Friday, June 29, 2018

දෙවියනේ හොඳ වෙලාවට මට ඒ දවස් වල කෙලින් ඉන්න බැරි තරම් වැඩ තිබුනේ..

මිනිස්සු මුලින්ම කෙනෙක්ව ඈත ඉඳන් ඒ කෙනා කරන කියන දේවල් බලාගෙන නිහඬව සිටී.. ඉන් පසුව පොඩ්ඩක් ලඟට ඇවිත්  මොනවද කරන්නේ කොහොමද කතා කරන්නේ කියා හිතමින් බලාගෙන සිටී.. මේ හිතන වෙලාවේ ඉබේම තමන්ගේ මොන අවශ්‍යතාවයද    මේ කෙනාගෙන් කර ගන්න පුලුවන් කියා ද දහ අතේ සිතයි.. (නොසිතන අයත් ඇත හොඳේ..)

ඉන් පස්සේ හෙමින් හෙමින් ලං වෙන්න උපක්‍රම සොයමින් කතා කරන්න පටන් ගනී.. මේ උපක්‍රම අතර මුරුංගා අත්තේ තැබීම විශේෂම දෙයක්..මොකද ගොඩක් අයට කිරි ගහට ඇන්නා වගේ ඒ ක්‍රමය හරියන නිසා..ඒ ක්‍රමේ හරි ගියේ නැත්නම් තමන්ට ඒ කෙනාට කරන්න පුලුවන් උදව්  වගේම උපදෙස් ද කෝටියක් විතර කියන්න පටන් ගනී...

ඊට පස්සේ තමන්ගේ නැති බැරි කම්,අපහසුකම් ඒවාට හේතු කාරණාද සහිතව ඉතාම පැහැදිලිව වගේම තමන් වැරදිකරු නොවී ඉදිරිපත් කිරීමට සෑම උත්සහයක්ම ගනී.. සමහරු කියන විදිහට ඒ අය දරුවෝ එක් කෙනෙකුට වඩා හැදුව එකට වග කියන්න ඕනත් අහල පහළ ඉන්න අය..

ඔය අතරම අනිත් කෙනාගේ සියලු පුද්ගලික විස්තර ද අකුරක් නෑර දැන ගන්න ඕන කරන ප්‍රශ්න නිකම් කටේ දිවේ නොගැවී අහන්නේ හරියට ඒ විස්තර දැන ගන්න එක තමන්ගේ අයිතිවාසිකමක් කියා සිතා සිටින ලෙසිනි.. අනිත් කෙනා පැහැර හැරිය නොහැකි වගකීමකින් බැඳි ඉන්නවා අහන හැමදේටම ඇත්ත පැහැදිලිව විස්තර සහිතව කියන්න කියලා තමා මේ අය හිතාගෙන ඉන්නේ.. පුද්ගලිකත්වය කියා දෙයක් කිසිම දවසක කොහේදිවත් අහල දැකල නැති බව නම් සක් සුදක් සේ දිසේ...

මේ විදිහට ටිකෙන් ටික ලං වී තමන්ගේ කුමන අවශ්‍යතා මේ කෙනාගෙන් කරගන්න පුලුවන් ද කියා හරියටම නිගමනය කිරීමෙන් පසු නියම කාරණාවට බහින්නේ ආයේ ඒ කාරණාව නොකර බැරි තැනට ඒ කෙනාව පත් කිරීමෙන් පසුවයි.. එහෙම හරි තීරණයකට එන්න බැරි උනොත් අර මුලදි තමන්ව මුරුංගා අත්තේ තිබ්බේ මේ කෙනාමදැයි හිතෙන තරමේ ප්‍රකාශ ද තම ශ්‍රී මුඛයෙන් නිකුත් කරන්නට කිසිඳු අයුරකින් නොපැකිලෙන මේ මිනිසුන් අන්තිමේ මේ කතාවන් වල ආරම්භයට කිසිඳු අයුරකින් වගකිව නොයුතු අනිත් පුද්ගලයා තමන්ගේ හතුරෙකු කර ගන්නට තප්පරයක්වත් ප්‍රමාද වෙන්නේ නම් නැහැ..

මේ කතා බහ අතරතුර හරි නිගමනයකට එන්න නොහැකි උනොත් හැසිරෙන්නෙ ද පෙර කී ලෙසම තමන් නොව අනිත් කෙනා වැරදිකාරයෙක් කල හැකි ලෙස වීම ඉතාම සුලබය..සමහරු මූණටම අනිත් කෙනා වැරදිකරුවෙක් කරන අතර සමහරු මූණට මුකුත් නොයා තැන් තැන් වල ගිහින් වැරදිකරුවන් කරයි.. සමහරු මේ ක්‍රම දෙකම කිසිඳු අපහසුවකින් තොරවද කරනු බලා ගත හැකියි...

