Monday, November 19, 2018

හීන..

හීන කියන්නෙ එක්කෝ මෙතෙක් ජිවිතේ අත් විඳලා නැති දේවල් එක්කෝ  අත් විඳලා මඟ හරුනු දේවල්..අන්න එහෙම අත් විඳලා මඟ හැරුනු හීනයක් ගැන තමයි අද මම ලියන්නේ..මම දන්නවා මේ හීනේට ආපහු තව සෑහෙන කාලෙකට මට ලං වෙන්නවත් බැරි බව..

මීට අවුරුදු 20කට විතර කලින් හිටියා පූසෙක් අපේ ගෙදර..මේ පූසා සාමාන්ය පූසන්ට වඩා ටිකක් විතර ලොකුයි..ටිකක් විතර අඳුන් දිවියෙක් වගේ..(අපේ ගෙවල් පැත්තේ හිටියා අඳුන් දිවියෝ කොළඹ උනත් ) හැබැයි මෙයා ඉපදෙන කොට ජීවත් කරන්න පුලුවන් මට්ටමක නම් නෙමේ හිටියේ..එයා විතරක් නෙමේ එයා එක්ක ඉපදුනු අනිත් සහෝදර සහෝදරියන්ගෙනුත් මම කොයි තරම් මහන්සි උනත් ඉතුරු කර ගන්න පුලුවන් උනේ එක් කෙනයි..

පුංචි කාලේ ඇස් අරින්න, කිරි බොන්න, නැගිටින්න, දුවන්න පනින්න ගොඩක් කල් ගියාට මේ පූස් පැටියා ලොකු වෙන්න වෙන්න හරිම ශක්තිමත් හරි ස්වාධින පූසෙක් උනා..ගොඩක් අය පූසන්ට කැමති නැත්තේ උන් ස්වාමියාට වඩා උන් ගැනම හිතන නිසා..ඒ කිව්වේ බල්ලෝ වගේ මිනිස්සුන්ගේ වහලෙක් නොවන නිසා.. මගෙ මේ පූස් ලොක්කත් ඒ වගේමයි...කිසි දවසක තමන්ට කර ගන්න පුලුවන් දෙයක් වෙන කෙනෙක් කරලා දෙනකන් බලාගෙන හිටියේ නැහැ වගේම කාගෙවත් පස්සෙන් ගියෙත් නැහැ.. හරිම ආඩම්බරයි..මම ආදරය කලෙත් ඒ ස්වාධීනකමට, කාටවත් වාතයක් වෙන්නේ නැතුව කාගෙවත් වහලෙක් වෙන්නේ නැතුව තමන්ගේ ජිවිතේ සතුටෙන් පාඩුවෙ ගෙවන එකට..

මිදුලේ පිළිවෙලක් නැතුව වැවිලා තියන තණකොල උඩින් නිරුවත් දෙපයින් ඇවිදින්න මම හරිම කැමතියි..ඒ වගේ ඇවිදින වෙලාවට කොහේ හරි ඉඳල මේ පූසා එනවා මං ලඟට.. (පස්සේ කාලෙක මම පුරුදු උනා එළියට ගිහාම මඟ බලාගෙන ඉන්න, හැබැයි මට ඕන හැම වෙලාවෙම නම් මේ පූස් ලොක්කා ආවේ නැහැ )මේ පූසට තිබුනා හරි අමුතුම පුරුද්දක්.. මං කිව්වනේ මෙයා ටිකක් අඳුන් දිවියෙක් වගේ කියල.. ඒ නිසා එයාගේ නියපොතු හරිම සැරයි..ඇඟ හරිම ශක්තිමත්.. පුසෝ එයාලට ආදරේ හිතුනම කරන සද්දේ එක්ක මගේ කකුල් දෙකේ දැවටෙන එක තමයි මෙයාගේ පුරුද්ද.. මම එක අඩියක් හරි ඉස්සරහට තිබ්බොත් අර සැරම සැර නියපොතු උල් කරගෙන ඉස්සරහ කකුල් දෙකින්ම මගේ එක කකුලක් අල්ල ගන්නවා උගුරෙන් පුංචි සද්දයක් කරන ගමන්.. ඉතින් මං නවතින්නම ඕන.. ( මේ ලඟදි ජලභීතිකාව හැදුනු අයගේ විස්තරයක් දැකල මට ඇත්තටම බය හිතුනා මේ සිරීම් මතක් වෙද්දි, සමහර වෙලාවට ලේත් ආපු නිසා )

