Wednesday, May 16, 2018

මේ ලෝකෙට ඕන අංග සම්පූර්ණ "සුපිරි" මිනිසුන් පමණක් ද...

ආබාධිත දරුවෙකුව වටහාගෙන, අප අවට සමාජය ඒ දරුවාට අවශ්‍ය විදිහට හැඩ ගස්සවමු ද.. ඒ කිව්වේ ආබාධිත අයටත් අපිට වගේම තනියම යන්න එන්න පුලුවන් විදිහේ මාර්ග පද්ධතියක්, ගෙවල්, ගොඩනැඟිලි හදන විට ආබාධිත අයට පහසු ක්‍රමත් ඇතුල් කිරීම වගේ මුලීක දේවල් හරි කරන්න පටන් ගනිමුද...

මෙතෙක් කාලයක් වුනේ එහි අනිත් පැත්තනේ.. ඒ කිව්වේ ඒ දරුවා අමාරුවෙන් සමාජයට ඕන විදිහට හැඩ ගැහුන එකනේ..එක්කෝ සමාජය ඉදිරියට එන්නේ නැතුව හැංගුව එක.. එහෙම කලොත් එයාලව අපි නම් කරන ආබාධිත කියන විශේෂණ පදය ඉවත් කරන්න පුලුවන් වෙයි ඉක්මනින්ම නේද...ආත්ම ගාණක් බලන්න ඉන්න ඕන වෙන එකක් නැහැ ඔබ හිතන විදිහ වෙනස් කරගන්න පුලුවන් නම්...

මට හැමදාම හිතුනු දෙයක් තමයි රට පුරා පන්සල් නඩත්තු කිරීම, මහා විශාල දාගැබ්, ඒවාට ආලෝක පුජා තවත් බොහෝ පිට ඔපේට කරන දේවල් නවතා, අඩුම ගානේ රට පුරා ඉන්න ආබාධිත, අසරණ මිනිසුන් ස්වාධින කරන්න වැඩ පිළිවෙලවක් හදන්න  ඇයි මිනිස්සු උත්සහ නොගන්නේ කියන එක.. මිනිස්සු අනියම් විදිහකින් ඒ අසරණකම තමන්ගේ වාසියට හරවගෙන ද මන්දා... 

මේ ආබාධ ඇතුලු බොහෝ අඩුපාඩු කරුමෙට බැර කරන්න හරි පහසුයි, ඒත් තවත් කෙනෙක් ගැන අපේ මනසෙන් හිතලා, ඒ අයට අවශ්‍ය දේ කරන්න උත්සහ කිරීම අපහසුයි.. මිනිස්සු ගොඩක් විට තෝර ගන්නේ අනුන්ට නොව තමන්ට පහසු දේ... මේ දෙය උඩු යටිකුරු කලහැකි මිනිසුන් ඉන්නේ හරිම අඩුවෙන් සමාජයක.. ඒ දේ කරලා දෙන්න කොහෙන්වත් කවුරුවත් එන්නේ නම් නෑ..ඒක නම් ඉර හඳ වගේ විස්වාස දෙයක්...

ඔබ හිතන්නේ ඇයි ආගම් වලින් ආබාධිත මිනිසුන්ව පහත හෙලලා තියෙන්නේ..එහෙම නැත්නම් පෙර ආත්මේ කරපු පව්, කරුම වගේ දේවල් වලින් ඒ ආබාධය පැහැදිලි කරන්න හදන්නේ...

මට නම් හිතෙන්නේ මිනිස් පරිණාමයේදි අනිවාර්ය, ස්වාභාවිකව සිදුවන පියවරක් ඇසුරෙන්, පාලනය කිරීමට අපහසු හැඟිම් වලටම වහල් වෙන මිනිස්සු පාලනය කිරිමට යත්න දැරීමක් විදිහටයි..

ඒ පාලනය කිරිම නම් එක් පැත්තකින් හොඳ දෙයක් වුනත් එයට භාවිතා කල අර මිනිස් පරිණාමයේ ස්වාභාවික සංසිද්ධියකට මුහුණ දුන් අයට වෙන්නේ නම් අසාධාරණයක් කියා මට සිතේ..මොකද ඒ අයගේ ආබාධය හරිම ලේසියෙන් කරුමෙට බැර කර නොසලකා හැරෙන නිසා..

කාලෙකට කලින් මම කියෙව්වා Down syndrome දරුවෙක් ගැන දෙමාපියන් (පියා) ලියා තිබු සටහනක්.. ඔහු එහි ලියා තිබුනා ඒ දරුවව නැති කරන්න උනත් තිබ්බා නේද කියා ඔහුගෙන් අහන මිනිසුන් ගැන ඉපදෙන්න කලින්ම.. ඔහු එහි ප්‍රශ්න කරලා තිබුනා මේ ලෝකෙට ඕන අංග සම්පූර්ණ "සුපිරි" මිනිසුන් පමණක් ද කියා..


