Monday, February 12, 2018

අම්මා....

අම්මා කියන චරිතය දෙස විවෘත මනසකින්  බලන්න, ඇයව ඇතුලතින් දකින්න ඔබට ඇරයුම් කරමින් මේ ගී වලට ඉඩක් වෙන් කරමි අද..

ඉපැදුනු දා මා හඬා වැටෙන්නැති
අම්මේ ඔබ හිනැහෙන්න ඇති
දෙතනේ කිරි දී මා සනසන්නැති
අම්මේ ඔබ හිනැහෙන්න ඇති...

බඩ ගා දණ ගා මා නැගිටින්නැති
වැටි වැටි යළි නැගිටින්නැති
අම්මේ ඔබ හිනැහෙන්න ඇති

මට නැගිටින්නට ඔබ අත දෙන්නැති
අම්ම මා සිප ගන්න ඇති
අම්මේ ඔබ හිනැහෙන්න ඇති

වන්දි ගෙවන්නට අද මට පින් නැති
බුදුන් වඳින ලෙස වඳිමි වැටී
ඔබ මතු බුදු බව ලබනු ඇතී....
***********************************************************************************************************************
තාත්තා වුණත් මා බත සරිකරන 
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින

මට පෙර උරුම ආලය දරු කැලට දෙමින් රෑ දහවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින් ඔබ දුටු මුල් දිනේවත් හද නොනැගි පෙමින් උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින්

බැති බර හැඟුම් දනවන නුඹගේ සුවඳ අතදරු පුතුගෙ මුව කමලේ ඇත නිඹද අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිඳ ලෙස නොහැ‍ඟෙයි ලඟින් හිඳ මගෙ හිස සිඹින සඳ....
***********************************************************************************************************************
චන්ද්‍ර මඩුලු යට සුරංගනාවන්
දූ සනසන්නට ගීත ගයනවලු දුවේ එපා ඒ කතා අහන්නට මේ නැළවිලි ගී මමයි කියන්නේ රන් තැටියට කිරි පැණි පුරවාගෙන හඳහාමි දූ බලන්න එනවලු දුවේ එපා ඒ කතා අහන්නට හඳහාමි කෙළෙසද මෙහි එන්නේ කිරි මුට්ටිය නූඹෙ ගඟේ ගියාලු ගඟට උඩින් කිරි කොක්කු ගියාලු දුවේ එපා ඒ කතා අහන්නට මමයි නුඹට ලේ කිරි කර දෙන්නේ...
***********************************************************************************************************************
සුදු ඇත් පොව්වෙක් සුදු පියුම හොඩින් ගෙන
පැදකුණු නොකලත් සිරි යහනේ පෙරුම් පුරා මා කුසට පැමිණි බිළිදු මට රජ පැටියෙක්....... හංකිති කවමින් කුස තුල සක්මන් කරනා නු දගයෙකු වේදැයි නිකමට මෙන් මට හිතෙනා
පැටියෝ නු දුවක වුනත් මට පුතෙකු වුනත්
නුඹේ හිස පළදින්නේ වෙනසක් නැති එක ආදරයයි ආදරයයි
කුස තුල දැරුවයි මතු බුදු වන පැතුමන් නෑ ලෙය කිරි කර පෙවුවැයි උදම් අනන්නට රිසි නෑ පැටියෝ නුබ දුවක් වුනත් මට පුතෙකු වුනත් මා නුට පුදන්නේ සැබෑව දිදුලන ජීවිතයයි...ජීවිතයයි..
***********************************************************************************************************************
රුවන්වළා දුහුල් කඩින් පෙරී සදේ රිදී කැලුම්
තුෂාර හාර හා එති ගල හැලෙනවා
පුතුගේ සිඟිති දෙතොල් වලට
සිනා ගෙනෙනවා සිනා ගෙනෙනවා

අනෝතප්ත නෙලුම් විලේ පාවෙන මල් රේණු වලින් සුවඳ උරා හිමින් හිමින් සුලං ඇදෙනවා සඳුන් සෙමෙර සලා පුතුට
පවන් සලනවා පවන් සලනවා

