ලංකාවේ
විතරක් නෙමේ ලංකාවෙන් එළියට ආපු බහුතරයක් වෙන රටවල් වලදිත් හැසිරෙන්නේ
මෙහෙම තමයි ගොඩක් විට..ඉගෙන ගෙන ලොකු මිනිහෙක් වෙලා සල්ලි හම්බ කිරීම මිසක්
හොඳ මිනිහෙක් වෙලා අනිත් අයට උදව් කරන සංවේදි මිනිහෙක් කරන්න උනන්දු වෙන
අය හරිම අඩුයි.. මට හිතෙන්නේ මේක එන්නේ ජාන වලින්ම වෙන්න ඇති.. එකිනෙකා
පරදවන්න මිසක් එකතු වීමක් දකින්න හරිම අමාරුයි. එක් කෙනෙකුගෙ සාර්ථකත්වය අනිත් කෙනාට දරන්න බැ.. ඒ කෙනාට ඕන අනිත් කෙනාට වඩා අඩියක් හරි ඉහලින් ඉන්න..
ලංකාවේ
සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමය යටතේ වැඩියෙන්ම අසාධාරණයට පත් වන්නේ ඉතාම දක්ෂ
බුද්ධිමත් දරුවන් කියායි මට හිතෙන්නේ.. ඔවුන් ඇතුලේ ජීවත් වන සංවේදි
ජීවීයාට එළියට එන්න ඉඩක් ලැබෙන්නේම නැහැ
ලකුණු පසුපස නොව දැනුම පසුපස හඹායන දරුවන් බිහි කරමු එකමුතුව, තමන් දන්න
දේ අන් අයට ලෝබ නැතුව කියා දෙන, අන් අයව අගය කරන, අන් අයගේ සාර්ථකත්වයට
ඉරිසියා නොකරන, තමන්ගෙ අඩු පාඩු පිලිගෙන ඒවා සඟවා නොගෙන හදා ගැනීමට තරම්
නිහතමානි දරුවන් බිහි කරන්න ඕන වෙන්නේ එවැනි ආකල්පමය වෙනසක් ඇති දෙමාපියන්
වැඩිහිටියන් පමණයි.. මෙතැන් සිට උපුටා ගැනීමකි...
( නොපෙනෙන පැතිකඩක්..)
ගම කොහෙද Doctor ?
කුලියාපිටියෙ.!
ඒ කොහෙද Doctor ??
ගම්පහ පැත්තෙද ?
අද දින....
ගම කොහෙද Doctor ?
කුලියාපිටියෙ.!
ෂා .ෂෝක්නේ ..!!
මේ පාරත් ශිෂ්‍යත්වෙ පලවෙනියා එහෙද ?
නෑ..මේ පාර හතර වෙනියා....!
කුලියාපිටිය තිබෙනා තැන ගැන දැන් සිතියම් පෙන්නා කියාදිය යුතු නැත. නම කියූ පමනින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ලංකාවේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල උපරිම අරගන්නා පාසැල් ඇති නගරය බව සියල්ලෝම දනිති. මමද ඒ ගැන සතුටු වෙමි. ඒ දැන් මා ඉන්නා ඉස්පිරිතාලය ගැන අමුතුවෙන් කියාදිය යුතු නැති නිසාය.දරුවන් ඉහල ප්‍රතිඵල ගන්නා මේ නගරයේ මතුපිටින් නොපෙනෙන මහා ඛේදවාචකයක් ඇත. එය වසරින් වසර ඔඩු දුවා දරුවන්ගේ ළමා ලෝකය විනාශ කරන බැවින් ඒ ගැන විවෘතව කතා කරන්නට සිතුනි. උදාහරණ දෙකකින් මම ඒ ගැන ඔබට පහදමි. මේ ළමා වාට්ටුවක වැඩ කරන වෛද්‍යවරයකු ලෙස මා දුටු සත්‍ය සිදුවීම්ය.
දිනක් සායනයට පැමිනි වයස අවුරුදු දහයක දියනියකි. ඇය තදබල හිසරදයකින් පෙලේ.
