ ගැන ඇයගෙන් ඇහුවෙ නැත්තේ මම දැනගෙන හිටියා ඇ‍යගේ පළමු දරුවා විශේෂ අවශ්‍යතා තියන දරුවෙක් බව.. ඉතින් එහෙම අවස්ථාවක අමුතුවෙන් කියන්න ඕන නැනේ කෙනෙක් ඉන්නේ හිතේ දෙගිඩියාවෙන් තාක්ෂණය කොයි තරම් දියුණු උනත්.. 

මම ගිහින් පුටුවෙන් ඉඳ ගන්න කොටම වෙනදා වගේම හිනා මූණෙන් ඇය කිව්ව දේ මගේ හිතට දරා ගන්න කොයි තරම් අමාරු උනාද කිව්වොත් ඇයට සිද්ද උනා ඈත තිබ්බ ටිෂූ BOX එක මගේ ලඟින් තියන්න. ඒත් තවමත් ඇය හිනා වෙනවා.. ඇය මට කිව්වේ මේ හෙට අනිද්දා ඉපදෙන්න ඉන්න පුංචි පැන්චිත් 21වෙනි වර්ණදේහයේ වැඩිපුර පිටපතක් අරන් ඇවිත් කියලා..

උඩින් කිව්ව රුසියානු අම්මටත් මේ මම දැන් කියන අම්මටත් හරිම ලේසියෙන් මේ රට ඇතුලෙදි පුලුවන් දරු ගැබ ඉවත් කරන්න.. ඒ ගබ්සාව නීතිගත කරලා තියන නිසා මේ රටේ, (හැබැයි එක එක ප්‍රාන්ත වල එක එක විදිහේ නිතී ), ඉතාම ලේසියෙන් කිසිවෙකුගේ බලපෑමකින් තොරව ගබ්සාවක් කරන්න ඉඩ හසර හදලා දීලා තිබුනත් මේ අම්මලා දෙන්නම හිනා මුසු මුහුණෙන් තෝර ගෙන තිබුනේ දිගටම මේ පුංචි පැටව් දෙන්නට තමන්ගෙ කුසේ ඉන්න දෙන්න එයාලා කැමති වෙලාවක මෙළොව එළිය දකිනකම්...

මට රුසියානු අම්මා එක්ක නම් දිගින් දිගට කතා කරන්න ඉඩක් ලැබුනේ නැහැ, අනිත් අම්මා නම් ඇයගේ ජීවිතය වගේ වෙලා තිබුන, දවසේ කාලයෙන් වැඩි ප්‍රමාණයක් ඇය ගත කල, දහසක් දෙමාපියන්ගේ දරුවන්ගේ හිත් වලට සහනයක් ගෙනාව, ඇයගේ නොපසුබට උත්සහයෙන් මේ පෙර පාසල් CHAIN එකේ හොඳම පෙර පාසල විදිහට සම්මාන ගත්තු,   පෙර පාසැලට ආයුබෝවන් කියන්න නොසැලෙන තීරණයක් හරිම සතුටින් අරන් තිබුනේ මගේ ඇස් වලට ඉනුව කඳුලු වියලමින්.. ඒත් මම ඇගෙන් සමු අරන් එද්දි ඇගේ ඇස් වල කඳුලු... 

ඉතින් මට හිතන්නේ නීති රිතී කොහොම තිබුනත් එක් එක් පුද්ගලයා දරණ මත (ආකල්ප),  එක් එක් සමාජ තල වල ආකල්ප, එක් එක් සමාජ වල තියන පහසුකම් අනූව තමයි සමාජයක ඒ නීති රීතී ක්‍රියාත්මක වෙන්නේ කියන එක... ඔබට මොකද හිතෙන්නේ...


2 comments:

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.