අතු අග මල් කුමාරියන් බිඟු මිණි දැල් සැලෙන හඬින් නිදන පුතුගේ කනට මිහිරි කතා කියනවා සිහින ලොවේ ළපටි සිහින
සිතේ අදිනවා සිතේ අදිනවා

රාජ ඉසුරු බරට වටින වාසනාව කිරිළු දරන
මාලිඟාව එළිය කරන බිළිඳු නිදනවා සීත නලින සිහින ලොවට
බිළිඳු වඩිනවා බිළිඳු වඩිනවා....
***********************************************************************************************************************
මේ ගීය එදත් අදත් හෙටත් මාව හඬවනවා.. මේ පද ලිව්ව අත් දෙක හිමි කෙනාට ඇයි බැරි උනේ
ගෙදර යන්න දූ වෙනුවෙන් කියලා අහන්න හිතුනේ මේ දූ පියා එක්ක එතරම් සමීප බවක් ඇති වුනේ නෑ කියලා කියනවා ඇහුනු දවසේ ඉඳලා.....
මා එක්කලා අමනාපව වී දබර දුගේ තාත්තා එන්නේ නෑ ගෙදර

වැලි පොල් කටුයි වැලි කෑමයි පෙරලාලා මිදුලේ වැටුනු කොළ සේරම අතුගාලා ගේ ලඟ කඩුල්ලට බැරි බර දීලා රෑ එළි වන තුරා ඉමු මිදුලට වීලා හඳ මාමා නැඟෙන තුරු අපි තරු ගනිමු දෙදෙනාගේම දුක තල් අත්තක ලියමු හඳ මාමා අතම ඒ පණිවුඩ යවමු හෙටවත් ගෙදර ඒ දැයි බලමින් ඉඳිමු.....
***********************************************************************************************************************

කඳුළු හෙලා නෑඹිලියට සහල් ගරණ අම්මා
සුසුම් හෙළා ගිණි දළු ගෙන ලිප මොලවන අම්මා වෙල් දෙණි වල ඇවිද ගොසින් වෙරළු ගෙනැත් අම්මා ඉණි වැට ළඟ බලා හිදී අපි එන තුරු අම්මා මව් කිරි බිඳෙන් බිඳ දෙතොලට පොවාලා පෙව් කිරි බිඳෙන් බිඳ ලෝකය නිවාලා සක්විති වෙයන් යැයි සිඹ සිඹ කියාලා අම්මාවරුන් දුක් වින්ඳා හඬාලා දරුවන් අනේ රජ වෙන තුරු මග බැලුවා දුක සැප බලන්නට නාවත් සෙත් පැතුවා දරු සෙනෙහසින් මුහුදත් කඳුළක් කරවා බුදුවෙන පුතුන් හට ඇය ඉණිමං තැනුවා...
***********************************************************************************************************************
.
ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුනා ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා කලා වැවේ නිල් දියවර අපෙ අම්මා

රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු සිත නෑ නිවන් දකින්නේ රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත් සිත නෑ නිදි විඳ ගන්නේ හෙට අරුණට සැරසෙන තව දවසක් ගැනනින්දේ හීන දකින්නේ මහ මායාවනි කවදාදෝ ඔය නෙත් දරු සෙනෙහසින් මිදෙන්නේ වෙල් දෙණිවල ඇවිදින දෙපා රිදෙන විට විහඟ ගීත බණ පද වේවා බෝ මළුවට ඇවිලෙන පහන් වැටක් වී තුන් සිත නිවී සැදේවා මතු උපදින සසරේ විශාකාව වී මෙත් මග නෙත් හමුවේවා ඇත් රැජිණියනේ ඔබෙ නැලවිලි ගීතය ලොවම නිවන කවියක් වේවා....
***********************************************************************************************************************
මා ඔබේ ලඟ අම්මේ
උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ යොදුනක් ඈතින් උන්නත් මා , මා ඔබ ලඟ අම්මේ කටු කොහොලින් පිරි මට හිමි ලොකේ ඔබ සරණයි අම්මේ රෑ දාවල් මට හෙවනැල්ලක් වී සුවඳ ඔබේ අම්මේ මා ඔබ ලඟ අම්මේ අත පය දැඩි වී වැඩිහිටි වූ මා ඔබ සෙවණේ අම්මේ කුරා කුහුඹුවෙකි නිය රැස් දහරේ මතු මතුදා අම්මේ මා ඔබ ලඟ අම්මේ.... ***********************************************************************************************************************
සංසාරේ පැතු පැතුම් නිමා නොවෙනා
මෙතේ බුදුන් දැක නිවන් මඟට යන දා මගේ මවුන් ලෙස භවෙන් භවේ වඩිනා අම්මා සදාදර ඔබයි මගේ අම්මා පියෙකුගෙ සෙනෙහස උදුරාගෙන ගිය පියා නොමැති ලොව හිරු සදිසි මගෙ දිවි අරණට සඳ හිරු ඔබ විය හෙලූ කඳුළු කැට දිරිය වුනී
මෙත් මුදිතා හද සවනක් රැස් මැද මගේ පුංචි ලොව ඔබ සුරකී හදේ තෙතක් නැති පියා නොමැති ලොව දිරිය මවුනි ඔබ බුදුවන්නී..... ***********************************************************************************************************************
අහිමි වීම කියන්නේ මොකද්ද කියලා  හරියට දන්නේ දරුවෙක් අහිමි වු දෙමාපියන් හෝ දෙමාපියන් අහිමි වූ දරුවන්....අනිත් සියල්ල නොලැබීම් පමණී..
හිරුමඩල වී ඇවිත් සඳවතට එළියදී
විශ්වයම හැඩකෙරුව ඔබයි මගේ අම්මා ලය හොවා උණුහුමට දුන් ඕවා දම් මෙමට රන්මුවා පිළිමයක් සේ රැඳෙයි මා ලඟම අම්මා අම්මා ඔබ කොහිද අම්මා මටම ආදරය දී සැඟවුනිද අම්මා විහඟුන්ට ඉඩ නොදී ඔබ කියූ ගී පැදි මඳ සුලඟ සමගවිත් සියොලඟම වෙළි වෙළි මතක අමුණා ලියු කලත කලතා සෙවූ හදවතේ මුල් කවිය ඔබයි මගේ අම්මා

අඳුරු කඩතිර ලිහින හිනා වෙන තරු සේම ඔබේ රුව හිනාවි මගේ පපුව යට නිදන ආදරය හිත පිරුණු කියා ගන්නට පෙරම ගියත් දුර මා අතැර ඔබයි මගේ අම්මා...
***********************************************************************************************************************
වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක් දෙවොලක් වගේ දුක් ඇහු කෙනෙක් කුඹුරක් වගේ බත් දුන් කෙනෙක් වේ නම් ලොවේ නුඹයි අපෙ අම්මේ... සයුරක් වගේ කිරි දුන් කෙනෙක් වෙරළක් වගේ පණ දුන් කෙනෙක් ඔරුවක් වගේ අත දුන් කෙනෙක් වේ නම් ලොවේ නුඹයි අපෙ අම්මේ... කඳුළක් වෙලා දුක් වූ කෙනෙක් පියුමක් වෙලා තුටු වූ කෙනෙක් ගඟුලක් වෙලා පැන් දුන් කෙනෙක් වේ නම් ලොවේ නුඹයි අපෙ අම්මේ...
***********************************************************************************************************************
මිහි මඬලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා අහස් තලෙන් මරු කතරට වහින වැස්ස අම්මා නිල් දෙරණේ තුරුලිය මත මල් සම්පත අම්මා තුරුලිය මත පිපි කුසුමේ පල සම්පත අම්මා...

