Monday, February 5, 2018

අකුරු මැකී නෑ කොළ ගැලැවී නෑ බොඳ වී නෑ සිතුවම්.......

පුංචි කාලේ හරිම සුන්දර මතකයන් අවදි කරවන මේ ජාතික  රූපවාහිනි තේමා ගීයත්, ස්වාධීන රූපවාහිනියේ තේමා ගීතයත්, මේ රට මගේ රට ගීතයත් මමයි මල්ලියි ඇහුවේ එකම පුටුවක ඉඳගෙන... ටික ටික ලොකු වෙන කොට පුටුවේ ඉඩ මදි උනාට එක් කෙනෙක්වත් පුටුව අත හරින්න ලෑස්ති නැහැ.. මතක විදිහට පුටුවේ දකුණු පැත්ත මල්ලිගේ,  වම් පැත්ත මගේ.. මම හැමදාම බැනුම් ඇහුවෙත් මගේ අත් අකුරු වමට බරයි කියලා....



එකට හිඳින අපි
එකට නැහෙන අපි 
එකටම යන අපි
එක පවුලේ අපි
නැදෑයෝ  අපි නැදෑයෝ...ලංකා පවුලේ නැදෑයෝ  

උතුරෙත් අපි අපි
දකුණෙත් අපි අපි
රට මැද රට වට 
කොතැනත් අපි අපි

කන්දෙත් අපි  අපි
තැන්නෙත් අපි අපි
ලන්දෙත් අපි අපි
....... අපි අපි
නැදෑයෝ   අපි නැදෑයෝ.....ලංකා පවුලේ නැදෑයෝ  

අහසෙත් අපි අපි
පොළවෙත් අපි අපි 
මූදෙත් අපි අපි 
රට සුරකින අපි

දෙහිතක් නැති අපි
රන් හිත් ඇති අපි
රන් හිරු දහසක් පායන තුරු අපි 
නැදෑයෝ අපි නැදෑයෝ... ලංකා පවුලේ නැදෑයෝ

*****************************************************************************


සමනොළ සිරිපා පියුම දොවාගෙන පියුම දොවාගෙන 
සීත ගඟුල් රට වට යනවා 
සිංහ රාජ වන කුංච නාදයෙන්  මේඝ වලාකුළු රජ වෙනවා

(තුරුලිය)  මල් ඵල  විහඟ ගීතයෙන් 
(ආදම්) උයනක් සැඟැවෙනවා
රාවණ ලංකා ඉසුරු පුරාණය
ගොලු මුහුදින් මුතු මතු වෙනවා

ගංඟා හරවා වැව් පෙළ අමුණා
මිහි රස මතු කල පරම්පරාවේ
අනුර පොළොන්නරු සිගීරි අවුකන 
විසිකම් පෑ ගුරු පරම්පරාවේ 
පැතිරේ කිතු රාවේ 

පිරිසිදු බුදු බණ
පොත් කොට රැකගෙන 
 ලොවට බෙදා දුන් පරම්පරාවේ 
වැදි යුග  නව යුග ගොවි යුගයෙන් නව  යුගයක් පෑ හිරු පරම්පරාවේ
පැතිරේ කිතු රාවේ

එක අම්මාගෙන් කිරි බිව්  අපි හැම
එක ලේ මස් ඇති සොහොයුරුවෝ
පන්සල් කෝවිල් පල්ලි ගියත් අපි
එකම පියාගේ දූ දරුවෝ

පරිසරයට සුව සුවඳ බෙදා දෙන 
සැපතෙහි විපතෙහි සුමිතුරුවෝ
එක ධජයේ යට එකටම යන අපි ලංකා මවගේ දූ දරුවෝ
ලංකා දූ දරුවෝ
ලංකා දූ දරුවෝ

මෙතන හැමෝටම ඉන්නේ එකම "අම්මා" එකම "පියා" කියලා යෙදුවේ ඇයි කියලා පැහැදිලි කරලා දෙන්න ඕන කමක් ඇති වුනේ නැහැ... ඒ යෙදුම යෙදුවේ ඇයි කියලා වටහාගන්න පුලුවන් කම අපිට තිබුනා...

********************************************************************************

මේ ගීතය ඇහෙද්දි මගේ මතකය පුංචි කාලේ සිදුවුන එක්තරා සිදුවීමක් කරා ඇදී යන්නේ නිතැතින්.. එදා 1 වසරේ ක්‍රිඩා උත්සවය, අපි හැමෝටම මේ ගීතයට නර්තනයක් ඉදිරිපත් කරන්න තිබුනා... ඊට ටික වෙලාවකට කලින් අපිට ලැබුනා හැම නිවාසයකම දරුවන්ට ලැබෙන කෑම පාර්සලයක්.. කන්න හදනකොටම තමයි අපේ නර්තනය පටන් ගත්තේ.. ඉතින් මම ලඟ හිටපු වැඩිහිටියෙකුට ඒ පාර්සලය දීලා ගියා.. ඇවිත් බලද්දි ඒ පාර්සලයේ තිබුන දේවල් වලින් බාගෙට බාගයක් නැහැ.. ඇස් වලට කඳුලු ආවත් මම තාත්තා ලඟට එනකන් ඇඬුවේ නැ...

