Thursday, April 5, 2018

මතක සටහන් අවදි කරවන ගීයක් වැනි සියවන සටහන...

පෙර පාසල් වියේ සිට 5වෙනි වසර දක්වා නර්තනයට වැඩි දස්කමක් සහ ආසාවක් දැක්වූ මා හට 6 වසරේදි පාසැලට බාර දෙන්න පැමිණි පියා විසින් තෝරා දී තිබුනේ සංගීතය බැවින් එදා සිට 11 වසර දක්වා පෙරදිග සංගීතය හැදැරුවේ විභාගයට මුහුණ දිමේ අරමුණින් නම් නෙමේ මම.. කොහොමත් මම දෙයක් (හදවතින්) ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්නේ විභාගයකදි දැනුම මැන බැලිමේ අදහසකින් නෙමේ.. හුදෙක් ඒ ඉගෙන ගන්නා දෙය රසවිඳිමේ හෝ එදිනෙදා ජීවිතයේදි භාවිතා කිරීමේ අරමුණින් පමණයි..

කොහොම නමුත් සෑම වාර විභායකදීම සංගීතයට ඉහළ ලකුණු ප්‍රමාණයක් මට හිමි වුනත් මම පාඩම් කලේ එකම එක රාගයක් පමණී.. නමුත් සියලු රාග වල වෙනස්කම් මා පාඩම් කල අතර විභාගයේදි පාඩම් කල එකම රාගය අසා ඇති රාගය අනූව වෙනස් කර පිළිතුරු ලිව්වෙමි. 

ඒ ඇරුනු කොට හිතට කා වැදුනු රාග පමණක් කිසිඳු වෙහෙසකින් තොරව මතකයේ රැඳුනේ එතුලින් ලබපු අසීමිත වින්ඳනය නිසාමයි.. 10 වසරේදි මම ගෙදරදි විභාගයට නියමිත අනිත් විෂයන් පාඩම් කිරීම පසෙකින් තබා keyboard එකට සහ වයලීනයට පෙම් බැඳිම නොරිස්සු මගේ මව දිනක් සියලු ස්වර ප්‍රස්ථාර තිබු පොත් සඟවන ලද්දේ විභාගයෙන් පසු ඇයටවත් ඒවා නැවත සොයා ගත නොහැකි පරිද්දෙනි..

කොහොම නමුත් නර්තනය ගැන සිහින දකිමින් සිටි ලාබාළ මා පියා විසින් අහම්බෙන් සංගීතය නම් සදා වින්දනීය විශ්වීය භාශාවකට නිරාවරණය කිරිමෙන් අදද මා ලබන්නේ අසිමිත වින්ඳනයකි.. සැහැල්ලුවකි.. රසයකි.. මිනිස් හැඟිම් හා යා විය හැකි එකාත්මික විය හැකි යම් දෙයක් ලොවේ ඇත් නම් ඒ සංගීතය කියා මට සිතෙන්නේ ලොවක් නළවන නාද රටා වලට මිනිසුන් පෙම් බඳින තරම් විනිවිද දකිනා හදවතක් මට ඇති බැවිනි..

වයස අවුරුදු 10ක දඟකාර බොළඳ වියේ සිටි මා නර්තනයට නොව සංගීතයට යොමු කල මගේ පියාගේ එක් අපේක්ෂාවක් වන්නට ඇත්තේ මගේ සසල සිත නිසල කිරිම විය හැකි බව ආපස්සට හැරී බලන විට අද මට සිතෙන්නේ සැබැවින්ම කුමන අවස්ථාවක වුවත් සංගීතය මා සමාධි ගත කරවන නිසාවෙනි... නිසොල්මන් කරවන නිසාවෙනි...

ඕනම රටක ඕනම රටාවක සංගීතය රසවිඳීමේ හැකියාව මා සතු නිසාම මිනිස් කටහඬ තරම් සුසර කල හැකි වෙනත් සංගීත භාණ්ඩයක් මෙළොව නැති බව මට සිතෙන්නේ ඒ නිසි ලෙස සුසර වු කටහඬවල් කෙරෙහි මගේ හදවතේ පිරෙන අසීමිත ආදරය කිසිදා නොසිඳෙන බැවිනි..

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.