Wednesday, December 5, 2018

රතු රෝස...

ඕනම මිනිස් සමාජයක කාලයක සිට ගොඩ නැඟිලා තියන සමාජ ආකල්ප, සංකල්ප (ආගම් ද ඇතුලුව) තිබුනේ නැත්නම් මේ වෙනකොට මිනිස් වර්ගයාත් වද වී ගොස් බොහෝ කල් කියා මට සිතේ..(ඒ වගේම මේ කිසිවක් නැතිවද මිනිසාට ගමනක් ඇති බවද මම දකිමි සිහියෙන් යා හැකි නම් ඉදිරිය දකිමින්..)

මේ සියල්ල පසෙකින් තබා නිදහස් මනසකින් බැලු විට පෙනෙන දෙයක් නම්, එක් එක් මිනිසාගේ මානසික මට්ටම මේ මිනිස් ජාලය තුල සැරිසරන ආකාරය අනූව මුලු මිනිස් සමාජයම එකම විට එක් එක් අතට ගමන් කරන බවයි..හරියට දම්වැලක පුරුක් වගේ හැම කෙනෙක්ම ඒ ගමනට ඉතා කුඩා හෝ බලපෑමක් කරමින් සිටි හැම මොහොතකම..එහි හොඳක් හෝ නරකක් කියන්න මා නම් හදිස්සි නොවන්නේ එක් එක් මිනිසා ගැන නොව සමස්තය ගැන මා නිතර සිතන බැවිනි.. ඒ ගැන නිසි අවබෝධයක් ඇති මිනිසුන් බහුතරයක් වේ නම් මිනිසාට කල නොහැකි දෙයක් නැතැයි මට සිතේ..

මිනිසුන්ගේ මොළ සේදිම ඉතා පහසු කරුණකි ඒ පිළිබඳ උපතින් අවබෝධයක් ලැබෙන මිනිසෙකුට.. දැනුම යනු අතුරු පසක් පමණි එවැනි කෙනෙකුට..අතීතයෙන් ඒ සඳහා ඕනෑ තරම් සාක්ෂි සොයා ගත හැක. වේදනාවක් ගෙන දෙන මිනිස් ක්රියාකාරකම් ද වේදනා රහිත බව එවැනි මිනිසුන් බහුතර මිනිසාගෙ මොළයට ඇතුලු කල පසු වේදනාවක් දැනුනද මිනිසා ඒ වේදනාව සැණෙකින් අමතක කරන්නේ තමාට වඩා අනෙකා ගැන ඇති විස්වාසය මත වගේම බහුතර මතයට එපිටින් යාමට ඇති බය නිසා කියලයි මට හිතෙන්නේ..අනිත් සත්තු වගේම මිනිස් සතාද තම වර්ගයා ඉදිරියේ කොන් වීමට දක්වන්නේ තදබල අකමැත්තක්..

එසේ කොන් නොවීමට කල නොහැකි කිසිවක් මිනිසාට නැත..ඒ කිව්වේ පිටට පෙනෙන්නට හෝ බහුතර මතයට හිස නැමීම සඳහ අවශ්ය කරන රඟපෑමේ කෙළ පැමිණියෙකි මිනිසා..ඇතුලාන්තය ඊට හාත්පසින්ම වෙනස් බව තමා දන්නා බවද ටික කලකින් තමන්ටම අමතක වී යන්නේ තමන් තමන් තුලම අතරමන් කරවමින් කියා මට සිතේ.. ඉන් පසු බිහිවන්නේ තමන් තුලින් ස්වාධීනව අලුතින් හිතන්න හැකියාවක් නැති මිනිසුන් කියා මට සිතේ..හැම විටම අරයා කිව්ව මෙයා කිව්ව අරකෙ මෙහෙම තිබ්බ මෙකේ මෙහෙම තිබ්බා කියා කියනු සුලබ වනු ඇත..

අවසානයේ තනිව සිතා තමන්ට මෙන්ම අන් අයටද ගැලපෙන හිතකර දේවල් කල හැකි මිනිස් මනස ඉල්ලා සිටිනුයේ කවුරුන් හෝ තමන්ව මුලු ජීවිත කාලයම පාලනය කරන මෙන් කියා මට සිතේ..ඒ වෙන කිසිවක් නිසා නොව ඇති සියල්ල අමතක කර (අත් හැර) නැත්නම් පසෙකින් තබා අලුතින් හිතන්න නොදන්නා කම්මැලි මිනිසුන් පිරිසක් නොකඩවා බිහි වීමෙනි..

අනාගතයේ උදෑසන අවදි වූ විට හරියට මැෂින් එකක මැනුවල් එකක් කියවා ක්රියාත්මක කරනවාක් මෙන් මිනිසුන් ද එදිනෙදා ජීවිතය ගත කරනු ඇතැයි මට සිතෙන්නේ කාලයක් මිනිසුන්ගේ ක්රියාකාරකම් බලා සිටිමෙන්මයි..(මේ කාලය මගේ ජීවිත කාලයට වඩා වැඩි බව මට නිතර සිතෙන දෙයක්.. )

එසේ වීම නවතා ගත හැකි අතලොස්සක් මිනිසුන් ද මම දකිමි..ඒ අය දැනට වර්තමාන සමාජයේ මතුපිටින් බැලු විට නම් පෙනෙන්නේ කිසිම වැඩකට නැති අය මෙනි..ඒ ඔවුන් මතුපිටට පෙනෙන රැළි වලට කිසිඳු අයුරකින් තම දායකත්වය නොදෙන බැවිනි..

ප.ලි.: මේ අදහස් ලිව්වේ කලකට ඉහත විකාශනය වු රතු රෝස නාට්යයේ පියා සහ දියණිය අතර කතා බහක් අහම්බෙන් නැවත බලන්න ලැබුනු මොහොතක..එහි ඒ පියා කියනවා මේ ලෝකේ හැම කෙනෙක්ම තමන් නොකල වරදකට දඬුවම් ලබමින් සිටින බවත් එය වටහාගන්න කියාත්..එවිට බොහෝ දේ නිරවුල් වනු ඇති බවත්..

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.