Sunday, September 2, 2018

මොකද්ද බය කියන්නේ...

අපි හැමෝම මව්කුසින් මේ ලෝකේට ආව පළමු මොහොතේ ඉඳලම මුහුණ දෙන්නේ අනපේක්ෂිත සිදුවීම වලට.. අපි වගේම අපේ අවට ඉන්න අයත්..මේ සදා නොවෙනස් අනපේක්ෂිත සිදුවීම් වලට මුහුණ දීලම තමයි අපි ඒ සිදුවීම් ජීවිතයේ සාමාන්‍ය දෙයක් බවට පත් කර ගන්නේ.. ඒ කියන්නේ මේ සිදුවීම් වලට මුහුණ නොදෙන කෙනෙක් කවදාවත් ඒ සිදුවීම් සාමාන්‍යකරණය කර ගැනීමේ ක්‍රියාවලිය සාර්ථකව කරගන්නේ නැහැ..එහි බලපෑම මොන වගේ ද කියන එක ඔබට සිතන්න ඉතුරු කරමි..ඉතින් මේ විදිහට මමත් ඉපදුනු දා ඉඳලා එක එක විදිහේ අනපේක්ෂිත සිදුවීම වලට කෙලින් හැංගෙන්නේ නැතුව මුහුණ දෙමින් ඒ සිදුවීම් සාමාන්‍යකරණය කර ගනිමින් ගෙවාගෙන එන ජීවිතේ පහුගිය ඉරිදා කියන්නේ මින් ඉහත ජිවිතයේ කිසිදිනක මුහුණ නොදුන් මුහුණ දෙන්න වෙයි කියාද කිසිවිටක නොසිතු සිදුවීමකට මුහුණ දුන් දවසක්..

වෙනදා වගේම පහුවදා වැඩ වලට හැමදේම සුදානම් කරලා මමයි පුතයි නිදා ගන්න ගියේ එදා ගොඩක් සීතල දවසක් නිසාම පුතාට තිබුනු ඇදුම ගතියට සාමාන්‍යයෙන් නියම කරලා තියන හැමදෙයක්ම ඒ විදිහටම පිළිපැඳලයි..ඒත් මැදියම් රැය ගෙවිලා ඊලඟ දවසට එළිවෙන පාන්දර ඒ කිසිම ක්‍රමයකින් පුතාගේ හුස්ම ගැනීම යථා තත්වයට පත් වුනේ නැහැ..පහුගිය සීත කාලය තරම් දරුණුවට මේ සීත කාලේ පුතාගේ වගේම මගෙත් ඇදුම ගතිය උත්සන්න නොවු නිසාම අපේ GP හදිසි අවස්ථාවකදි ගන්න ඕන කරන බෙහෙත් දීල තිබ්බෙත් නැහැ..එහෙම ගන්න යන්න තරම් ඕනකමක් ඇති වුනේ නැහැ මේ සීත කාලේ..හරියට අර මහ සුළි සුලඟකට කලින් මහ මුහුද හරි නිසොල්මන් වගේ...

තප්පරෙන් තප්පරේ පුතාට හුස්ම ගන්න අමාරු වෙලා දාඩිය දාන විදිහ දැක්ක මගේ මොළය මට කිව්වත් කරන්න ඕනේ 000 call කරන එක කියලා මම කලේ මගේ හොඳම යාලුවට කතා කල එක..එසැණින් ඇය ක්‍රියාත්මක වී අප නිවසට පැමිණ ගෙන්වූ ගිලන් රථ සේවාව ගැන නම් ලියන්න මට වචන නැහැ..කිසිම දවසක මුහුණ දීල නැති මේ සිදුවීමේදි කම්පනයට පත් වුනු මගේ හිත ඉතාම කෙටි කාලයකදි නැවත සම්පූර්ණයෙන්ම යථා යත්වයට පත් කරන්න ඒ සේවය ලබා දුන් දෙදෙනාට වගේම මගේ යෙහෙළියටත් හැකි වුනා..

