Friday, May 11, 2018

ඔබ ඔෂීන් බලලා තියනවද පුංචි කාලේ...

ඔබ ඔෂීන් බලලා තියනවද පුංචි කාලේ, සිංහලෙන් හඬ කවපු.. එහි "සංසකු" කියන විප්ලවාදි හමුදාවෙන් පැනවිත් හිම කන්ඳක සැඟවී සිටින තරුණයා, පුංචි ඔෂීන්ව බේර ගන්න හැටි මතකද.. ඉන්පස්සේ ඔහු පුංචි ඔෂීන්ට ජීවිතය, ලෝකය, යුද්ධය ගැන බොහෝ දේ කියා දෙනවා... "සංසකු" ලඟ තිබුන පුංචි mouth organ එකින් වාදනය කල හරිම දුක හිතෙන පාලු නිසංසල හැඟිමක් ඇති ගීයත්, එහි තේරුමත් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.. මමයි පුතයි පහුගිය කාලේ මුල ඉඳලම ඔෂීන් බැලුව නිසා ඒ මතකය ආපහු අලුත් උනා..

තවත් දෙයක්, ගොඩක් දෙමාපියන් තමන් පුංචි කාලේ වින්ඳ ජීවිතේ, බලපු රූපවාහිනි වැඩසටහන්, කියවපු පොත්, අහපු ගීත වගේ දේවල් තමන්ගේ දරුවන්ට විඳින්න වෙන්නේ නෑ කිය කියා දුක් වෙනවා.. පුංචි උත්සහයක්වත් ගන්නේ නැහැ ඒ දේවල් වලින් කිහිපයක් හරි හොයාගෙන දරුවන්ට පෙන්වා, ඔවුන් ඒ දෙය තමන් වින්ඳා හා සමානව විඳිනවද කියලා හොයලා බලන්න.. හැබැයි බල නොකර දරුවන්ට, මොකද කෙනෙක් බලෙන් බැලුව කියලා නිර්මාණයක් රසවිඳින්න නොහැකි නිසා..  



"ඔෂින්, ඔයාට ජීවත්වෙන්න බොහෝ අවුරුදු තියනවා,
 ඒ අතරවාරේ දුක්සහිත කාලවල් ඇතිවෙන්න පුළුවන්
 නුරුස්සන අය හමුවේවි ඒත්, 
ඔවුන්ට වෛර බඳින්න එපා දුක්දෙන්න එපා අනුන්ට 

ඔයා ක්‍රෝධ කලොත් යමෙකුට
 පසුතැවිලි වෙයි ඔයාම, දුක්වෙයි අවසානයේදී. 
යමෙකුට රිද්දෙව්වොත් තමන්ටමයි රිදවෙන්නෙ
 දුක්වෙන්න වෙන්නෙ තමන්ටමයි.
කරපු හැම දේ ආපසු එයි. 
මේ අහන්න ඔෂින්, 
 කෙනෙකුට වෛර කරන්න රිදවන්න හිතුවොත් පොඩ්ඩක් හිතන්න
 ඒ අයගෙ පැත්තෙන් ඔයා වෛර බඳින්න ඉස්සෙල්ල

මොකද ඔයාට දුක් දෙන්නෙ කියල ඔයාගෙ හිතෙන්ම අහන්න
 කරුණක් තියෙනව ඇති.
 මොනවහරි තිබුණොත්,එතකොට පරිස්සම් වෙන්න
 නැත්නම්, කරුණක් ඒ විඳියට වෙන්න එයා ඔබේ හිත රිද්දනව නම්. 
දොස් නඟන්න එපා අනුකම්පා කරන්න.

හේතුවක් නැතිව ඔබට වද දෙන අය,දුකින් පිරුණු අය.
 ඔවුන්ගේ හිත් වල කිසි සතුටක් නැහැ ,
අන්න එහෙම හිතන්න.
ඔවුන්ට සමාව දෙන්න, ඔයා දුන්නොත් යමෙකුට ආදරෙන් සමාව,
අනුන්ට ආදරේ කලොත් ආපිට ඔයාට ආදරේ ලැබෙයි.
එතකොට ඔයා සැනසීමෙන්  ජීවත්වන කෙනෙක්වෙයි... 

මම කියල දුන්නනෙ කියවීම ලිවීම ගණිතය
 කොච්චර හොඳට ඒවා දැනගත්තත් වැඩක් නෑ
 තමන්ගෙ පපුව හොඳ නැත්නම් කොච්චර ඉගෙන ගත්තත්.
 කොච්චර උසස් වුනත් ඔයාට වැඩක් වෙන්නෙ නෑ
 ඔයා හොඳ කෙනෙක් නෙවෙයි නම්... "

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.