හරියට පුංචි දරුවෝ දෙන්නෙක් අල්ලන සෙල්ලම් කරනවා වගේ මිදුලේ අපි දෙන්නා සෙල්ලම් කල වාර අනන්තයි.. ඒ හැම පාරකම මගේ කකුල් දෙක සැරම සැර නියපොතු වලින් කොයි තරම් හීරුනත් පොඩ්ඩක්වත් තරහ ගියේ නැත්තේ පුසාට කියන්න ඕන උන දේ මට හොඳින් තේරුන නිසා.. මාත් එක්ක ඒ කෙටි වෙලාව එක තැනක ගත කරන්න තිබුනු ඕනකම තේරුම් ගන්න මට පුලුවන් උන නිසා. මට රිද්දුවට කවදාවත් මං එයාගේ නියපොතු කැපුවේ නැහැ.. මොකද මම එයා එක්ක ගත කරන්නේ බොහොම කෙටි කාලයක්.. දවසේ ඉතිරි මුලු කාලයම අවට පරිසරය එක්ක ස්වාධීනව ගැටෙන්න එයාට ඒ සැරම සැර ශක්තිමත් නියපොතු කියන්නේ මිල කරන්න බැරි අවියක්..

ඉතින් මාව මෙහෙම නවත්තගෙන මේ පූස් ලොක්කා ඉල්ලපු දෙයක් තිබුනා..ඒ තමයි ඒ තණකොල වල මුදුන් දල්ල මට කියලා කඩවගෙන කන එක..මේ ඉල්ලීම තේරුම් ගන්න මට ඒ හැටි කාලයක් ගියේ නැහැ.. කොහොමද කියලා නම් මම දන්නේ නැහැ..

මිනිස්සුන්ට වගේ සත්තුන්ට නැහැ හසුරු කුසලතාවයක්.. ඒ කිව්වේ අපිට වගේ ඇඟිලි වලින් සියුම් දේවල් කරන්න බැහැ.. අර තණකොල ගහේ මුදුන් දල්ල තවම තියෙන්නේ බාගෙට එළියට ඇවිත්.. ඒ මුලු දල්ලම එළියට ගන්න නම් මිනිස් අතක වගේ ඇඟිලි හසුරුවන්න පුලුවන්කම තියෙන්නම ඕන..

උඩට ඇවිත් තියන පුංචි කොටස විතරක් කන්න තියන අකමැත්ත එහෙමත් නැත්නම් බාගෙට කන්න තියන අකමැත්ත වෙන්න ඕන මේ පූස් ලොක්ක මගෙන් යැපෙන්න හේතුව..සමහරදාට මන් එකතු කරලා දෙන ඔක්කොම දලු කන්නේ නැහැ. එයාට ඕන තරම විතරමයි කන්නේ.. මන් පොඩ්ඩක් බැන්නොත් සැර කලොත් මොකද්ද කරන්නේ කැඩුවට පස්සේ කන්නේ නැත්තේ කියලා, තව 1ක් 2ක් කනවා. කාලා මුණ දිහා බලන්නේ ආයේ නම් කන්න බැහැ කියල කියා ගන්න බැරි නිසා කියලමයි මට හිතුනේ.. ඉතින් මම බල කරන්නේ නැහැ..ඊලඟ දවසේ කැඩුවේ අඩුවෙන්..