පාන්දර 4.30 ට විතර ඇරඹුනු මේ ත්‍රාසජනක ක්‍රියාවලිය පුරාම මගේ පුතා අපි හැමෝටම දුන්නේ පුදුම සහයෝගයක්..ඒ නිසාම ප්‍රථමාධාර නිසියාකාරව සිදු කෙරුන අතර ඉතා ඉක්මනින් පුතා සාමාන්‍ය තත්වයට පත් වුනත් මේ එයාගේ ජීවිතේ පළවෙනි Asthma Attack එක නිසා ලඟම තියන හොස්පිටල් එකට යන එක වඩා නුවණට හුරුයි කියන එක අපි හැමෝගෙම තීරණය උනු නිසාත් ජීවිතයේ පළවෙනි වතාවට මමත් පුතත් Ambulance එකක ඒ ගමන ගියේ මගේ යෙහෙළිය අපි පිටුපසින් දිගටම ඇගේ වාහනයේ එන ගමන්..(ඒ වෙද්දි පුතාගේ තාත්තා හිටියේ අපිට ඉක්මනින් ලඟා විය නොහැකි තැනක..අඩුම ගානේ පැය 2ක්වත්)

මේ හැම පියවරකදිම මගේ පුතා හැසිරුනේ හරියට මේ හැමදේම එයා බලාපොරොත්තුවෙන් හිටිය හරි හුරුපුරුදු දේවල් වගේ වීම මගේ හිතට ගෙනාවේ ලොකු අස්වැසිල්ලක්.. ඒ මට මගේ පුතා විතරක් නෙමේ කිසිම දරුවෙක් වේදනාවෙන් බය වෙලා අඬනවා හැසිරෙනවා දකින්න ගොඩක් අපහසු නිසා..ඒ වෙද්දි මම සම්පූර්ණයෙන්ම තනියම මේ සිදුවීමට මුහුණ දෙන්න තරම් සන්සුන් වී හිටියත් මගේ යෙහෙළිය තවත් පැය 2කට 3කට පස්සේ තමයි ඇගේ නිවස බලා පිටත් වුනේ..

මේ මුලු ක්‍රියාවලියේදිම ගිලන් රථ සේවයේ නියුතු දෙදෙනා කිසිම කලබලවීමක් පෙන්නුවේ නැහැ, ඒ වගේම හැම පියවරකදීම අනිත් කෙනාව දැනුවත් කරලා තමයි කලේ.. ඒ කිව්වේ බෙහෙතක් දෙනවා නම් ඒ දෙන්නෙ මොකද්ද,එකේ නිශ්පාදිත දිනය, කල් ඉකුත්විමේ දිනය, දෙන විදිහ වගේ හැමදෙයක්ම එකිනෙකාට ඇහෙන විදිහට කියලා තහවුරු කරගෙන තමයි දුන්නේ.. ඒ අතරේ පුතාව සතුටෙන් තියන්න විහිලුත් කලා..මාවත් සන්සුන් කලා..

පාන්දර 5.45 වෙද්දි අපි ලඟම තියන Children Hospital එකේ Emergency Unit එකේ බොහොම සැහැල්ලුවෙන්, පුතාට නම් පුදුම සතුටක් තිබුනේ එයාගේ ආසම වාහනේ යන්න ලැබුනට වගේම ලැබුනු සැලකිලි එක්ක..උදේ 6 ඉඳලා දවල් 1ක වෙනකන් අපි හිටියේ EMU එකේ..මෙතනදි මට ලැබුන අත්දැකීම් ලියන්න හිතුනේ ඉවසීම කියන දේ මොන තරම් වැදගත් දෙයක්ද කියන එක ගොඩක් හොඳින් වැටහුන නිසයි..මුලින්ම අපි Hospital එකට ගිය ගමන්ම අපිත් එක්ක හරිම සුහදව වැඩ කල Paramedics දෙන්නාගෙන් එක් කෙනෙක් සියලු විස්තර එතන තිබුනු පරිගණකයට ඇතුල් කරද්දි ඈතින් ආවේ Stethoscope එක බෙල්ල වටේ දාගෙන කොල පාට ඇඳුමක් ඇදගත්තු Nurse කෙනෙක්.. ඔව් දැන් ඉතින් කලබල වෙන්න එපා.. මෙහෙ Nurse ලාටත් අයිති දෙයක් ඔය Stethoscope එක.. ඒ වගේම ඕක යන යන තැන බෙල්ල වටේ දාගෙන ඉන්න එක ගැන කලබල වෙන්න දෙයක් මට නම් පේන්නේ නැහැ..

