Tuesday, February 28, 2017

දරුවන්ගේ සන්නිවේදන ක්‍රියාවලියේ පියවර.

පිරිමි (සතෙක්)  සහ ගැහැනු ( සතෙක්)  ලිංගිකව එකතු වීමෙන් පසුව සිදුවන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස ගැහැනියගේ සිරුර තුල හැදි වැඩුනු නියමිත කාලසීමාවකට පසු එතෙක් ඒ ගැබ දැරූ ගැහැනිය විඳි සියලු වේදනා විදහා පෙන්වීමට මෙන් කෑගසා හඬාගෙන මව් කුසින් මෙළොවට බිහි වු ඒ එක්වීමේ අතුරු ප්‍රතිඵල විඳින නව ජීවියා නොහොත් දරුවා තමන් බිහි වීමට මුල් වු යුවළ සමඟ පළමුවෙනුත් ඉන් අනතුරුව තමන් අවට සිටින සියලු දෙනා හා සියලු දේ සමඟත් ඒ ඒ දරුවාට ආවේණිකව සම්බන්ධ වීමේදී මුහුණ දෙන ප්‍රධාන ගැටලුව වන එකිනෙකා හා සන්නිවේදනය අනු ගැටලු හතරකට කැටි කරන්නයි යන්නේ අද.. ඒ ගැටලු හතර මතකයේ තබාගෙන එක් එක් දරුවා පසු කරන සන්නිවේදන පියවර කතා කරීම තමයි අද ලිපියේ අරමුණ වෙන්නේ...

ඒ ගැටලු හතර නම් , 
  • ඔබට අවධානය දීමේ අපහසුතා
  • ඔබත් සමඟ කතා කිරීමේ අපහසුතා
  • ඔබේ දෙඇස් දිහා බැලීමේ අපහසුතා
  • ඔබ පවසන දෑ වටහාගැනීමේ අපහසුතා
මේ ගැටලු හතරත්  ඇතුලු තවත් බොහෝ දේ දයාද කරගෙන බිහි වන නව ජීවියා නොහොත් ඔබේ දරුවාගෙන් එක් එක් වයස් සීමා වලදි බලාපොරොත්තු විය හැකි සහ ඔබට දරුවාගේ යහපත උදෙසා කල හැකි දේ තීරණය කිරීමට පහසුයි පහතින් කතා කරන්න යන සන්නිවේදනයේ පියවර හතරින් එක් එක් දරුවා සිටින තැන වටහා ගත් විට....එය ඔබ එතෙක් ලබා ගත් ජිවිත දැනුම මේ අලුතෙන් ජීවිත ගමන පටන් ගන්න ඔබේම හැඟිමක සහ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස මෙළොවට බිහි වු ඔබේ දරුවාට වඩාත් ඵලදායි ලෙස සම්ප්‍රේශණය කිරීමට යොදා ගැනීමෙන් ඔබේ දරුවා ඔබට වඩා දුරක් ජීවිත ගමනේ පහසුවෙන් ගෙන යාමට කල හැකි එක් උදව්වක්.. මා සිතන ආකාරය අනූව ඔබ යමක් බිහි කීරිමට දායක වූවා නම් එහි යහපැවැත්ම ගැනත් ඔබට තිබෙන වගකීම අමතක කල නොහැකියි. (ඒ වගේම ඔබ යමක්/යමෙක් බිහි කිරිමට දායක නොවුනා නම්, ඉතිරිය සිතන්න ඔබට බාර කරමි...)   ඉතින් අපි බලමු මොනවද ඒ පියවර හතර  සන්නිවේදන ක්‍රියාවලියේ...

THE OWN AGENDA STAGE  - තමන්ගේම පිළිවෙලට තනියෙන් දෙයක් කිරීම

මේ අදියරේදී  බොහෝ විට (වයස අවු 2, 2.5)  බොහෝ දරුවන් කැමති තනියෙන් සෙල්ලම් කරන්න, තමන් අවට ඉන්න අය ගැන දක්වන්නේ ඉතාම අඩු අවධානයක්.. තවමත් මේ අදියරේ සිටින දරුවෙක් දන්නේ නැ තමන්ට පුලුවන් කියලා තමන් අවට ඉන්න අයට බලපෑමක් කරන්න තමන්ට ඕන දේවල් කරගන්න...මේ අදියර පසු කරන දරුවෙක් තවම වටහාගෙන නැහැ තමන් අවට ඉන්න අයට කෙලින්ම තමන්ට ඕන දේ පැවසීමෙන් හෝ මොනයම් විදිහකින් හෝ ඉඟියක් දීමෙන් ඒ අයට තමන්ගේ අවශ්‍යතාවය දන්වා සිටිය හැකි බව.. ඉතින් ඒ නොදන්නාකම එළියෙන් ඉන්න ඔබ දකින්නේ දරුවා ඔබ ලඟ සිටියත් තනිවම තම අවශ්‍යතා ඉටු කරගැනීමට වෙහෙසෙන හැටි..