මම එයාව විතරක් නෙමේ හැදුව හැම පූසෙක්ම හැදුවේ එයාලගේ ස්වාභාවික ජීවන රටාවට අවම වෙනසක් වෙන විදිහට, පුංචි කාලේ ඇස් මානේ තියාගෙන හැදුවට ටික ටික ලොකු වෙද්දි එයාලට එයාලගේ නිදහස දුන්නා වගේම හිතෙනුත් අත් හරින්න පුරුදු උනා කිව්වොත් හරි..

පා.ලි.: මේ මම හදපු මගේ ලඟින් හිටිය අන්තිම පූසා, මගෙන් ඈත් උනාට පස්සේ එයාට මුහුණ දෙන්න වෙලා තිබ්බේ හරි දරුණු ඉරණමකට කියලා මට කිව්වේ මගේ මල්ලි, එයාව බේර ගන්න කරන්න පුලුවන් හැමදේම කරලා බැරිම උනාට පස්සේ.. එදා ඉඳන් අද වෙනකන් ඒ වගේ නිදහස්ව සතෙක් හදන්න පරිසරයක් මගේ අවට හැදුනෙම නැහැ..හැදෙයි කියල හිතන්නත් බැහැ..

මගේ හදවතේ ඇරෙන්න වෙන කිසිම තැනක සිතුවමක් මතකයක් නැති මේ පූස් ලොක්කා අවට පරිසරයේ ඉන්න සත්තු අල්ලන හැටිත්, නොමිනිස්සුන්ගේ පා පහරට ලක් වුනු හැටිත් සිනමා පටයක් මෙන් මගේ හදවතේ රඟ දෙනු ඇත මියෙන තුරු..

සුරතල් සතුන් තමන්ට ඕන ඕන විදිහට හදන (වැඩිහිටි ) මිනිස්සු ඒ සතා ජීවිතයෙන් සමු ගන්නකන්ම එකම විදිහට ආදරෙන් සලකනවා ද.. දුකේදිත් සැපේදිත් එක වගේ ලඟ ඉන්නව ද.. නැත්නම් තමන්ට ඕන දේ අරගෙන පැත්තකට වෙනවද..

2 comments:

  1. පූසොන්ට වඩා මං දන්නෙ බල්ලො ගැන. බල්ලන් නැතුව ඉන්න එක හරිම කම්මැලි දෙයක්. බල්ලන් ගැන තේරුම් ගත්තහම සමහරවෙලාවට අපිට බලු පැටියන්ට වඩා වයසක බල්ලන්ට ආදරේ හිතෙනව. එකම අවාසියක් තියනව. අවු 10කට වගේ සැරයක් අපේ දරුවෙක් මැරෙන වේදනාව අපිට දැනෙනව

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදරත් අවට පරිසරයේ අයත් බල්ලෝ තමයි වැඩිපුරම හැදුවේ.. මගේ ජීවිතේ එහෙම තැනකට එන්න මම ඉඩ දීල නැහැ ප්‍රා..සත්තු හැදුවේ අවබෝධයෙන් වගේම කාත් කවුරුවත් නැතුව අනාථ උනු සත්තු තමා වැඩිපුරම හැදුවේ මම..

      මම දැක්කට පස්සේ අවට පරිසරයෙන් අනිත් අය බල්ලෝ හදලා හදවතින්ම විඳවන විදිහ මම තීරණයක් අරන් ඉබේම බල්ලෝ නොහදන්න..ඒත් මගේ මල්ලි එහෙම ඉගෙන නොගත් නිසා කොහෙන්දෝ අනාථ උන හරි හුරතල් පුංචි බලු පැටියෙක් ගෙදර ගෙනත් තිබුනා..

      හොඳ වෙලාවට මම එතකොට ගෙදරින් විතරක් නෙමේ රටෙනුත් ගිහින්, අන්තිමට ඒ බලු පැටියා අකාලයේ මැරුනේ මල්ලිගේ හදවත කුඩු කරලා..

      මට තේරෙන්නේ නැහැ මිනිස්සු ඇයි පාඩම් ඉගෙන නොගන්නේ කියා අත්දැකීම් වලින් තමන්ගේ වගේම අනුන්ගේත්..

      Delete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.