Sunday, October 7, 2018

අකමැත්තට කැමැත්තෙන් කැමති වීම....

ගිය මාසේ එක් බදාදාවක හරි අපූරු පාඩමක් 1 වසරේ පුංචි අයට කරන්න මටත් පුංචි ඉඩක් ලැබුනා.. කරන්න නෙමේ ඇත්තටම කිව්වොත් පාඩමේම කොටසක් වෙන්න..එදා තිබුනේ කොහොමද කෙනෙක් තමන්ගේ අදහසට අකමැති වෙද්දි ඒ කෙනාගේ සහ තමන්ගේ හිත රිද්ද ගන්නේ නැතුව රණ්ඩු වෙන්නේ නැතුව පොළබවා ගන්නේ කැමති වෙන්න..තවත් සරලව කිව්වොත් කොහොමද දෙන්නෙක් මැද තීරණයකට එන්නේ වෙනස් අදහසකදි..

ඉතින් මේ පාඩම කරන්න ගුරුතුමිය තෝර ගෙන තිබුනේ කතා පොතක ඉන්න චරිතයක්..මෙතන්ට එන්න සති ගානකට කලින් ඉඳලම දරුවන් එක්ක මේ කතා පොත කියවලා ඒ ආශ්‍රයෙන් හදපු එක එක විදිහේ ක්‍රියාකාරකම් වල නිරත වෙලා දරුවො හොඳින් මේ චරිත අඳුරනවා.. මොනවද මේ එක් එක් චරිත කැමති දේ දේවල් අකමැති දේවල්, එක් එක් චරිතයේ විදිහ ගැන පැහැදිලි අවබෝධයක් දරුවන්ට ලබා ගන්න ඉඩක් හදලා තමයි මේ අකමැති දේකට පොළබව ගන්න හැටි ගැන කතා කරන්න යන්නේ.. නැතුව කිසිම දෙයක් නොදන්න කවදාවත් අහලා නැති මොන විදිහේ කෙනෙක් ද කියලා නොදන්න කෙනෙක් ගැන නෙමේ මේ දරුවෝ එදා කතා කලේ..ඒ වගේම හැම වැඩක්ම එකිනෙකට සම්බන්ධයි..(හිටපු ගමන් තමන්ගේ අවශ්‍යතා නිසා දරුවන්ගේ පාසැල් මාරු කරන දෙමාපියන් හිතන්නේ නැ මේ කරුණ ගැන නම්..)

මුලින්ම එදා තිබුනේ මේ පොතේ එන තමන් අකමැති දේට පොළබව ගන්න හදන චරිතයේ රූපයක් පාට කරන්න.. කොයි තරම් දරුවන්ට මේ චරිතය මේ වෙනකොට හුරු පුරුදුද කිව්වොත් රූපේ අමුතුවෙන් කාගෙද කින්ද මන්ද කියලා පැහැදිලි කරන්න ඕන උනේ නැහැ..යම්කිසි පාඩමක් උගන්වන්න කලින් මේ ක්‍රමය ඇතුලේ ගුරුවරයෙකුට පුරුදු කරන්නේ step by step යන්න.. එක පාරටම මෙන්න මේකයි ළමයි අද අපි ඉගෙන ගන්නේ කියලා පාඩම කරලා ඉවර කරන්න නෙමේ..පාඩමක් ඉවර වෙන්නේත් ඉරක් ගහලා වෙන් කරලා නෙමේ.. තවත් දරුවන්ව ලෝකයට තමන් අවට පරිසරයට විවර කරන විදිහකින්..දරුවන්ගේ සහජයෙන්ම තියන කුතුහලය කියන මානසික අවශ්‍යතාවය හරි අපුරූවට මේ ක්‍රමය ඇතුලේදි භාවිතා වෙනවා දරුවන්ව තමන්ගේ කැමැත්තෙන්ම පුංචි පුංචි පියවර වලින් ඉදිරියට එක්කන් යන්න අපි එහෙම කරනවා කියලා නොදැනී..ළමා මනෝවිද්‍යාව මේ ක්‍රමයේ ඇතුලේ ඉතා හොඳින් හැම වෙලේම සැරිසරන හැටි නම් කියලා ලියලා ඉවර කරන්න බැරි තරම් වටින දෙයක්..

