Wednesday, May 2, 2018

පුංචිම කාලේ තනිවම හිතිලද මහණ වුනේ...

ළමාවියේ කිරි සුවඳ ගියේ නැති,
ළමාවියේදි 
කසාවතක් ඇඳ පොඩි හාමුදුරුවෝ
පුංචිම කාලේ තනිවම හිතිලද මහණ වුනේ...

මේ හැම කෙනෙක්ටම ඉන්නවා අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්.. ඒ අම්මලා තාත්තලාටත් ඉඳලා තියනවා දෙමාපියන්.. කිසිම කෙනෙක් ඕපපාතිකව මේ ලොකේට එන්නේ නැහැනේ තවම නේද... ඒ දෙමාපියන් විසින් හෝ මේ දරුවන් අවට ජීවත් වන වැඩිහිටියන් විසින් හෝ කුමන හෝ හේතුවක් මත කහ සිවුරක් ඇතුලේ හංගන්න හදන ළමා විය ගැන ලියැවුනු මේ ගීය ආයෙමත් අහන්න හිතුනේ, බ්ලොග් කියවන්න ලියන්න ගිහින් හම්බුනු තවත් සුන්දර ලියන්නෙක් ලියලා තිබුන කවියක් නිසයි.. (ලියන්නෙක් කිව්වට ලියන්නෙක් විතරක්ම නෙමේ, උයන, අඳින, මවන , වවන කෙනෙක් )

මේ දෙමාපියන්/වැඩිහිටියන් විසින් එක්තරා විදිහකින් හිතා මතා දැනුවත්ව අත හරින , (තවත් විදිහකින් කිව්වොත් නොසලකා හරින) තම කුඩා දරුවන් බුදු සසුනට පුජා කිරීම කියන කරුණ උඩ සමාජයේ යම් පිළිගැනීමකට ලක් වුනත් ඔබට කවදා හරි හිතිලා තියනවද මේ වගේම දෙමාපියන් විසින් දැනුවත්ව අත හරින/ නොසලකා හරින තවත් දරුවන් කොටසකට සමාජයේ හිමිව ඇති තැන ගැන හොයලා බලන්න..

ඒ තමයි ළමා නිවාස වල ඉන්න දරුවන් (ආබාධිත හෝ නැති ) , වීදී දරුවන්, ඇඟිල්ල දික් කරලා මේ ඉන්නේ මගේ තාත්තා කියලා කෙනෙක්ව පෙන්වන්න නොහැකි දරුවන්... ඒ දරුවන් බුදු හාමුදුරුවෝ වෙනුවෙන් (එහෙමත් නැතිනම් ආගමක් වෙනුවෙන්) තමන්ගේ ජීවිතය පුජා නොකිරීම නිසා සමාජයෙන් එල්ල වල ගැරහුම් කොහොමද විඳදරා ගන්නේ කියලා හිතලා බලන්න කවද හරි ඔබට හිතිලා තියනවද..

මීට වසර කිහිපයකට කලින් මා දන්නා එක් යුවළකට ඕන උනා දරුවෙක් අරන් හදා ගන්න..ඒ ගැන මාවත් දැනුවත් කල නිසා වෛද්‍ය වෘත්තියේ යෙදෙන මා හොඳින්ම දන්නා කෙනෙකුට ඒ අවශ්‍යතාවය ගැන කියන්න ගිහින් මට අහ ගන්න වුනේ "ඒ වගේ දරුවන් අරන් හදා ගන්න එක හරි භායානකයි, අනාගතේ ඒ දරුවොත් තමන්ගේ දෙමාපියන් වගේ හැසිරෙයි, ඒ නිසා තමන්ගේම දරුවෙක් හදා ගන්න එක තමයි හොඳ" කියා... ඒ උගත් කෙනෙක්ගේ මතය..

කාත් කවුරුවත් නැතුව අසරණ වෙන, එහෙමත් නැත්නම් දෙමාපියන්ගේ ආර්ථික සහ මානසික ගැටලු වලින් බැට කන දරුවන්ගෙන් මහණ වෙන හෝ නොවෙන ඕනම දරුවෙක් පිටුපස හරිම සංවේදි කතාවක් දිවෙන බව සමාජයක ඉන්න බහුතරයක් මිනිස්සු හිතා මතාම අමතක කරනවා කියලයි මට හිතෙන්නේ.. ඒ වගේම මේ සිවුරු යට බලෙන් හංගන්න හදන අහිංසක ජීවිත වල ඉරණම විසඳෙන හැටිත් ඉතාම ඛේදනියයි...

මේ දරුවන් දෙපිරිසම හිතා මතා කිසිම කෙනෙකුට වරදක් කරලා නැති උනත්, ඒ අයට අහිමි වෙන්නේ (වෙන්නේ නෙමේ අහිමි කරන්නේ ) තමන්ට උපතින් හිමි වන තමන්ගෙම ජීවිතය නේද කියලයි මට නම් හිතෙන්නේ..

හිස මුඩු කරලා කහ සිවුරක් ඇන්ඳ ගමන් මේ පුංචි දරුවන් (ලොකු අය වුනත්) කෙනෙක්ගෙන් වැඳුම් පිඳුම් ගන්න තරම් "වටිනා" කෙනෙක් කරන සමාජය, පාරක් අයිනේ වැරහැළි ඇඳගෙන ඉන්න දරුවෙක්ගේ මුණවත් බලන්නේ නෑ නේද.. කාටවත් වරදක් කරලා නැති මේ දරුවන් කොටස් දෙකට විදි දෙකකට සමාජය ඇයි සලකන්න පෙළඹිලා තියෙන්නේ.. ඔබට හිතෙන්නේ ඇයි ?


ප.ලි.: තමන්ගේ කැමැත්තෙන් ජීවිතයේ අනිත්‍ය වටහාගෙන මහණ වෙන දරුවන්ට මේ කතා බහ අඳාල නැහැ..


2 comments:

  1. පාරේතොටේ යන එන බොහෝ වෙලාවලදි දකින දෙයක් තමයි ජීවිතේ අගබාගය ගෙවන ඒ කිව්වෙ මගේ වයසේ අය වැරහැලි ඇඳගෙන ඈත බලාගෙන කවුරුදෝ එනකන් වගේ අසරණව ඉන්න එක...ඒ වගේ අයත් ඉන්නේ පොඩිනම ඉන්න තත්වයේමයි කියලත් හිතුන වාර අනන්තයි.
    දූ දරුවො ලොකු මහත් කරන්නැති
    උගන්නලා රජවරු කරන්නැති
    ඒ හීන හැබෑ වෙන්නත් ඇති
    ඒත් අපි තාමත් මහපාරේ....!

    කිසිකෙනෙක් තමන්ගේ තනි කැමැත්තෙන් පාරට වැටෙන්නෙත් නැතුව ඇති..!

    ReplyDelete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.