ඔබට තියනවා ජීවිත අත්දැකීම් දරුවා දිහා බැලීමෙන් වටහාගන්න දරුවට මොනවද ඕන වෙලා තියෙන්නේ කියන එක..දරුවගේ ශරීරයේ සෙලවීම්, අත පය සෙලවීම්, කෑ ගැසීම්, හිනාව මේ වගේ බාහිරින් පෙනෙන දේවල්  වලින්.. ඒත් දරුවා දන්නේ නැ මේ සන්නිවේදනය සිදු වූ බව.. ඉතින් ඒ නිසා පහත හැසිරිම්   දරුවාගෙන් බලාපොරොත්තු විය හැකියි ඔබට....


  • ඔබත් සමඟ ඉතාම කෙටියෙන් සහ බොහෝ විට අනිත් දරුවන් සමඟ කිසිම අන්තර්ක්‍රියාවක් සිදු නොකිරීම.
  • දරුවා විසින්ම දෙයක් කිරිමට ඇති ඕනකම
  • විවිධ ශබ්ධ සිදුකරමින් තමන්ව සන්සුන් කරගැනීම
  • තමන්ට ඕන දේවල් දිහා බැලීම හෝ ලඟම යාමට උත්සහ කිරීම.
  • ඔබත් සමඟ හිතාමතා සන්නිවේදනයක් සිදු නොකිරීම
  • එතරම් හුරුපුරුදු නොවන අමුතු අමුතු සෙල්ලම් කිරීමට පෙළඹීම
  • කෑ ගසා හැඬිමෙන් තමන්ගේ විරෝධය පෙන්වීම.
  • හිනා වීම
  • හිනා වීමෙන් තමන්ගේ හැඟිම් තෘප්තිමත් වු බවත් හඬ නඟා සිනහා වීමෙන් තමන් පුදුමයට පත් වු බව හෝ නොගැලෙපෙන/නොහිතූ  යමක් සිදු වු බව හෝ පෙන්වීම
  • බොහෝ විට කිසිම වචනයක් වටහා නොගැනීම. 
දොර ඇරීමට උදව් නොඉල්ලීම
බෝනික්කා සමඟ සෙල්ලම් කිරීමට නොදන්නාකම.











THE REQUESTER STAGE  - ඉල්ලීම් ඉල්ලන අදියර

ඉහතින් පැහැදිලි කල දරුවා තනිවමත් ඔබ දරුවා සමඟත් සිදු කල සන්නිවේදන අවධියේ ඔබ සහ දරුවා මුහුණ දුන්න අපහසුතා බොහොමයක් මඟහරවා ගන්න පුලුවන් මේ අදියරෙදී... ජීවින් දෙදෙනෙක් අතර සිදුවන සන්නිවේදනයේ මුලීක අරමුණ වන දෙදෙනාව තෘප්තිමත් වීමේ පළමු පියවරට ඔබත් ඔබේ දරුවාත් එන මේ පියවරේදි ඔබේ ජිවිතයේ බොහෝ වෙහෙසකාරි හැඟීම් අමතක කිරීමට ඔබ කලකට ඉහතදි වින්ඳ හැඟිමක ප්‍රතිඵලයකට හැකි වීම පුදුමයක් නිසාම ඔබට දැනෙන්නේ කියාගන්න බැරි සතුටක්.. ලොකුම ලොකු ජයග්‍රහණයක් ඔබෙත් දරුවගෙත්...කාලයක් තිස්සේ නොදන්නා නොහඳුනන දෙදෙනෙක් ලෙස ගතකල කාලය නිමා කරමින්  ඔබත් දරුවත්  ජීවිතය වින්ඳනය කිරිමේ කලාවට අත්පොත් තියන මේ අදියරේ දරුවෙක් හිමින් වටහාගන්නවා එයාගේ ක්‍රියාවන් වලින් ඔබට කල හැකි බලපෑම... ඒ වටහාගැනීම නිසි ලෙස හසුරුවාගැනීම ඔබේ වගකීමක් ලෙසයි මා දකින්නේ ඔබටත් දරුවත් ජීවිතය වින්ඳනය කල හැකි ලෙස...  දරුවා බොස් කරනවා ද ඔබ බොස් වෙනවා ද කියා සිතන්න ඔබට බාරයි...