ඉතින් ඊට පස්සේ තිබුනේ මේ පුංචි බලු පැටියා කන්න අකමැති කෑම වර්ග කොහොමද කැමැත්තෙන් කන්න පොළබවා ගන්නේ කියන එක රඟපාලා කරන්න..දෙන්නා දෙන්නා පන්තියේ හැමෝවම කණඩායම් විදිහට වෙන් කලාට පස්සේ ගුරුතුමිය මුලින් කරලා පෙන්නලා දරුවන්ට දුන්නා විනාඩි 10ක් තමන්ගේ partner එක්ක පුරුදු වෙන්න රඟපාන්න.. ඊට පස්සේ පන්තියේ ඉදිරියට ඇවිල්ලා හැමෝම ඉස්සරහා චරිත හුවමාරු කරගෙන රඟපාන්නත් තිබුනා..

මේ වගේ තැන් වලදි පුලුවන් අඳුරඟන්න එක් එක් දරුවට ඕන කරන උදව් මොනවද කියන එක social skills දියුණු කරන්න.. ගුරුවරිය අනිවාර්යයෙන් දරුවෝ 21 දෙනාගෙම හැසිරීම් ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕන මොන වගේ උදව් ද එක් එක් කෙනාටත් මුලු පන්තියටමත් අවශ්‍ය කියන එක තීරණය කරන්න...ඒ අනූව තමයි ඊලඟට කරන්න තියන පාඩම් නිර්මානය වෙන්නේ.. මෙන්න මේ නිසා එකම syllabus එක ඉගැන්නුවට එකම පාසැලේ එකම වසරේ එක් එක් පන්ති වල තියෙන්නේ එක එක විදිහේ ක්‍රියාකාරකම්.. පාසැල් දෙකක් ගත්තොත් හිතා ගන්න බැරි තරම් මේ ක්‍රියාකාරකම් වෙනස්.. ඉතින් ඔබම හිතලා බලන්න දරුවන්ව සංසන්ඳනය කරන එක වැඩක් තියනවද නැද්ද කියන එක.. ඒ වගේම පාසැල් සංසන්ඳනය කරන එකත්..

කොහොමහරි මේ දේවල් ඉගෙන ගෙන ඇවිල්ලා කොහොමත් කතා කරන්න ගත්තම කතුරක් වගේ කියවන මගේ පුතා මම අකමැති දේවල් මටත් නොදැනීම කරවන්න ගන්න උත්සහයන් නම් අති සාර්ථකයි.. මොකද එයාගේ සමහර හේතු දැක්වීම් වලට දෙන්න උත්තර නැහැ මං ගාව..සති කීපයක ඉඳලා හරි සියුම්ව බිඳින්න බැරි තර්ක හරහා වගේම හරිම නිර්මාණශීලීව ආදරණීයව මාව persuade කල මගේ පුංචි කොල්ලා නිසා, දැන්ම එයාගේ පන්තියේ දරුවන්ට play date වලට invite කරන්න කිසිම අදහසක් තිබුනේ නැති මම අද මේ ලැස්ති වෙන්නේ එන හැමෝටම කන්න බොන්න දේවල් හදන්න...

2 comments:

  1. kohomada karanne kiyalath livvanam hodayi.

    ReplyDelete
    Replies
    1. ඒක ඇනෝ, කෙටියෙක් එක ලිපියකින් ලියන්න බැහැ..කාලයක් අවස්ථානුකූලව එක් එක් දරුවගේ වගේම මුලු පන්තියේමත් ගුරුතුමියගෙත් හැසිරීම් සමහර වෙලාවට අවට පරිසරයේ සිදුවීම් මත වෙනස් වන විවිධ ක්‍රියාකාරකම් ගොඩක් කරලයි මේ තැනට මේ දරුවෝ ගෙනත් තියෙන්නේ.. මම යන්නේ සතියටම එක දවසයි..ඉතින් මම ඇත්තටම දන්නේ නැහැ කොහොමද ඒ දේ මේ ගුරුවරු කරන්නේ කියලා සවිස්තරව..

      මේ දේවල් කරන්න මේ ගුරුවරුන්ට විශේෂ පුහුණුවක් තියනවා ඇනෝ..දිගටම කාලීනව ඒ පුහුණුව අලුත් කරමින් නව ක්‍රමවේදත් මේ ගුරුවරුන්ට පුහුණු කරනවා.. :)

      Delete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.