Sunday, May 6, 2018

පැත්ත ගියත් ඇත්ත කියන්න බය නැති දරුවෙක් හදමු ද....

හැදෙන වයසේ පුංචි දරුවෙකුට අපි පැහැදිලි කරලා කිව්වොත්, ඇත්ත කියන එකෙන් හිතට දැනෙන නිදහස් හැඟිම, ඉඩ හදලා දුන්නොත් ඇත්ත කියන කොට දැනෙන්නේ හොඳ හැඟිමක් කියන එක, ඒ දරුවා පළවෙනි පියවර තබනවා පැත්ත ගියත් ඇත්ත කියන්න.. මොකද දරුවන් හැම විටම කැමැති තමන් හොඳ කෙනෙක් කියලා දකින්න.. දරුවන් විතරක් නෙමේ වැඩිහිටියන් වුනත්..කිසිම කෙනෙක් කැමැති නැ තමන් වැරදිකාරයෙක් වෙනවා දකින්න..

ඇත්ත කිව්වෙ නැත්නම් දඬුවම් කරනවා  (නැත්නම් පව් සිද්ද වෙනවා කිව්වොත්) කියන දේ අපි දරුවෙකුගේ හිතට ඇතුල් කලොත්.. එහෙමත් නැත්නම් අපි කිව්වොත් "ඔයා ඇත්ත කිව්වේ නැත්නම් ලොකු කරදරේක වැටෙනවා" කියලා, මිනිස් මනස තාර්කිකව හැම විටම උත්සහ කරන්නේ තමන්ව ආරක්ෂා කර ගන්න නිසා, දරුවෙක් ඇත්ත කියනවට වඩා පෙළබෙන්නේ බොරු කියන්න.. එකක් දෙකක් නෙමේ.. බොරු වැලක් කියන්න දරුවන් ඉතා ඉක්මනින් හුරු වීම අපිට නවත්වන්න බැහැ, ඇත්ත "බය" එක්ක එකතු කරලා දරුවන්ගේ මනසට පොඩි කාලේම ඇතුල් කලොත්...

ඒ නිසා හැමැවිටම උත්සහ කරන්න දරුවෙක් ඇත්ත කතා කල යුතු තැනකදි "බය", "දඬුවම්", "අහිමි කිරීම්" වැනි සෘනාත්මක හැඟිම් ගාවා නොගෙන, ආදරය,සතුට, අගය කිරීම් වගේ ධනාත්මක දේවල් වලට ඉඩක් දෙන්න.. කොටින්ම වැඩිහිටි ඔබ හැඟිම් පාලනය කර ගන්න ඉගෙන ගන්න දරුවන් එක්ක වැඩ කරද්දි.. දරුවන් මේ ලොකේට බිහි කරන්න කලින්..


මේ ඇත්තට කෙලින්ම සම්බන්ධයක් නැති උනත්, අපේ අම්මා ඇවිත් හිටිය කාලේ, දවසක් පුතාගේ සෙල්ලම් බඩුවක් ඇඳ යටට ගිය වෙලේ, පුතා ඒක ගන්න ඇඳ යටට රිංගන්න යද්දි, අපේ අම්මා කිව්වේ , "හා හා පුතේ,  ඇඳ යට monsters  ල ඉන්නවා, යන්න එපා, මම අරන් දෙන්නම්" කියලා ..

මේ කතාව ඇහිලා එතනට මම  එද්දි පුතා හිටියේ ඇස් දෙක ලොකු කරගෙන අත්තම්මා දිහා බලාගෙන, මොකද මම කවදාවත් එයාගේ ඔලුවට දාලා තිබුනේ නැහැ ඇඳ යට ඉන්න monsters ලා ගැන.. ඉතින් මම කලේ "පුතේ ඔයා හිමින් පරිස්සමින් ගිහින් toy එක අරන් එන්න, ඔයාට පුලුවන් ඒ දේ කරන්න" කියලා කිව්ව එක.. 