අපි හිතමුකො මේ වරෙන් ඔරෝ කතා බහෙන් පස්සේ අනිත් කෙනාගෙන් තමන්ට ගත හැකි දේවල් ගන්න ඉඩක් හදා ගත්තා කියා..ඉන් පස්සේ තමයි හරි හරි වැඩ වෙන්නේ...මේ වැඩ වලට මුහුණුපොතත් හරි හරියට උදව් කරන්න සැදි පැහැදි ඉන්නේ..

බැරි වෙලාවත් අනිත් කෙනාගෙන් තමන්ට ගන්න පුලුවන් දේ ගන්න බැරි උනොත් මුහුණු පොත හරහා තමයි හොඳම වැඩ ටික වෙන්නේ..මේ අයගේ තව සුවිශේෂි හැසිරීමක් තමයි අහල පහළදි දැක්කත් නොදැක්කා වගේ ගිහින් උදව්වක් ඕන උනු ගමන් ඇඟේ නඟින්න තරම් ලං වෙන එක..

මේ විදිහට එක්තරා උපන්දින සාදයකදි මාත් එක්ක බලෙන්ම කතා කරන්න ඇවිත් එදා රෑම මුහුණු පොතටත් මාව එකතු කර ගත්ත ඒ කෙනාගේ ඊලඟ ඉල්ලිම උනේ ඒ දින වල  මම කරමින් සිටි දිවා සුරැකුම් සහ පෙර පාසැල් ගැන පාඨමාලාවම ඒ කෙනත් කරන්න සිටින බව පවසා මා ලඟ තියන  ප්‍රශ්න පත්තර, උත්තර පත්තර, පොත්පත් ඇතුලු සියලු විස්තර  ඕන කියන එකයි.. දෙන්න පුලුවන්ද  කියා නෙමේ ඇහුවෙ.. කෙලින්ම දෙන්න..

ඒ කෙනාගේ හැසිරීම මුල සිටම නිහඬව බලාගෙන හිටිය මම මේ වටින් ගොඩින් එන්නේ කොහෙටද කියලා  පැහැදිලිවම දැක්ක නිසා ඒ වෙලාවේම ඒ කෙනාගේ email එකට සියලු විස්තර තිබූ මුලු folder එකම email  කලේ එක් එක් ආයතන වලින් කරන  මේ පාඨමාලා සම්පූර්ණයෙන්ම වෙනස් බවත් කියන ගමන්.. 

ඉන් පසුව ඔවුන්ගේ උපන්දින සාදයකටද මට ඇරයුම් කල අතර එහිදී ඔවුන් මගෙන් බලාපොරොත්තු වී තිබුනේ එන සියලු දරුවන් බලා ගන්නා "නැනි" කෙනෙකුගේ චරිතයක්.. එයට හේතුව මම ඒ පාඨමාලව ඒ වෙනකොට සම්පූර්ණ  කර සිටීම කියා මා දන්නේ පසු දිනක මා එසේ දරුවන් සියල්ල බලා නොගත් බවත්, මගේ දරුවා ගැන පමණක් බැලු බවත් මේ යුවළ හැම තැනම ගොස් කියා ඇති බව අම්මා ඇවිත් කිව් පසුවයි...ඔන්න ඔහොමයි අපේ මේ සිරි ලාංකිකයන්ගේ වැඩ සහ කිඩ..

මේ වගේ තවත් දෙයක් උනා, දැක්කම අහක බලාගෙන යන එක්තරා සිරි ලාංකික   යුවළක් හදිස්සියේම අපේ ගෙදර එන්න ඕන කියා බරටම තෑගි බෝග එහෙම අරගෙන දවසක් තකහනියෙම ඇවිත් කිව්වේ සල්ලි දෙන්නම් එයාලගේ දරුවව සතියට දවස් තුනක් පෙර පාසලෙන් හවස 3ට අරගෙන ඇවිත් ඒ අය  එනතුරු අපේ ගෙදර තියා ගන්නා ලෙසයි.. (මෙතනදි සල්ලි දෙන්නම් කියන එක කීප පාරක්ම කිව්ව විදිහ මතක කරන කොටත් හිතට හරිම අප්‍රසන්නයි)

මේ යුවළ ඇවිත් තිබුනේ හරියට මම  මේ වගේ සේවා සපයන බවට  දාලා තිබ්බ වෙළද දැන්වීමකට ආපු  සේවාදායකයෝ දෙන්නෙක් වගේ.. මම නෙමේ ඒ අයට උදව් කරන්නේ ඒ අය තමා මට ලොකුම ලොකු  උදව්වක් කරන්නේ කියන එක තමයි උඩට ගන්න හැදුවේ...