මේ Nurse දැක්ක ගමන්ම අර Paramedic කෙනා hi, hello කිව්වත් ඒ Nurse එයාව පොඩ්ඩක්වත් ගනන් ගත්තේ නැහැ..මේ දෙන්නම මේ රටේ අය හොඳේ, නැත්නම් කියාවිනේ ජාති බේද, හමේ පාට නිසා කියල.. Mobile එක කනේ තියාගෙන කතා කර කර වෙන හැමදේම ගැන හොඳ අවධානෙන් ආව ඒ Nurseගෙ හැසිරීම අර Paramedic කෙනාව ගොඩක් අපහසුතාවයට පත් කලා කියන එක නොරහසක්..මේ හැමෝම මුලු රැයක් නිදි වරලා අනිත් අය වෙනුවෙන් තමන්ගේ කාලය ශ්‍රමය වැය කරපු අය කියන එකත් අමතක කරන්න එපා..ඉතින් ඒ සිදුවීම එහෙම්ම යටපත් උනු අතර අපි හැමෝගෙන්ම තොරතුරු අහන ගමන් ඒ Nurse පුතාව හොඳින් පරික්ෂා කරලා බලල එක්කන් ගිය EMU reception එකට.. (EMU කියන්නෙ Emergency Medical Unit)

එතනදි අපිව වෙන Nurse ල කණඩායමකට සියලු විස්තර එක්ක බාර දුන්නු ඇය තවත් අපි වගේම කෙනෙකුට උදව් කරන්න යන්න ඇති.. එතන ඉඳලා Nurse ලා ගොඩකගේ සහ Doctors ලා දෙදෙනෙකුගේ පූර්ණ අධීක්ෂණය යටතේ පැය 3න් 3ට අඳාල බෙහෙත් පුතාට දෙන ගමන් එයාව සතුටෙන් සැහල්ලුවෙන් තියන්නත් හැමෝම කටයුතු කලා.. හැබැයි මේ ක්‍රමය සිදු උනේ හරිම හෙමින්.. ඒ කිව්වේ අපි ගිය ගමන් අපිට රූම් එකක්වත් ඇඳක්වත් හම්බුනෙ නෑ වගේම ගිය ගමන් Doctor කෙනෙක් ඇවිත් බැලුවෙත් නැහැ..හැබැයි කවදත් කොහොමත් විමසිලි මගෙ ඇස් දැක්ක විදිහට පුතාගේ විතරක් නෙමේ මගෙත් හැසිරීම ගැන මුලු කාර්‍යමණ්ඩලයම හිටියේ ලොකු අවධානයකින් පිටට ඒ හැටි නොපෙන්නුවාට..මට හිතෙන්නෙ මිනිස්සු එක්ක වැඩ කරද්දි කෙනෙක් කලබල නොවී ඉන්නේ අවශ්‍ය දේවල් පමණක් තෝරා බේරා කියන්නේ එවිට පරිසරයේ කලබලකාරිබව අඩු කරලා සාමකාමිබව ඇති කර ගන්න පහසු නිසා කියලයි මේ වගේ තැනකදි.. එහෙම නැතුව ලෙඩා ගැනවත් ලෙඩා එක්ක ආපු අය ගැනවත් අවධානය අඩුකමක් නෙමේ ඒ හැසිරීම් පිටුපස මම දැක්කේ..

මේ වගේ තැන් වලදි ඔබේ අතින් වෙන්න ඕන ලොකුම දේ විදිහට මම දකින්නේ ඉවසීමෙන් ඒ ප්‍රතිකාර ක්‍රම කරන්න ඉඩ දීම සහ ඔබට දෙන උපදෙස් තේරුම් ගෙන කිරිමට තරම් ඔබේ මනස සන්සුන් කර ගැනීම සහ ඔවුන්ව විස්වාස කරන එක ..ඔබේ උපරිම සහයෝගය ඒ මුලු කාර්‍ය්මණ්ඩලයටම දෙන එක.. මොකද ඒ ඔබේ මගේ රැකියාව නෙමේ..ඔබට මට වඩා මේ අයට මේ ගැන තියන අත්දැකීම් ප්‍රමානය හැම විටම වැඩියි කියන එක අමතක කරන්න එපා..

ඒ වගේම මතක තියා ගන්න මේ හැමෝම මුලු රැයක්ම (සමහර විට ඊටත් වඩා ) නිදි වරලා ඉන්න අය.. එයාලත් ඉන්නේ ගොඩක් වෙහෙසිලා, ගතෙන් වගේම හිතෙන්..ටික වෙලාවකට පස්සෙ Specialist Doctor එළියට ඇවිත් පුතාව පරික්ෂා කරද්දි කියපු දේවල් වලින් මට හිතුනේ මේ කෙනාට දිවැස් තියනවද කියලා.ඒ තරම් නිවැරදිව මේ තරම් වෙලා උනු හැමදෙම ඔහු කිවේ මුලු කාලයම අපි ලඟම හිටියා වගෙ.. ඒ උනත් ඔහු කොහෙන් කොහොම ආවද කියල මම නම් දැක්කේ නැහැ. ඒකට හේතුව තමයි අපි ආපු වෙලේ ඉඳලා කෙරුන හැම දෙයක්ම සවිස්තරාත්මකව පරිගණකගත කර තිබීම සහ ඔහු හැමවිටම ඒ ගැන අවධානයෙන් සිටීම..ඔහු වගේම එතන හිටිය හැම කෙනාමත් හැම කෙනා ගැනම හිටියේ ගොඩක් හොඳ අවධානයකින්.. මේ දේවල් වටහා ගන්න ඔබට තියන්න ඔන විමසිලිමත් දෑසක් එක්ක ඔබේ හැඟිම් පාලනය කරගත් ඉවසීම විතරයි..