ශාරීරික අසනීපයක් හෝ මොළය සම්බන්ධ ස්නායු දුර්වලතාවයක් ඇය පරීක්ෂා
කිරීමෙන් පසු මට සොයා ගත නොහැකි විය. ඇය මා අසලම නිදිකිරා වැටේ.
" දුව නිදාගන්නෙ කීයටද ? "
" එයා දහය වෙනකොට නිදියනවා ඉස්කෝලෙ වැඩ කරලා."
" එතකොට නැගිටින්නෙ ? "
" පාන්දර හතරට "
" ඇයි එච්චර උදෙන් නැගිටින්නෙ පාඩම් කරනවද ? "
" නෑ . පාන්දර පහමාරට ඉස්කෝලෙ පන්ති පටන්ගන්නවනේ ඒකයි. "
මට මෙය ඇදහිය නොහැකි තරම්ය.
" පාන්දර පහමාරෙ ඉදන් සතියෙ දවස් පහේම පන්තිද ?"
"ඔව් ඩොක්ටර්. හවස පහ වෙනකම් තියෙනවා හවස පන්ති "
තවත් දවසක සායනයට පැමිනි වයස අවුරුදු නවයක පුතෙකි. ඔහුට තදින් අැදුම රෝගය උත්සන්නව තිබින.
" ඇයි පුතාගෙ ඉන්හේලර් එක පාවිච්චි කලේ නැද්ද.? "
" පාවිච්චි කලා.ඒත් මෙයා උදේ තුනට ඇහැරෙන නිසා උදේට හතිය වැඩිවෙනවා"
" ඇයි පාන්දර තුනට ඇහැරෙන්නෙ ? "
" පාඩම් කරන්න නැගිටිනවා "
" උදේ නැගිටින එක හොදයි. ඒත් ඔච්චර උදේ නැගිටින එකනම් හොද නෑ මේ දරුවන්ට"
මම දෙමව්පියන්ට උපදෙස් දුනිමි. විශ්ව විද්‍යාලයේදීවත් මම පාඩම් කරන්නට එතරම් අළුයම අවදිව නැත .
" මෙයාලගෙ පන්තියෙ ටීචර් උදේ පාන්දර තුනට පන්තියෙ ලමයි ඔක්කොටම call කරලා ඇහැරවනවනේ ඩොක්ටර් ."
මම පුදුම වුනෙමි . එතරම් උනන්දුවක් ඇති ගුරුවරු ...!
" ඉතින් ඇහැරුනා කියල බොරුවක් කියලා මෙයාට නිදාගන්න දෙන්නකෝ."
මම යෝජනා කලෙමි.
" බෑනෙ ඩොක්ටර් . එතකොට ටීචර් පුතාට phone එක දෙන්න කියනවා."
මේ සත්‍ය කතා දෙකකි. කිසිදු අතිශෝක්තියක් නොමැත. ශිෂ්‍යත්ව විභාගය දරුවන්ගේ ජීවිත මොනතරම් බිලිගෙන ඇත්ද යන්නට මෙයට වඩා තවත් උදාහරණ අවැසි නැත. කුලියාපිටියේ ගුරුවරුන් අතරද පාසැල් අතරද ඇත්තේ මහා තරගයකි. එකිනෙකා පරයා
ප්‍රතිඵල පෙන්වා ජයගන්නට තරගයකි.දෙමව්පියෝද එයට නිරායාසයෙන්ම ගොදුරුව ඇත. මේ සියල්ලන්ගේම තරගය නිසා පීඩාවට පත්ව ඇත්තේ අහිංසක දරුවන්ය. බොයිලර් කුකුලන් සහ ශිෂ්‍යත්වයට පුහුනු කරන දරුවකු අතර වෙනසක් නැත.
ඔවුනට ගහකොල තහනම්ය. අව්ව වැස්ස තහනම්ය . වෙල්යායේ සරුංගල් තහනම්ය. ආච්චි සීයලා සමඟ කතා තහනම්ය. කොටින්ම සුන්දර සිහින දකිමින් එලිවෙනතුරු නිදන්නටද තහනම්ය.....!