කොහොම හරි ඒ දිනවල මට වැඩ ගොඩක් තිබුන නිසා ඒ දේ කෙරුනේ නැහැ...ඒ ගැනත් තැන තැන ඒ යුවළ කියන්න ඇති...ලෝක පුදුමය තමයි මේ අය පාරේදි මඟ තොටේදි දැක්කට මාව නොදන්න එක සහ උදව් ඕන වෙනකොට මාව දන්න එක.. එක වගේ හත් දෙනෙක් ඉන්නවා කියනවනේ ලෝකේ, එහෙම දෙයක්වත් මෙතන තියනව ද කියලත් මට වෙලාවකට සැකයි..


මේ යුවළම අවුරුදු 2කට පෙර තිබ්බ පුතාගේ orientation එක දවසේදි මගේ පුතා ලඟ ඉඳගෙන හිටිය ඔවුන්ගේ දරුවාටද  මා chocolate දුන්නා කියා ඒ දරුවා hyper active  දරුවෙක් බවත් chocolate හොඳ නැති බවත් මා ගැන විශේෂ අවධානයකින් සිටින ලෙසත් මේ පාසැලේ විදුහල්පති ඇතුලු ගුරු මණ්ඩලය දැනුවත් කරන්න අමතක කරලා තිබ්බේ නැති බව මම දැන ගත්තේ, ගිය වසරේ  පාසැල ආරම්භ කල පසු එක් ගුරුතුමියක් මට ඒ ගැන පුද්ගලිකව කියා කිසිවක් කිසිඳු දරුවෙකුට නොදෙන ලෙස පැවසු පසුවයි..(මම මගේ පැත්තෙන් සිදු වූ දේ පැහැදිලි කල පසු ගුරුතුමිය වටහා ගත්තා තිරය පිටුපස මොකද්ද වෙන්නේ කියන එක, ඇය මට කිව්වේ ඒ පිළිබඳව ඉන් එහාට සිතීම අනවශ්‍ය බවයි..)

දැන් එතකොට ටික කාලෙකට කලින් අපේ ගෙදර ඇවිත්  මට පෙර පාසලෙන් අරන් එන්න කිව්වේ hyper active දරුවෙක් ද ප්‍රතිකාර අවශ්‍ය,  දෙවියනේ හොඳ වෙලාවට මට ඒ දවස් වල කෙලින් ඉන්න බැරි තරම් වැඩ තිබුනේ.. නැත්නම් මම ඇත්තටම ඒ උදව්ව සල්ලි නොගෙනම කරන්න ගිහින් වැටෙන්නේ ලොකු අමාරුවක..මොකද මගේ පුතත් ඒ කාලේ පෙර පාසැල් යන නිසා කොහේ ගියත් හවස 3 වෙද්දි මම ගෙදර සතියේ දවස් පහේම..හැබැයි එකම පෙර පාසැලට නෙමේ මේ දරුවෝ දෙන්නා ගියේ..

ඒ සිදුවීමත් එක්කම බොරු යාලුකම් වලින් ඈත් වී ඉන්න මම කැමැතියි කියා කෙලින්ම  කියූ පසු මේ යුවළවල් දෙකින් පළමු යුවළ වැසි දිනක පුංචි දරුවන් දෙදෙනාද සමඟ කිසිඳු ආරාධනයකින් තොරව අපේ ගෙදර ලඟට ඇවිත් දොර ඇර ගෙට ගන්නා තුරුම සීනුව නාද කල අතර අනිත් යුවළ ඉස්සර දුටු තැන නොදැක්කා සේ ගියාට දැන් යන්නේ මා දෙස හොඳින් බලා රවාගෙන ගස්සගෙන...

ප.ලි.: සැබෑ යහළු/යෙහෙළියන්ට මේ ලිපියේ ඇති කිසිම දෙයක් අඳාල නොවන බව ද, එවැනි යහළු/යෙහෙළියෝ කල් මරමින් ඉන්නේ නැති අතර ඕන උදව්ව ගහෙන් ගෙඩි එන්නාක් මෙන් කියන අතර උදව්ව නොකෙරුනද ඒ ගැන ඉන් එහාට කතා කරන්නේද නැති අතර ආපහු උදව්වක් අවශ්‍ය වූ විටද පෙර ලෙසම කිසිඳු පැකිළිමකින් තොරව ඉල්ලන බව මම දන්නේ අත්දැකීමෙන්..

ඒ අතර සමහර යහළු/යෙහෙළියෝ ඉන්නවා කිව්ව පමාවට උදව් කරන බව හොඳින්ම පේන්න තිබ්බත් වැඩ අධික කාලයට කිසිවක් නොකියන මොන තරම් ඒ උදව්ව ඒ අයට අවශ්‍ය උනත්..අපේ අම්මාට අනූව නම් මේ සියලු ගැටලු ඇති වන්නේ මගේ වරදින් මිස මේ කිසිම කෙනෙක් වැරදි නැහැ(ලු)...කොහොමත් අපේ අම්මට මේ ලෝකේ හැමෝම හරි,අපි කරන්න ඕන ඉවසන එක කියලයි හැමදාම කියන්නේ..

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.