Monday, December 3, 2018

මෙසේ විය හැකි බව එසේ ලියා තැබුවෙමි...

ගෙවුනු වසර තුන යනු මගේ ජීවිතයට මින් පෙර කිසිඳා ගමන් නොකල මාවත් විවර කල වසර තුනකි..එහි විශේෂත්වය නම් මේ එකඳු මාවතක හෝ අනිවාර්යයෙන් මා යා යුතු යැයි බල කරන කිසිවක් කිසිවෙක් නොමැති වීමයි..කෙටියෙන් කිව්වොත් පුංචි කාලේ සිට සටන් කල අරගල කල කිසිවෙකුගෙන් කිසිවක් නොවිමසා හිතට හිතුනු දේ කරන්න හිතන (හිතුවක්කාර) මගේ හිතට ලැබුනු පූර්ණ නිදහසකි..නමුත් ඒ නිදහස මට අවශ්ය නැති මොහොතක.. ජීවිතය කොහොමත් දෙයක් අපිට ලබා දෙන්නේ අපිට ඕන වෙලාවට නොව ජීවිතයට ඕන වෙලාවට කියන එක කාලය දිහා ආපස්සට හැරි බලන විට අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙමේ..

නිදහස ඉල්ලා මා අරගල කල කිසිම තැනකදි කිසිවෙකුගෙන් මට නොලැබුනු නිදහස මට අවශ්ය නැති මොහොතක ජීවිතය විසින්ම ලබා දෙද්දි දෙගිඩියාවෙන් නමුත් දෝත පා ඒ නිදහස පිළිගත් බව නම් නොකියාම බැහැ..කිසිවෙකුගෙන් නොවිමසා තීරණ ගන්න වගේම ගන්නා තීරණ ප්රායෝගිකවම ක්රියාත්මක කරන්න කිසිවෙකුගෙන් බාදාවක් නැති වීම කියන්නේම හරි භයානක දෙයක් පාලනය නුහුරු නම් හිතකට .. විශේෂයෙන් අපෙන් තවමත් පුර්ණ කාලීනව යැපෙන දරුවන් ඉන්න වෙලාවක..

පහුගිය වසර 3නේම මට සමීප කිසිවෙකු මා ගන්නා තීරණ වලට එකහෙලාම විරුද්ධ උනේ නැති මුත් එකහෙලාම එකඟ වුයේද නැත්තේ කිසිම දිනක ඔවුන් මා නිදහස් පුද්ගලයෙකු ලෙස දැක නොතිබූ නිසා කියා දැන් මට සිතේ..මා බොහෝ විට මට පෙර අනුන් (මේ අනුන් කියන වචනය ඇතුලේ වැඩි ඉඩ ප්රමාණයක් බලෙන් මෙන් වෙන් කර ගෙන ඇත්තේ මගේ අම්මා ) ගැන සිතා මගේ නිදහස විහින් අහුරා ගත් කෙනෙකු වීම ඊට හේතු විය හැකි බව මට සිතේ..

එසේ නිදහස විහින් අහුරා ගත් කල පිටට පෙනෙනුයේ කිසිවක් කල නොහැකි තම පය පාමුළට ලැබෙන දෙයකින් සැනසී යැපෙන්නියක ලෙස ජීවිතය ගත කිරීමට ඉපදී ඇති හරිම කම්මැලි ජීවය සිඳුනු ප්රාණියෙකු ලෙස බැවින් ජීවිතය විසින් මා සැමදා ඉල්ලා සිටි (අරගල කල ) පූර්ණ නිදහස නොසිතූ මොහොතක ලැබුනු පසු කිසිවෙකු මා පිළිබඳ වැඩි විස්වාසයක් නොතබන්නේ මේ නම් මැයගේ අවසානය බව යටි හිතින් සිතමින් බව රහසක් නොවේ මට..

නමුත් මේ නිදහස ඉල්ලා සිටි යොවුන් අවධියේ මෙන් වගකීම් නොමැති නිදහස් කිරිල්ලියක නොවුනත් ජීවිතය ලබා දුන් (පූර්ණ ) නිදහස කෙසේ නම් අත් හරින්න ද..මුලු ජීවිතය පුරාම පැතු එකම දෙය එය වූ කල..දරුවෙකුගේ වගකීම ද තනි උරහිසට දැනෙද්දි දිනූ නිදහස අබියස සතුටට වගේම දුකටත් දෙකොපුල් දිඟේ වරින් වර රූ රා වැටෙන සීතල කඳුලු වැල් දිහා බලන්න කාලයක් වෙන් කරන්නත් මට පුලුවන් උනේ මා ගැන හේතු විරහිතව අවිස්වාස කල මිනිස් හිත් නිසා බව නම් දෙවරක් නොසිතාම කියන්න හැකි වීමම දෑසට තවත් කඳුලු එකතු කරන හේතුවක්.. එනමුත් ජීවිතය දෙයක් ලබා දෙන්නේ සුදුසුම වෙලාවට බැවින් කඳුලු අතරින් හිනා වීම සිතූ තරම් අපහසු නැහැ කියා දැනීම මුවඟට එක් කරන්නේ හිනාවක්..

එක්තරා පුද්ගලයෙකු ලියා තිබුනා කඳුලත් හිනාවත් එකට එක් වන්නේ ඉතාම කලාතුරකින් බවත් එසේ එක් වූ දින විඳින්නේ ඉතාම මිහිරි හැඟිමක් බවත්.. මම ද එය අත්විඳිමින් සිටිමි..තනිව තීරණ ගන්න පා එසවූ ඒ අතීතයේ සිට අද දක්වාම ඉතාම සාර්ථකව ඉතාම සමබරව මගෙත් මගෙන් පූර්ණ කාලීනව යැපෙන මපුතුගෙ ජීවිතයත් ඒ විවර වු නව මාවත් දිඟේ අරන් යන්නේ එකම එක අරමුණක් හිතේ නොමැකෙන ලෙස සටහන් කර ගෙනයි.. ඒ අතීතය සිහිනයක් පමණක් නොවී සතුට මේ යන ගමන අවසානයේ හමු වේවා යන්නයි මගේ පමණක් නොව අන් අයගේත්...



පලි.: මීට වසර 9කට පෙර මේ සියලු සිදුවීම් සිදු වීමට පෙර එසේ විය හැකි බව මා ලියූ කුඩා සටහනක් ද එයින් පසු ඒ පොතේ පිටු හිස් බවද දන්නා එක් පුද්ගලයකු මා දනිමි.. ඒ වෙන කිසිවෙක් නොව ඉතා කෙටි ඇසුරකින් පසු මා ලියන බව දැනගෙන කහ පැහැති ගනකම් පිට කවරයක් ඇති සුදු පැහැති හිස් පිටු ඇති ඒ සටහන් පොත තෑගි කල පුද්ගලයා පමණි දන්නේ මෙසේ විය හැකි බව එසේ ලියා තබා මා ඒ පොත වසා දැමූ බව..

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.