මීට කලිනුත් අම්මට මම කියලා තිබ්බත් ඒ වගේ "බය" කරන්නේ නැතුව, අවදානම පුතාගේ  වයසට ගැලපෙන විදිහට පැහැදිලි කරලා කියනවා මිසක්, එයාව අධෛර්ය, "බය" කරන දේවල් කියන්න එපා කියලා, මම දන්නවා අපේ අම්මා ඒ වගේ අවස්ථා වලදි වැඩ කරන්න  පුරුදු වෙලා තියන විදිහ වෙනස් වෙන්නේ නැහැ කියන එක කිසිම දවසක..


ප.ලි.: මේ මොනවා ලිව්වත් ලංකාවේ සංස්කෘතිය ඇතුලේ තියන බලෙන්, බය කරලා කොටු කරලා, දරදඬු පාලනයකින් එහෙමත් නැත්නම් මානසික කප්පම් ගැනීම් තුලින් යැපෙමින් දරුවන් හදන ක්‍රමය අද හෙට නම් වෙනස් වෙන්නේ නෑ කියන එක ඉර හඳ වගේ විස්වාස දෙයක්...

ආදරයෙන් තේරුම් ගැනීමෙන් එකිනෙකාගෙන් ස්වාධීනව,   සමඟියෙන් නිදහස්ව වගේම යාථාර්තවාදීව ජීවත් වීම කියන්නේ හීනයක් කියලා මට හිතෙනවා ලංකාවේ ජීවිත දිහා බලන කොට ලෝකේ කොහෙත් ජීවත් වන..

6 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නේ අපේ දෙමවුපියන්ගේ පරපුරේ මේ ගතිලක්ෂණය ඉතාම දරුණු තත්වයක් දක්වා ඇවිත් අපි පවා දැන් අතීරණයක ඉන්නේ කියලයි. දරුවන් කොතරම් lost කියලාද බලන්න එතකොට?

      මම මේ ගැන දීර්ඝව ලියන්නත් හිතාගෙන හිටපු දෙයක්. ඒ නිසා මෙතන යම් පමණකට අදහස ලියන්නම්. කොහොම උනත් අපේ සහ අපේ දරුවන්ගේ පරපුරවල් එක්ක අපේ දෙමවුපිය පරපුරේ ලොකු ගැටුමක් දැනටමත් තියෙනවා. අධ්‍යාපනය, ආකල්ප, ජිවන රටාව කියන මේ පැති වලින් දෙගොල්ලක් ඉන්නේ අන්තයේ. වින්දිත අන්තය දරුවන්!

      මේ ගැන පුළුල්ව ලියන්න ඕනේ? මොකද හිතන්නේ?? ඔබ කැමතිද තව ලියන්න? මම ලියන්න හිතාගෙන ඉන්න මාතෘකාවක් නැවත මතක් කලාට ස්තුතිය.

      Delete
    2. ලිඛිතා, ඔබ බලාගෙන ආවොත් මේ බ්ලොගයේ මුල ඉඳලම, මම ලියන්නේ මේ හා සමාන මාතෘකා වලට අඳාලව.. මම මේ බ්ලොගය නම් කලෙත් ඒ අදහස හිතේ තියාගෙන.. කොහෙන් පටන් ගෙන මොනවා ලියන්නද කියලා හිත හිතා හිටියොත් මේ ටිකවත් ලියවෙන්නේ නැහැ..

      ඔබ කියනවා වගේ lost දරුවෝ මම මෙහෙත් දකිනවා ශ්‍රි ලාංකික පවුල් වල.. සමහර වෙලාවට කිසිම දේකින් අඩුවක් නැහැ, ඒත් හිතේ සහනයක් ජීවිතේ සතුටක් සැහැල්ලුවක් නැහැ.. හරිම කණගාටුයි ඒ ජීවිත ගෙවෙන විදිහ දකිද්දි...