සිය දහසක් නෙක ලෝ දා එළිය කරන අම්මා
සොළොස් කලා පිරි පුරහඳ එළිය කරන අම්මා

සඳ නැති  රෑ සක්වල තරු එළිය කරන අම්මා
උදා ගිරෙන් ලොවට වඩින ළහිරු මඬළ අම්මා....
*********************************************************************************
දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා
 වැටකෙයියා මලක් වගේ සුවඳ දැනෙනවා
 පසළොස්වක සඳ වාගේ එළිය ගෙනෙනවා
 මගේ අම්මා මට ජීවන සුවය සදනවා

 සංසාරෙන් සංසාරෙට එකට ආ බැඳී
 කෙනෙක් නොමැත දරුවෙකු හට මවක සේ ලැදී
 අම්මා යන සමාධියට සිටිමි සමවැදී
ඔබෙ ගුණ කීමට හෝඩියේ අකුරු මට මදී

 සිවු බුදුවරු දුටු ලෙස එක දිනයක පිම්මේ
 ඔබ දුටුවම මගෙ දුක්ගිනි නිමෙනවා අම්මේ
 සක්විති රජවරුනගේ දණ ඔබ ළඟ නැම්මේ
 සිරිමා බෝ මුල මතු දින බුදුවෙනු අම්මේ.......
*********************************************************************************
ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු වූ ඔබ මතු බුදු වන දවසේ මා රාහුල කුමරුන් සේ සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි සුළැඟිල්ලේ එල්ලී..... සඳ දියකොට කිරි වතුරෙන් ඒ දියරෙන් මුව දෝවා දිව මතුරක් වන් නැළැවිලි ගීයෙන් මතකයි මා නැළැවූවා... ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී ඒ ජීවිතයට කිරි දී පණ දී මා දැඩි කළ අම්මා තුරුළට ගෙන අත් පා හැඩ ගස්වා නිදි ගන්වා යහන් ගැබේ සිහිනෙන් ගෑ සුවඳක් මෙන් සිහිවේ ඒ කිරි සුවඳ ඔබේ දවසින් දවසට සෙනෙහස ළබැඳී ගෙන දී දිවියට නව පණ ලැබ දී මා දැඩි කළ අම්මා....
***********************************************************************************************************************
දවසක්‌ පැල නැති හේනේ අකාල මහ වැහි වැස්‌සා
තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර  හිටියා ඔබ අම්මේ

නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුණදා
බිරිඳකගේ සෙනෙහේ ගියායෝද ඇළේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවඳ දිදී දැනුනා මට අම්මේ

කොළඹ අහස කලුකරගෙන මුහුදු හුළඟ අඬලනකොට
ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ
මං එනතුරු ඉඳිකඩ ලඟඉන්නවාද අම්මේ.....
*********************************************************************************
දෙවැනි බුදුන් ලෙස
ලොවම උවම් කළ ලොවක පිදුම් ලද ලොවට උතුම් ළඳ අම්මා.....අම්මා.....අම්මා.....
දෙසවන් සනහා මා නැළවූ ඔබ මියුරු මියැසියේ අරුත කියා දුනි ඒ මියැසිය අද මා ගයනා විට මා සිපගන්නට ඔබ මා ළඟ නැත අම්මා....අම්මා.....අම්මා..... ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ ළතැවුල් දරනා දිරිය ලබා දුනි ඒ දිරියෙන් ලොව ජය ලබනා විට මා සිපගන්නට ඔබ මා ළඟ නැත අම්මා....අම්මා.....අම්මා.....


ප.ලි : මේ ගී වල කියවෙන දහසක් දේ එක අම්මා කෙනෙකුට කරන්න පුලුවන් කියා ඔබ සිතනවා ද.. ඇය එහෙම කරන්න ඕන ද...
ඕන නම් ඒ ඇයි... ඕන නැත්නම් ඒ ඇයි
යථාර්තය මේ ගී පද වලින් බොහෝ ඈතයි කියා ඔබට සිතුනාද..
නැත්නම් බොහෝ ලඟයි කියා සිතුනාද ..
ඔබ කැමතිද මේ ගී පද සැබෑ කරන්න....
එහෙම නැත්නම් මේ පද මකා දමන්න සඟවන්න මුලු ලොවෙන්
මේ ගී පද වලින් අනාගතයෙදි තවත් ලියැවෙන්න ඕන මොන පද ද ලියැවෙන්න ඕන නැත්තේ මොන පද ද...
කැමති නම් ඔබට මොනවද කරන්න පුලුවන්
අම්මා කියන චරිතය වෙනුවෙන්...

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.