ඔවුන් මල් පිපෙන හැටි දැක නැත. කුරුල්ලන් පියාඹනු දැක නැත. වලාකුලක හැඩ දැක නැත. සුලං පොදක සිසිලස විද නැත. ක්‍රිකට් පිත්තක් අල්ලා නැත. ඇලක මාළුන් පිහිනනු දැක නැත..... එහෙත්, ඔවුන් හිමිදිරි උදැසන ගැන රචනා ලියති. දෙමව්පියන්ට සැලකීම ගැනද ලියති. නිවාඩු කාලය ගැන ලියති. අානාගතය ගැනද ලියති....!
රටේ අනාගත මල් කැකුළු වලට ළමා කාලයක් අහිමිය. ඔවුන් වයසට ගිය කලක අාදරයෙන් සිහිපත් කරනට ළමා කාලයක් නැත. අනාගතයේ බිහිවන මිනිසුන් යන්තර වැනි උගත් මිනිසුන් වනු ඇත. එහෙත් ඔවුන්ගෙන් යහපත් ගුණදම් මනුදම් ඇති මිනිසුන් බිහි නොවනු ඇත. විවිධ ශාරීරික රෝග ඇති අසමතුලිත මානසිකත්ව ඇති මිනිසුන් අනාගතයට අපි බිහිකරමින් සිටිමු . ඒ ශිෂ්‍යත්ව විභාගයේ අනිටු ප්‍රතිඵලය. ලමා රෝග සායනවල රතු නොම්මර ගෙන සතිපතා එකතු වන දරුවන් බහුතරයකට මානසික අාතතිය ඇති බව අප වටහා ගෙන ඇත්තෙමු.
සුව නොවන කල් පවතින හිසරදය, නින්ද නොයෑම, අධික ලෙස තරහ යෑම, අන් දරුවන්
සමඟ සුහදත්වය ගොඩනගාගත නොහැකිවීම,කෑම අරුචිය,උදරාබාධ ශිෂ්‍යත්වයට මුහන
දෙන දරුවන් අතර සුලභ රෝග ලක්ෂණය. මේ දරුවන්ගේ අනාගතය කෙබදු වේද ? ඔවුන් දිනක දක්ෂ උගත් මිනිසුන් වනු ඇත.එහෙත් ඔවුන් පෙරලා මිනිසුන්ට ආදරය
කරන්නට උගෙන නැත. සංවෙිදී හදවත් අප තනා නැත. අනෙකා පරයා ඉහලටම යන්නට
ඉගැන්නුවා මිස පරදින දිනක නැගිටින්න අප කියාදී නැත. අන් අයකුට උදව්
කරන්නට, අන් අයගේ ජයග්‍රහණයකදි සතුටු වන්නට අප කියදී නැත...හැමදාමත් ලකුණක්
හෝ වැඩිපුර ගන්නට අපි ඔවුන්ව උසි ගන්නවා ඇත. ජිවිතය යනු ලකුණු නොව
මිනිසත්කම බව අප ඔවුන්ට උගන්වා නැත.
ඉදින් අනාගතයේ සියදිවි නසා
ගැනීම් දිනපතා අප අසනු ඇත. දෙම්පියන්ට ජීවත් වන්නට මහළු මඩම් පාසල් වලටත්
වඩා ඉදිකිරීමට සිදුවනු ඇත.රෝහල් වල සායන වල තරුණ ජනයා පිරි යනු ඇත. කුලියාපිටියද දිනක එවන් මිනිසුන් පිරුන නගරයක් වනු ඇත. එහෙත් එකලද ලංකාවේ ඉහලම ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඇති නගරයද එයම වනු ඇත.
(උපුටා ගැනීම අවසන්)
ප.ලි: දරුවන්ට ඇත්තටම (කොන්දේසි විරහිතව ) ආදරය කරන දෙමාපියන් වැඩිහිටියන් ඉතාම සීග්‍රයෙන් වද වී යන බවයි මට නම් දැනෙන්නේ..
No comments:
Post a Comment