Wednesday, September 26, 2018

සබඳ අපි කඳු නොවෙමු (ද ) - උනුන් පරයා නැඟෙන..සුනිල දිය දහර වෙමු (ද ) එකම ගඟකට වැටෙන..

ඔබ ලියන/කියන දෙයක් කියවන/ අහන කෙනෙක් කියනවා නම් "වැටහෙන්නේ නැහැ" කියා මම දකින්නේ එතනදි මුලින්ම අඩියක් පස්සට තියන්න ඕන ඔබ..ඔබට මොන වගේ දැනුමක් තිබ්බත්, ඔබ මොන තරම් ඉහල තැනක හිටියත්, ඔබේ පාඨකයන්ට/ ශ්‍රාවකයන්ට ඒ පණිවිඩය පැහැදිලිව දෙන්න ක්‍රම හොයන්න වෙන්නේ ඔබටමයි..මොකද ඔබ විතරයි දන්නේ මොනවද ඔබ ලියන්න/ කියන්න උත්සහ ගන්නේ කියන එක..

මේ දේ වටහා ගන්න පුලුවන් නම් ඒ වගේම ඔබ ඔබේ මතයෙම ඉන්නේ නැතුව එක අඩියක් තමන් ඉන්න තැනින් ඔබේ කැමැත්තෙන් අනුන් වෙනුවෙන් පස්සට තියන්න නිහතමානි නම් අර මුලින් "නැහැ" කිව්ව අය "ඔව්" කියන දවස වැඩි ඈතක නම් නෙමේ...ලෝකය දැනුමින් පිරිලා තිබුනට වැඩක් නැහැ..ඒ දැනුම මිනිස් හදවත් වලට වැටහෙන විදිහට ඉදිරිපත් කරන්න ඒ දැනුම පරිශීලනය කරන්නන්ට නොහැකි නම්..

එසේ ඉදිරිපත් කරද්දි හැම විටම තමන් කාපු/කන "කට්ටෙන්" දශමයක් හරි අනුන්ට (වගේම තමන්ටත්) කන්න/කවන එකින් වැලකෙන ක්‍රම හොයන්න ගත කරන්න ඔබේ (විවේක) කාලය කිසිම විටක තමන්ව අමතක නොකර..

මේ විදිහට ජීවිතය ඉදිරියට ගමන් කරද්දි ඇයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ හැකියාවක් ඇති කෙනත් නැති කෙනෙක් වගේ එකම තැනක ඉන්න ඕන කියා..මේ වැකියේ "හැකියාව" කියන වචනයට ඉදිරියෙන් ඔබ කැමති විශේෂණ පදයක් එක් කරගන්න සම්පූර්ණ නිදහස ඔබට හිමියි ඔබේ මනස නිදහස් නම්..

හැබැයි ඔබේ හැකියාවන් වල ඔබේ සහ අන් අයගේ සීමාවන් විමසන්න කාලය ගන්න..ඔබේ හැකියාවන් එක්ක යන ගමනේ ඔබ ජීවත් වන බිමේ සහ ඉන් පිටත නීතිය ගැන විමසන්න කාලය ගන්න..ඔබේ හැකියාවන් වලින් ඔබට සහ අන් අයට ලැබෙන ප්‍රතිඵල විමසන්න කාලය ගන්න..

ඉන් පස්සේ අර එකම තැනක ඉන්න කැමති මිනිස්සුන්ට එතනම ඉන්න සම්පූර්ණ නිදහස දීලා යන්න ඉදිරියට.. ඉදිරියට යන්න යන්න ජිවිතේ හරිම ලස්සනයි..ඒ ලස්සන විඳින්න හැම කෙනෙකුටම අයිතියක් තියනවා මම නම් දකින විදිහට..

ඒ වගේම ඔබට ඔබේ ජීවිතය පහසු කරගැනීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම අත්හදා බැලීමේ කිසිඳු වරදක් මා නම් දකින්නේ නැත ඔබ අවට පරිසරයට හෝ එහි වෙසෙන ජීවින්ට කිසිඳු අවහිරයක් අපහසුවක් නොවන තුරු..

එහිදී සම්මත අසම්මත බවට වඩා මා නම් දකින්නේ නිත්‍යානූකුලද නැද්ද කියන කරුණ ගැන විමසිල්ලෙන් අප යා යුතු බවයි.. මොකද සම්මතයේ ගොස් හිර වන තැනකදි අසම්මතයට (එහි අනිත් පැත්තත් ඒ වගේමයි) හෝ පැන බේරුනද නීතියට එරෙහි වන තැනකදි ඔබ සඳහටම හිර වෙන බැවිනි කෙදිනක හෝ..මේ නීතිය යනුවෙන් මා හැඳින්වුයේ රටක නීති පද්ධතිය පමණක්ම  නොවේ.. ඔබේ හෘද සාක්ෂියත් එක්තරා ආකාරයක නීති පද්ධතියක් ලෙස මම දකිමි..

ඉතින් අනෙකාට අවහිරයක් නොවන අයුරින් ඔබේ ජීවිතය පහසු කරගන්නා අතරේම මේ නීතිය අවනීතිය ගැනත් අවබෝධයෙන් ගියොත් කිසි විටක කිසිවෙකුට ඔබව සිර කරන්න නම් ඉඩක් නොලැබෙනු ඇත.. (රටක නීතිය ගැන දැනුවත් වීමේදි ප්‍රාණසම මිතුරන්/මිතුරියන්ගේ ඇසුර ගැන නම් මට කියන්න ලියන්න වචන නැහැ)

එසේ සිර නොවී තමන් සතු යමක් ලෝකයට මුදා හරිද්දි ආපිට දෙයක් තමන්ට බලාපොරොත්තු නොවීම යනු අත් හැරීම පුහුණු කල ඉතාම සැහැල්ලු සංතෘප්ත ස්වාධීන නොසැලෙන මනසකට පමණක් කල හැකි දෙයක්..ඔබේ මනස එවැනි මනසක් ද..

ඒ වගේම දැනට ලෝකයේ ඉතා ඉහළ මිලකට "අලෙවි" කෙරෙන "සේවයක්" නොමිලේ කරන්න කෙනෙක් උත්සහ කලොත් ඔබ හිතන්නේ මොන වගේ තත්වයක් උදා වේවි කියලද..

No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.