Tuesday, December 11, 2018

ගිය හකුරට නාඬන්නේ..තියන හකුර රැක ගන්නේ...

ඉපදී පළමු සති දෙකින් පසු පිළිවෙලකට ටිකෙන් ටික කෑම බීම පහසුවෙන් කවන්න පුලුවන් උනු එහෙත් මාස 8 දී සංක්‍රමණයෙන් පසු එක් වරම කෑම අරහන් වුනු  අවුරුදු 2කෙදි පමණ කෑම කැවීම ඉතා අපහසු වූ පුංචි පුතෙක්  තමයි මට හිටියේ.. පුතා කාලයක දි පුරුදු වෙලා හිටියා මම දෙන දෙන දේ විසි කරන්න..කවන කවන දේ එළියට දාන්න..

(ඕනම) පුංචි දරුවෙක් නොකා කිරිත් නොබි ඉන්නවා කියන්නේ මට නම්   දරා ගන්න අපහසු මානසික පීඩාවක් අදටත්.(බඩගින්නේ ඉන්න දරුවන්ගේ දිගට හරහට photo ගන්නේ කොහොමද මන්දා මිනිස්සූ මට මතකයි සම්මානලාභි පින්තූරයකුත්)  ඒ පීඩනය දරා ගන්න මොන තරම් අපහසු උනත් එක දවසක් කවන එක නතර කරලා හිතා මතාම අපි දෙන්නා ලඟ ඒ වෙලාවේ තිබුන හැමදේම මම පුතාගේ අතට දුන්නා බිම දාන්න එයාටම එපා වෙනකන්.. (දරුවෙක් ඉන්න අහල පහලක මම තියන්නේ නෑ ඒ දරුවට දෙන්න බැරි දෙයක්.. අඩු ගානේ ඇස් මානේ වත්..ගොඩක් ගෙවල් දෙමාපියන්ගේ පමණයි..දරුවන් ඇතුලත් කරගෙන නැහැ කියල මට හිතෙනවා දකිද්දි..)

මෙහෙම කරද්දි ටික දවසකින් එයාටම එපා උනා මම දෙන දේවල් විසි කරන්න..කැමැත්තෙන් දුන්න නිසා මගේ හිතේ පීඩනයක් තරහක් ඇති උනෙත් නැහැ. ඒත් හැබැයි පුතා කෑවේ නම් නැහැ..

මට ඒ කාලයේ ලැබුනු උපදෙස් තමයි කවන්න එපා..තනියම කන්න දෙන්න..එයා කැමති දෙයක් කන්න දෙන්න, බඩගිනි උනාම කන්න පුරුදු වෙයි.. (අති සාමාන්‍ය උපදෙස්,කිසිම කෙනෙක් ආසාවට හිටියේ නැහැ මේ කොටුවෙන් එහාට ගිහින් උපදෙසක් දෙන) ඒත් මට එහෙම කරන්න හිතුනෙම නැහැ..තනියම ගැටලු නැතුව කන දවසක් එනකම් බලාගෙන ඉන්න ඇයි මම අකමැති කියන එක අහන්න කිසිම කෙනෙකුට ඕන කමක් තිබ්බෙත්  නැහැ මේ උපදෙස් දුන්නු..

එදා ඒ එක් කෙනෙක් හරි ඇහුවා නම් ඇයි ඔයා මේ තරම් අකමැති බලාගෙන ඉන්න කියන එකට උත්තරයක් තමයි අද මට ලියන්න හිතුනේ..මාස 8න් පටන් ගත්ත මේ නොකෑම ජන්මෙට වැඩිය පුරුද්ද ලොකු නිසාම පුරුද්දකට යනවට මගේ තිබුනේ ලොකු අකමැත්තක්.. ඒ මට මගේ අතීතය ඉතා හොඳින් මතක නිසා.

අම්මයි තාත්තයි කවන කාලේ ඇරෙන්න පහුගිය අවුරුදු 3කට කලින් කාල පරාසයේ මාව දැකලා තියන ඕනම කෙනෙක් දන්නවා මම කොයි තරම් කෙට්ටුද කියන එක.. ඇයි පුංචි කාලේ බෝලයක් වගේ හිටිය  මම කාලයත් එක්ක කෙට්ටු වුනේ.. ටිකෙන් ටික අම්මයි තාත්තයි කවන්නේ නැතුව මට තනියම කන්න කියද්දි තිබ්බ අකමැත්ත නිසාම මම පුරුදු උනා නොකා ඉන්න..කෑවේ මම ආස කරන පොඩි පොඩි දේවල් විතරමයි..බල කලාට, කෑම නොකෑවොත් මොකද වෙන්නේ කියන එක කිව්වට, අනිත් අය කෑවට මට කන්න හිතුනෙම නැහැ තනියම..එහෙම කාලයක් ගිහාම ඕන වෙලාවක් ඉන්න පුලුවන් පොඩි දෙයක් කාල..බඩගින්න කියන දැනීමට මොළය හුරු වෙනවා තව දුරටත් ඒ හැඟිමට ඇහුම්කන් නොදෙන්න..