මේ අදියරේදි දරුවෙකුට පුලුවන් ඔබට විවිධ විදි වලින් එයාගේ අවශ්‍යතා පෙන්වන්න කෙලින්ම ඔබත් එක්ක සන්නිවේදනය කරමින්, හැබැයි වචන භාවිතය නම් තවමත් අවමයි.. මේ කාලේ ඔබ දෙදෙනාව ගොඩක් ලං කරන්න පුලුවන් මිනිස් ක්‍රිඩා හැම සමාජ ජාලයකම අනාදිමත් කාලයක සිට විවිධාකාරයේ වෙනස්කම් සිදුවෙමින් පැවතෙන්නේ සතුට කියන හැඟිම විඳින්න තියන නොනැසෙන මිනිස් අවශ්‍යතාවය නිසා කියලයි මා නම් සිතන්නේ...මේ අතරින් හැංගිමුත්තන්, කිචි කැවීම වැනි බොහොම ප්‍රාථමික ක්‍රියා මඟින් ලබන සතුටට පුලුවන් තව තවත් ඔබේ දරුවාව ඔබට සමීප කරන්න...සන්නිවේදනයේ ඉදිරි පියවර වලට යන්න නම් මේ ලං වීම වෙන්නම ඕන. මේ පියවරේදි දරුවගෙන් ඔබට පහත දේවල් බලාපොරොත්තු විය හැකියි.

  • ඔබත් සමඟ කෙටි අන්තර්ක්‍රියා සිදු කිරිමට උත්සහ කිරීම.
  • සන්සුන් වීමට හෝ අවධානය දිනා ගැනීමට විවිධ ශබ්ධ කිරීම.
  • ඔබ කියු වචන කීපයක් නැවත නැවත කීම.
  • තමන්ට අවශ්‍ය කරන දේවල් ලඟට යාම.
  • යමක් අවශ්‍ය වු විට ඔබේ අවධානය එදෙසට යොමු කිරිමට උත්සහ ගැනීම.
  • ඔබ  කරන ක්‍රිඩාවකින් සතුටට පත් වී නැවත නැවතත් එම ක්‍රිඩාව කිරීමට ඔබව පොලඹවා ගැනීමට ඇස් දිහා බලමින් විවිධාකරයේ පණිවිඩ ඔබට විදහා පෙන්වීම.
  • එදිනෙදා සිදුවන ක්‍රියාකාරකම් වලට හුරුපුරුදු වෙමින් තේරුම් ගනිමින් පවතින බව ඔබට දන්වමින් ඔබ සමඟ වඩා සාමකාමී ලෙස හැසිරීම.

අතකින් ඇඳගෙන යමින් තමන්ට ඕන දිශාවට වැඩිහිටියන්ව යොමු කිරීම


THE EARLY COMMUNUCAOTR STAGE - මුල් සන්නිවේදක අදියර

මේ අදියරේදි තමයි තමන්ට ඕන දේවල් ඉල්ලන්න ටික ටික පැහැදිලි ක්‍රම භාවිතා කරන්න පටන් ගන්නේ.. මේ තරන් කල් කලුවරේ එකිනෙකා එක්ක සම්බන්ධ වෙන්න උත්සහ ගත්ත ඔබයි දරුවයි යාන්තමින් ආලෝකයක් හොයාගෙන එකිනෙකා එක්ක අදහස් හුවමාරු කර ගන්න. මේ කාලයේදි ඔබේ දරුවාගේ සමාජශීලි හැසිරීම් වෙනදට වඩා ඔබට පෙනේවී. හිතාමතා ඔබේ අවධානය දිනා ගැනීමට උත්සහ කරන මේ කාලයෙත් වැඩියෙන්ම උත්සහ කරන්නේ තමන්ගේ අවශ්‍යතා අනිත් අය ලවා කරවගන්න.   එක එක විදි ගවේෂණාත්මකව සොයා යමින් සිදු කල පෙර සන්නිවේදන අදියර වලින් උගත් පාඩම් භාවිතා කරමින් එක් එක් දේ සඳහා වෙනස් නොවන එකම  සන්නිවේදන ක්‍රම දරුවා භාවිතා කරන්න පටන් ගන්නේ ඔබට දරුවා වටහාගන්න පළමුවරට ලොකු උදව්වක් එකතු කරමින්...මේ උදව්ව දරුවාගෙන් ඔබට ලැබුනේ නැත්නම් මොකද වෙන්නේ කියන එක සිතන්න ඔබට බාර කරමි.