      Delete
    3. දිගු කලක් තිස්සේ ඔබව කියෝන කෙනෙක් විදියට මමත් දැක්කා ඒ ලිපි. ඇත්ත...
      මම කැමතියි කාචයකින් ආලෝක කදම්බයක් නාභිගත කරනවා වාගේ මේ අදහස් එක රටාවකට ගොනු කරන්නට. මොකද මේ අදහස්වල ආරම්භය මෙහෙම විසිරුණු ස්වභාවයක් නොවී, වඩාත් නාභිගතව සිදු උනා නම් වඩාත් ප්‍රතිපල නෙලාගත හැකියි කියලා හිතෙන නිසා.
      කොටින්ම, ඔබ මේ මතුකරන කාරණය ලිපියෙන් නිස්සාරණය කරලා ගත්තොත්, කාරනා කීපයක් තෝරලා අරගන්න පුළුවන් සාකච්චාවට.
      1. දරුවන්ට බොරුවක් කියන්න දෙමවුපියන් පෙළඹෙන්නේ ඇයි ?
      2. ඒ දරුවන්ගෙන්ම අපි සත්‍ය කියන්නට බලකිරීමක් කරන්නේ ඇයි ?
      3. බිය ඇතිවිය යුත්තේ මොකටද? ( ඇත්ත කියන්නද? අනතුරෙන් වැලකෙන්නද ? ඇත්තටම ඇයි ?)
      4. බය නැතුව ඇත්ත කියා අනාගන්නේ නැතිමද? ( අපේ අත්දැකීම් මොනවාද? අපි ආදර්ශමත්ද?)
      5. බය නැතුව ඇත්ත කියන්නේ ඇත්තටම මොකටද? ( හර්ද සාක්ෂියටද? අවට ලෝකයටද? නෑ ඒ දෙකටම නෙවෙයි කර්මයටද?)
      6. කාගේ ක්‍රමයක්ද අපි මේ ගෙනියන්නේ? ( අපේ අම්මලාගේද? අපේමද ? අපිට හොඳයි හිතෙන දේද? අපි මවාගත්ත ලෝකයක්ද ?)


      අවසානයට ඔබ කියූ lost දරුවන්... එය ලොකු මාතෘකාවක්. අපි ලියමු

      Delete
    4. මම කැමතියි ලිඛිතා පිළිවෙලකට මේ කරුණු ලියන්න.. ඒක තමයි වෙන්නත් ඕන.. ඒත් ජීවිතේ එහෙම නිදහස් නැහැ තවම..පැහැර හරින්නම බැරි වගකීම් එක්ක ගෙවන අවිවේකී එහෙත් තෘප්තිමත් ජීවිතය එළිය කරන එක දෙයක් මේ ලිවීමේ පුරුද්ද මගේ..

      ටික ටික හරි හිතට එන අදහස් පිළිවෙලක් නැතුව හරි එක තැනක ලියන්නේ අනාගතයේ දවසක පිළිවෙලක් කරන්න තරම් නිදහසක් ලැබේවි කියලා හිතාගෙන..

      ඔබ අහන ප්‍රශ්න ඇතුලේම උත්තරෙත් මම දකිනවා ලිඛිතා.. ඒ තමයි "බය"...

      ලොස්ට් දරුවන් කීප දෙනෙකුට මම උදව් කරනවා පාරක් හොයා ගන්න, කියලා ලියලා පැහැදිලි කරන්න බැරි තරම් එය අමාරු දෙයක්.. එක පාරක් අමාරුවෙන් හොයා ගෙන ඉඳිරියට එක්කන් යද්දි ඒ පාර වැහෙන්නේ ආයේ අරින්න පුලුවන් විදිහය නෙමේ.. ඉන් පස්සේ ඒ හිර වුනු තැන නතර වෙලා ආපහු මුල ඉඳලා හිතන්න වෙනවා පටන් ගන්න තැනක්.. ඒක හරිම වෙහෙසකර දෙයක්..

      Delete
    5. මේ ක්‍රියාවලියේ මම දැක්ක දෙයක් තමයි, දෙමාපියන් තමන් හදපු වඩපු නිසා, එහෙමත් නැත්නම් දෙමාපියතමන් වෙනුවෙන් කැප වීම කල නිසා, ඔවුන්ගේ හිත් රිදවන්න නොහැකිව තමන්ගේ ජීවිතය විහින් හිර කර ගන්නා දරුවන්... ඒ මානසික ගැටලුව ලිහා ගන්න දරුවන්ට දෙමාපියන් උදව් කරන්නේ නැහැ, අපේ සංස්කෘතියේ තියන යැපුම් ක්‍රමය නිසා..

      Delete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.