මට ඕන වුනේ නැ මගේ පුතත් මන් ගිය පාරේම යවන්න... මට ඕන උනා එයාව  අලුත් පාරක යවන්න...ඒ කිව්වේ කෑම කන්න තමන්ටම ඕනකමක් ඇති කරවන්න වැඩි කල් නොයවා..අද මට ඉන්නවා එහෙම දරුවෙක්..මටත් කෑම  ගැන  උපදෙස් දෙන, විවිධ දේවල් කාල බලන්න කියලා මාවත් උනන්දු කරවන දරුවෙක් විදිහට අද මම දකින්නේ මීට අවුරුදු 3කට 4කට කලින් දැක්ක දරුවම ද කියලා මට නම් සැකයකුත් හිතෙනවා වෙලාවකට...

කොහොම උනත් ඒ  එදා උපදෙස්  දුන්න කිසිම කෙනෙකුට ඇහුම්කන් නොදුන්න මම, අත ඇරලා දාන්නේ නැතුව කාලයත් එක්ක කල ලොකුම ලොකු project එකක ප්‍රතිඵලයක් බව නම් නොකියාම බැහැ..මේ  ඇහුම්කන් නොදීම නිසාම මාත් එක්ක තිබ්බ ගනුදෙනු සම්පූර්ණයෙන් නවතා දැමු අය ඉන්නවා අතීතයේ මගේ අදහස් නොවිමසාම ඒකපාර්ශවීයව...හැබැයි ඒ අය වෙනුවට අලුත් පාරක යන්න උදව් කරන,අලුතෙන් හිතන්න කැමති,  වෙන අය මම හොයා ගත්තා. පරණ පාරෙම යන අයට එහෙම්ම යන්න දෙන එක තමයි වඩාත් හොඳ..ගිය හකුරට අඬන්න එපා කවදාවත්,එතකොට තියන හකුර රැක ගන්නත් කාලය මදි..

ඒ පරණ පාරේ යන අයට වගේම අනිත් හැමෝටමත්  මට කියන්නේ තියෙන්නේ WHEN YOU BELIEVE  MIRACLE WILL HAPPEN..  කියල නම් නෙමේ... ඔබට ඕන කරන තැනට යන්න තියෙන්න ඕන සැලසුමක්.. කොහෙද දන්නවද මේ සැලැසුම තියෙන්න ඕන. ඔබේ හිතේ.. ඒ සැලසුම වචන වලට පෙරලන්න හදිස්සි වෙන්න එපා.. මොකද අතීතය දිහා බලාගෙන අනාගතය ගැන වර්තමානයේ අපි අඳින (අසම්පූර්ණ) සැලසුම් ගැන විස්වාස කරන්න කවුරුවත් කැමති නැහැ.. ඒ නිසා පුලුවන් තරම් නිහඬව තමන්ගේ හිතේ ඇඳ ගන්න.. ඒ අනූව ක්‍රියා කරන්න..ඒ සැලසුම අනූව යන්න..අලුතෙන් හිතන්න පුලුවන් අය ලං කර ගන්න, අනිත් අයට හිමින් ඔබෙන් ඉවතට යන්න දීල.. ප්‍රායෝගික වෙනස්කම් නොපැකිලව පිලිගන්න... සැලසුම වෙනස් කරන්න..දිනක ඔබ දකීවි MIRACLE එකක් නොවන MIRACLE  එකක්..


ප.ලි.: අදටත් පුතා දැක්ක ගමන් කන්න අකමැති සහ ටිකක් කාලා බලලා එපා කියන කිසිම කෑමක් කන්න කියා කිසිම බලපෑමක් මම  නොකරන්නේ මගේ අතීතයේ ඒ වගේ බලපෑම් වලින් වුනේ කෑම කන්න පෙළබීමක් නොවන නිසා..තවත් කෑම මට එපා උන නිසා..

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.