ප.ලි.: මගේ ගෙදරට එහා පැත්තේ ගෙදර ඉන්නේ එක කකුලක පුංචි ආබාධයක් තියන කෙනෙක්.. ඒ වුනාට (ඇයට ආවේණිකව සුළු වෙනස්කම් කීපයක් කර සදා ඇති) ඇයගෙම වාහනයකුත් පදවන අතරෙම, හැමදේම කරගන්නෙ තනියම හරිම සතුටින්, ඇයගේ මූණේ මේ අවුරුදු 3ටම මම දැක්කේ හරිම ප්‍රසන්න හිනාවක් විතරමයි... ඇය කාගෙන්වත් යැපෙන්නේ නැහැ තමන්ගේ වැඩ කරගන්න..

ඉස්සර නම් ඉඳලා හිටලා දවසක ඇය මගෙන් උදව් ඉල්ලලා තියනවා පහළ ගරාජ් එකේ ඉඳලා බඩු උඩට ගේන්න. හැබැ‍යි කවදාවත් ඇය මාව අහම්බෙන් දැක්කොත් මිසක් උදව් බලපොරොත්තුවෙන් ඉන්නවා කියලා මට දැනිලා නැහැ.. ලඟදි ඉඳන් ඇයව සොයාගෙන ආදරයත් ඇය ලඟටම ඇවිත්.. ඒත් තවමත් ඇය තමයි වාහනය පදවන්නේත් ගෙදරට ඕන කරන දේවල් ගේන්නේත්..

මේ වගේ ශක්තිමත්, යාථාර්තයට මුහුණ දෙන්න හැකි පෞර්ශයක් තියන අයට මම හරිම කැමැතියි.. ඕන දේකට අඬාගෙන, බැන බැන, විවේචනය කර කර, චෝදනා කර කර,මායා ලෝක සිහින ලෝක වල ඉන්න අයට වඩා..

එක් පෙර පාසැලක විශේෂ අවශ්‍යතා තිබුනු දරුවෙකුට මුහුණ දෙන්න උන සිදුවීමකුත් මතක් උන නිසා ලියලා තියන්නම්.. ඒ දරුවා හරිම කැමතියි එක්තරා දරුවන් පිරිසක් එක්ක සෙල්ලම් කරන්න, එකට ඉන්න, ඒ අය කරන කරන දේ අනුකරණය කරන්න.. ඒත් ඒ දරුවට කතා කරන්න බැහැ තවම, ඒ වගේම තවත් වෙනස්කම් කිහිපයක් තිබුනා.. මේ වෙනස්කම් ඉවෙන් වගේ දැන ගත්තු අර දරුවන් පිරිසෙන් කිහිප දෙනෙක් කලේ මේ දරුවව මඟ හරින එක..

මේ පෙර පාසැලේ ගුරුතුමියට සිද්ධ උනා හරි සියුම්ව කාවවත් වැරදිකරුවන් නොකර මේ ප්‍රශ්නේ හිමින් විසඳගන්න..ඒ ගුරුතුමිය මේ දරුවන් පිරිස සහ අනිත් දරුවා ජාතින් වලින් ගත් විට ජාතින් කිහිපයකට අයත් අය..කතා කරන භාශාත් කිහිපයක්..

ඒත් ඔස්ට්‍රේලියාවේ පෙර පාසැල් වල මුලීක අඩිතාලම හැදිලා තියෙන්නේ කිසිම වෙනසකින් තොරව හැම කෙනාවම පිළිගන්න ක්‍රමයකට නිසා, හරිම සියුම්ව හැකි උනා හැමෝටම අසාධාරණයක් නොවන විදිහකට ඒ සිදුවීම විසඳගන්න.. ඒ වගේම ඒ ගුරුතුමියට පෞද්ගලිකවත් විශේෂ අවශ්‍යතා තියන දරුවන් ගැන අත්දැකීම් තිබුනා.. ඒ වගේ තවත් අත්දැකීමක් මට තියනවා Selective Mutism තියන දරුවෙකු ගැනත් පෙර පාසැල් ගුරුවරු ඉතාම සංවේදීව හැසිරුනු ඒ දරුවා ගැනත් ඒ වගේම අනිත් දරුවන් ගැනත්..

4 comments:

  1. //මේ ලෝකෙට ඕන අංග සම්පූර්ණ "සුපිරි" මිනිසුන් පමණක් ද... //

    එහෙම අය ඉන්නවද?


    ReplyDelete
    Replies
    1. එහෙමයි කියලා හිතාගෙන ඉන්න අය ඉන්නවනේ Pra :) :)

      Delete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.