මේ කාලේ පහු කරන දරුවෙක් ඔබ කියන කියන දේ කියන්නත්, ඔබ කියන දේවල් වලින් වැඩි හරියක් තේරුම් ගන්නත් හැකියාවක් තියන කෙනෙක් සරලව කිව්වොත්. පළමුවරට ඔබේ නමින් ඔබව අමතන්න පටන් ගන්න ඔබේ දරුවගේ කටහඬ මෙතෙක් කල් විවිධ ශබ්ධ හරහා ලබාගත් පන්නරය පෙන්වද්දි ඔබේ හිත පුරා නැවුම් හැඟුම් පිරී යාවී. ඒත් එක්කම දෙදෙනා අතර දෙපසටම අර්ථයක් එක විට ලැබෙන ලෙස සන්නිවේදන ක්‍රියාවලියේ උච්චතම අවස්ථාවට යන්න තව තියෙන්නේ පොඩි දුරයි.  මෙතනදි ඉතාම වටිනා අවස්ථාවක් ඔබේ දරුවා පසු කරනවා අනාගතයේ සමාජයක් තුල ජීවත් වීමේදි සුහද සන්නිවේදනයක් පවත්වාගෙන යාමට නැතුවම බැරි.. ඒ තමයි  ඒකාබද්ධ අවධානය.. සරලව කිව්වොත් යමක් දිහා බලන දරුවා එය කුමන හෝ විදිහකින් ඔබට පැවසීම සහ ඔබ දිහා බැලීම යන කරුණු තුනම එක විට සිදුවීම. මෙහිදි දරුවත් , ඔබත් , දරුවා දුටු වස්තුවත් අතර ත්‍රිකෝණාකාර හැසිරිමක් දැකිය හැකි අතර මෙවැනි හැසිරීම් වැඩි කරගන්න පුලුවන් නම් ඊලඟ අදියරට ඉතාම ඉක්මනින් දරුවත් ඔබත් යාවි.

පහත දැක්වෙන්නේ මේ අදියරේ දරුවෙකුගෙන් ඔබට බලාපොරොත්තු විය හැකි දේවල්.
  • ඔබ සහ අනිත් හුරුපුරුදු වැඩිහිටියන් සමඟ අන්තර්ක්‍රියා වැඩියෙන් කිරීමට පෙළඹිම සහ වැඩි කාලයක් මිනිසුන් අතර ගත කිරීමට කැමැත්තක් දැක්වීම.
  • වැඩි වාර ගණනක් සහ වැඩි කාලයක් ඔබත් සමඟ විවිධ  ක්‍රිඩා කිරීමට කැමැත්තක් දැක්වීම.
  • කැමති ක්‍රිඩා ඔබත් සමඟ  කිරීමට ඔබෙන්  ඉල්ලා සිටීම.
  • හිතා මතා තමන් කැමති දේවල් ඔබෙන් ඉල්ලා සිටීම. 
  • වචන සහ පැහැදිලි හැසිරීම් භාවිතා කර තමන් අක්මැති දේ ඔබට දැනගැනීමට සැලැස්වීම.
  • ඉඳහිට ඔබේ අවධානය දිනා ගැනීමට අංග  චලන , වචන සහ  ශබ්ධ  භාවිතා කිරීම.
  • සරල හුරුපුරුදු වාක්‍ය ඛන්ඩ වටහාගැනීමට හැකියාව ලැබීම.
  • හුරුපුරුදු භාන්ඩ සහ  මිනිසුන්ගේ නම් තේරුම් ගැනිමට හැකි වීම පෙනෙන තෙක් මානයේ නොතිබුනත්.
  • කෙනෙක් හමු වීම සහ වෙන් වීම වෙන් කර හඳුනා ගැනීම.  ( Hi, Bye)
  • ඔව් සහ නැහැ යනුවෙන් පිළිතුරු දිය හැකි ප්‍රශ්න වලට උත්තර දිය  හැකි වීම සහ මොකද්ද යන ප්‍රශ්න වලට සරල උත්තර පැවසීම.

නිතරම එකම වචනය එකම හැසිරීම භාවිතා කරමින් ඔබට අවශ්‍යතා පැවසීම.