මේ වගේ සිදුවීම් සිය ගණනකදි මගේ ශක්තිය වුනේ මගේ තාත්තා.. ඔහු කවදාවත් මට ඉගැන්නුවේ නැ වෛර කරන්න. ඒ වගේම අනිත් කෙනාට රිදවන්න.. ඒ වගේම ඔහු මගේ කඳුලු වලට බිමට වැටෙන්න දුන්නෙත් නැ... ඔහුට හැකියාවක් තිබුනා නැති උන දේ වෙනුවට ඊට වඩා දෙයක් මට අරන් දෙන්නත්, අනිත් අය ගැන හිතේ ඇති වන කලකිරීම තරහ අඩු කරගෙන වැරදි කල අය ගැන ආපස්සට  නොහිතා මට මගේ පාඩුවේ ඉදිරියට යන හැටි කියා දෙන්නත්, බොහෝ විට වචන වලින් නෙමේ, ඔහුගේ වැඩ වලින්,ඔහුගේ ජීවන රටාවෙන් මම ඉගෙන ගත් දෑ පොතින් පතින් මම ඉගෙන ගත් දෙයට වඩා බොහොමයි...

මේ ගීයේ කියැවෙන විදිහටම අහසෙන් වැහි බිඳු වැටෙද්දි සරු පොළොවෙන් මතුවෙන මිණි කැට මුතු කැට ගැන ලොවට කියන්න කලින් හිතන්න දේවල් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙන බව මම ඉගෙන ගත්තේ අත්දැකීම්  වලින්මයි...


මේ රට මගේ රට 
මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට
මගේම මව් රට

සරු පස පොලොවෙන්
වැහි බිඳු අහසෙන්
මිණි කැට මුතු කැට මගේ සිරිලක ඇත

මගේ සිරිලක ගැන ලොවට කියමි මම
සුර පුරයක් වෙන ලොවේ  මෙවැනි නැත

එඩිතරකම ඇති කම්මැලිකම නැති 
ළමයි සිටින රට
මගේ මේ සිරිලක

මේ රට මගේ රට 
මා ඉපදුන රට
හැදෙන වැඩෙන රට
මගේම මව් රට.......

*********************************************************************************
මුල් ගායනයට වඩා වෙනත් ගායනයක් ලඟ මගේ හිත නතර උනු දුලබ අවස්ථාවක්...


වැසි වසිනා අහස අපි 
මුතු බඳිනා මුහුද අපි
මිණි දිලෙනා පොළොව අපි
සිරි ලංකා රටම අපි
සිරි ලංකා රටම අපි

අපේ පැතුම් අහසට විහිදී යයි
කම්හල් වල දුම් වලලු දිගේ
අපේම දහඩිය මුගුරු ගලා එයි
ගංඟා ඇල දොල ඉවුරු දිගේ

රට රැකි කිංකිණි   රණ බරණයි
දහඩිය මඩ විලවුන් සුවඳයි
රට වෙනුවෙන් ගත සිත වෙහෙසෙයි
සිත සතුටේ උල්පත එතැනයි
වැසියෝ අපි පුරවැසියෝ, රට රකිනා ජනතාවෝ

දෙරණ පලා මිණි කැට මතුවන්නට
අප රට නිරතුරු බලා හිඳි
බලව් යොමා නෙත අපේම මාවත 
අපේ අතින් ගොඬ නැඟෙන හැටි...

****************************************************************************
එකින් එක ඇමුණු මුතු මාල කීපයක්ම අපේ ගෙදර තිබුනු  නිසාමත් මගේ නමෙත් මුතු තියන නිසාත්   මේ ගීය  නම් අමතක වෙන්නේ නැ මැරෙන කම්....




විශ්වයේ සැමටම යුක්තිය ඉටුවන, ලස්සන ලොවක් සදම්... 
ඒ ලොව සැදුමට ඇප කැප වී නිති, මුලු ශක්තිය යොදවම්....

දෑ කුල ආගම් සුදු කලු ආදි බේද කිසිත් මෙහි නෑ
ඊර්ශ්‍යා  ක්‍රෝධා දී අවගුණයන් කිසි විටකත් මෙහි නෑ
මෛත්‍රී  කරුණා  හැම වෙත පතුරා  සාමය  රජයාවි
සහෝදරත්වය  මානුශිකත්වය ඉහළින් වැජබේවි

එක් වෙමු රොක් වෙමු එක පවුලක් වෙමු මැලිකම්  දුරලලමු
  මනාව සංහතියම සනසන්නට අත හිත දිරිය දෙමු
හෙටින්  උදාවන ලෝකය  අපගෙයි අප එය බබලවමු
ඒ වෙනුවෙන් අද දින අප වෙහෙසි මුල් පියවර ගනිමු

දෙමාපියනි වැඩිහිටියනි අප හට රැකවරණය දෙන්න
අපේ දුබලකම් පෙන්වා ආදරයෙන් ඔවදන් දෙන්න 
ලොවේ අනාගත උරුමය අප හට නිසිලෙස පවරන්න
අප හැදුනොත් අද හැකිවනු ඇත හෙට  ඒ ලොව දැකගන්න....


ප.ලි. : ඇයි මේ පද පේළි තවමත් මතක...මේ රූප රචනා එක තප්පරයක් නෑර තවමත් මතක...මේ ගී ලිව්වේ කවුරුන්ද කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් ලියලා යන්න...

රූපවාහිනිය (පොදුවේ මාධ්‍ය)  මහා භයානක රකුසෙක් විදිහට සමහර මිනිස්සු දකින්නේ තමන්ගේ මනස ඇතුලේ පෙරණයක් නැති නිසා ද..

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.