මෙතන තිබුන rooms හැම එකක්ම ඒ වෙනකොට පිරිල තිබුන නිසා අපිට ඉන්න උනේ reception එකේ.. කොහොම උනත් පැය කිහිපයකින් තවත් කෙනෙක් හොඳ වෙලා ගිය නිසා ඉක්මනින්ම room එකක් ලැබුනා. ඒ වෙනකම් පුතා මොන තරම් අපහසුවෙන් හිටියත් කිසිම කරදරයක් කලේ නැහැ..ඉතාම හොඳින් හැමෝම එක්ක හරිම සතුටෙන් කාලය ගත කල ඔහු room එකේදිත් වින්ඳේ හරි අපුරු අත්දැකීමක්, ඒ තමයි උස් පහත් කල හැකි ඒ යාන්ත්‍රික ඇඳ එක්ක ලබපු අත්දැකීම..මතක තියා ගන්න ඔබ කලබල නොවෙද්දි දරුවත් ඉබේම ඉගෙන ගන්නවා සන්සුන් වෙන්න..

ඉන් පස්සෙ පැය බාගෙන් බාගෙට වෛද්‍යවරු දෙදෙනෙක් පුතාව ගොඩක් හොඳින් පරික්ෂා කරන ගමන් මටත් පැහැදිලිව විස්තර කලා මොකක්ද වෙන්නේ කියන එකත් මොනවද මම කරන්න ඕන කිය න එකත්.. මුල ඉඳලම විමසිල්ලෙන් ඉවසීමෙන් හිටිය නිසාම මම හිටියෙත් හොඳ අවබෝධයකින් මොකද්ද මෙතන වෙන්නේ කියන එක ගැන.. මේ විදිහට පුතා සම්පූර්ණයෙන්ම යථාතත්වයට පත් වෙනකන්ම ගොඩක් ලඟින් වගේම හරි ඕනකමින් ඔහුව පරික්ෂා කල කණඩායම අපිට යන්න දුන්නේ කිසිම විදිහක හදිසි අවදානමක් ආපහු ඇති නොවේවි කියලා සහතික කරගත් පසු විතරයි...

ඒ වගේම දවස් 5ක Plan එකක් එක්ක ඊලඟට කරන්න ඕන දේවල් පැහැදිලි කරලයි අපිව එව්වේ.. ඔබට මේ වෙලාවේ ඒ කියන දේවල් නොතේරෙනවා නම් ආපහු පැහැදිලි කරන්න කියලා ඉල්ලන්න, ඔක්කොම දන්නවා වගේ රඟපාන්නේ නැතුව, පස්සේ අනිත් අයට දොස් කියන්නේ නැතුව..අපි මෙතන ඉන්න වෙලාවෙ තවත් අපි වගෙම ගොඩක් අය පුංචි දරුවෝ එක්ක වගේම ලොකු අය එක්කත් ආව.. ඒ අතරින් එක් ලෙඩෙක් එක්ක ආපු කෙනෙක් ආපු ගමන්ම ඇඳක් දුන්නේ නෑ කියල හැසිරුනේ හරිම කලහකාරි විදිහට, එහෙට මෙහෙට call කරන ගමන් "අරයා නැද්ද මෙයා නැද්ද මට මෙයාට කතා කරන්න ඕන දැන්ම" වගේ දේවල් කිව්වේ මේ ගමන් එයාලට හුරු පුරුදු දෙයක් බව නොකියා කියමින් වගේම තමන්ගේ ඉවසීමේ පරාසය ගැන බලන් ඉන්න අයට හොඳ අවබෝධයක් ද දෙන ගමන්...

කොහොම උනත් ජීවිතේට හදිස්සියේ ලැබුනු මේ අත්දැකීම නිසා හදිස්සියකදි 000 call කරන්න මගේ හිතේ තිබුන බය සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා...එය මොන තරම් නම් ලොකු පිම්මක්ද..මොකද බය කියන්නේ අපේ ජීවිත පස්සට ඇදලා දාන පළවෙනි සහ එකම හේතුව..

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.