ඔබත් දරුවත් සහ වස්තුවත් අතර සෑදෙන සන්නිවේදන ත්‍රිකෝණය ( JOINT ATTENTION ) 


THE PARTNER STAGE - සහකරුවාගේ අදියර

මේ අවදියේ ඉන්න දරුවෙක් ඵලදායි ලෙස කෙනෙක් සමඟ හිතා මතා කතා කිරිම කියන සන්නිවේදනයේ වැදගත්ම කොටස ඉතාම ප්‍රාථමික ලෙස ආරම්භ කරන්නේ සරල කෙටි සාකච්ඡාවන් හරහා. අතීතය සහ අනාගතය ගැන ද කිසියම් වැටහීමක් ඇති මේ අවදියේ තමන්ගේම වචන වලට වඩා භාවිතා කරන්නේ කොහෙන් හෝ ඇහුන මතකයේ රැඳුන වචන. කෙසේ උනත් තමන්ට හුරු පුරුදු පරිසරයේ හුරු පුරුදු දේ කතා කරමින් කෙටි සංවාද ගොඩ නඟා ගත්තත් තවමත් නුපුරුදු අය සහ පරිසර වලදි  ගැටලු වලට මුහුණ දෙන්නේ සංවාද වලදි අවශ්‍ය  වන සියලු නිති රීති තවමත් වටහාගෙන නොමැති බැවිනි. මේ අවදියේදි දරුවෙක් ඔබ එක්ක වගේම අන් දරුවන් එක්කත් සෙල්ලම් කරන්න ගැවසෙන්න බොහෝ උනන්දු වන අතරම තනිවම සෙල්ලම් කිරිමට පෙළඹෙන්නේ අන් අය සමඟ එකතු වීම නොතේරෙන තැන් වලදි පමණයි. අනිත් දරුවන් එක්ක දුවලා පැනලා දඟලලා ඉන්න දරුවෙක් අතාත්වික සෙල්ලමකදි තනිවම ඉන්න උත්සහ කරන්නේ මෙන්න මේ නිසා..තමන්ගේ මනසේ මතු වන අදහස් අනිත් අය සමඟ බෙද හදා ගනිමින් අනිත් අයගේ අදහස් තමන්ගේ සෙල්ලමට යොදා ගනිමින් සෙල්ලම් කිරිමට තවත් කාලයක් ඔබේ දරුවාට ගතවනු ඇත. 

පහත තියෙන්නේ මේ අදියරේදි දරුවගෙන් ඔබට බලාපොරොත්තු විය හැකි දේවල්
  • ඔබත් සමඟ දිඟු සංවාද වලට සහභාගි විම.
  • හුරුපුරුදු සම වයස් දරුවන් සමඟ සාර්ථකව සෙල්ලම් කිරීම
  • වචන භාවිතා කර තමන්ගේ අවශ්‍යතා පැවසීම, තමන්ගේ අකමැත්ත පැවසීම, අවධානය ලබා ගැනීම, විවිධ ප්‍රශ්න ඇසීම. 
  • අතිතය සහ අනාගතය ගැන, තමන්ගේ හැඟිම් ගැන වගේම මවාපැම් සහිත සෙල්ලම් වලදි වචන භාවිතා කිරිම.
  • මෙතෙක් අසා මතක තබා ගත් වචන භාවිතයෙන්  තමන්ගේම කෙටි වාක්‍ය තැනීම.
  • කෙටි සංවාද කල  හැකි වීම.
  • කෙනෙකුට තමන් පැවසු දෙය නොවැටහුන විටක නැවත තමන් පැවසූ දෙය පැහැදිලි කිරීමට උත්සහ ගැනීම.
  • විවිධ වචන වල තේරුම වටහාගැනීම.
  • තවමත් නුහුරු අලුත් පරිසර වලදි උදව් අවශ්‍ය වීම.
ද්විපාර්ශවීය සන්නිවේදනයක්

උදව් අවශ්‍ය අවස්ථාවක්

තවත් ලිපියකින් මේ ඕනම අදියරකදි දෙමාපියන් ලෙස ඔබට රඟපැ හැකි චරිත කිහිපයක් ලියන්නට අදහස් කරමින් අදට සමුගනිමි.

2 comments:

  1. Replies
    1. ස්තුතියි අදහස් අවකාශය.. කියැවූ අදහස් බෙදා ගන්න ඔබ දන්නා අයත් සමඟ.

      Delete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.