Monday, February 20, 2017

කියවීමෙන් මිනිසා සම්පූර්ණ වන්නේ කෙසේද....මෙසේ ද ?

කියවීමෙන් මිනිසා සම්පූර්ණ වන්නේ කෙසේද....මෙසේ ද ? එසේ නම් මෙසේ කියවන්න..




කියවීම යනු විවිධාකාරයෙන් අර්ථ දැක්විය හැකි වදනක්. සිංහලේ යෙදෙන නොයෙකුත් විශේෂණ පද ඉදිරියටත් විවිධ අරුත් දිය හැකි ක්‍රියා පද පිටිපසටත් යෙදිමෙන් වෙනස් කල හැකි මේ කියවීම යන වදන අද පොතක් සමඟ යා වීමේදි සිදු කල හැකි වෙනස්කම් කීපයක් තමයි මේ ලිපියේ කතා කරන්න යන්නේ...මුලින්ම අපි පොතක හෝ කොහේ හෝ තියන වචන කියවන්න හුරු වෙන්නේ අපත් සමඟ සිටින වැඩිහිටියෙක්ගේ උදව්වෙන්.. ඉතින් මේ දිගහැරෙන්නේ ඒ වගේ වෙලාවක වැඩිහිටියෙකුට භාවිතා කරන්න පුලුවන් ක්‍රම කීපයක් තමන්ගේ උදව්වෙන් කියවීමට අත් පොත් තියන පොඩිහිටියට ලේසි කරන්නත් ස්වාධීනව කියවන්න හුරු කරන්නත්.. සමහර වෙලාවට සමහර වැඩිහිටියන් කැමති නැහැ තමන්ගේ ගෝලයන් ස්වාධීන වෙනවට ඉක්මනින්.. මේ ක්‍රම ඒ වගේ අයට නම් නෙමේ..



STREACHY SNAKE - ඇදී ඇදී යන නයා

ස් ස් ස් නයා.. සමහර අයට නයා කියන වචනෙත් අප්‍රසන්න හැඟිමක් ගෙන ආවට, සමහර අය ගානක් නැතුව නයා ඇරියට මේ ඇදී ඇදී යන නයාට පුලුවන් කියවන්න පටන් ගන්න අයට ලොකු උදව්වක් කරන්න. ඒ තමයි වචනය, (කියන්නකො ටිකක් දිග වචනයක් තිබුනා කියලා පොතේ පිටුවක)  අකුරෙන් අකුර ඇදලා හිමින් කියවමින් මුලු වචනය කියවන්නේ කෙසේද කියා වටහාගැනීම.

උදාහරණයකට අපි හිතමු මෙන්න මේ කවිය, "චුට්ටන් බට්ටිච්චා - දං ගෙඩියක් දැක්කා"

මේ කවියේ "බට්ටිච්චා" කියන වචනය අපිට පුලුවන් "බ-ට්-ටි-ච්-චා" කියලා අකුරෙන් අකුර හොඳින් ශබ්ධ කරලා කියවන්න. එතකොට අපේ චුට්ටන් බට්ටිච්චොත් හිමින් හිමින් අකුරෙන් අකුර ඒ වචනය අපෙන් පස්සේ කියවාවි.. කීපසැරයක් මෙහෙම කරලා අන්තිමේ බට්ටිච්චොත්  අපිත් එක්කම වචනය කියාවි හරියටම... පුංචි අයට විතරක් නෙමේ ටිකක් ලොකු බට්ටිච්චන්ට උනත් පොතක් කියවන්න දෙන්න කලින් පොඩිත්තක් වැඩිහිටියන් කියවලා බැලුවොත් ඒ පොත, හමුවේවි වචන කීපයක් පොත පුරාම වැඩිපුර යෙදෙන. අන්න ඒ වැඩිපුර යෙදෙන වචන වලින් කියවන්න අපහසු වචන ඒ ඒ බට්ටිච්චට මේ විදිහට ලේසි කරලා දුන්නොත් ඊලඟ පොත කියවන්න තියන ආසාව වැඩි කරගන්න පාරක් එළිපෙහෙළි වේවී



CHUNKY MONKEY

රිළව් කවද්ද බිමින් ගියේ නේද..ඉතින් මේ එහෙව්   රිළවා කරන්න යන්නේ කියවන අය උඩට යවන වැඩක්.. මොකද්ද දන්නවද මේ රිළවා කියන්න යන්නේ.. ඕනම් පොතක තියනවා දැක්ක ගමන් අඳුරගන්න පුලුවන් පුංචි පුංචි වචන කෑලි.. මේ රිළවා කියන්නේ අන්න ඒ වචන කෑලි හොයාගෙන මතක තියාගන්න කියන එකයි.. එතකොට වචනේ දැක්ක ගමන් අකුරෙන් අකුර කියවන්නේ නැතුව වචනය කියවන්න මේ රිළවා උදව් කරන්නයි යන්නේ... මේ ක්‍රමය ප්‍රගුණ කරද්දි ඕනම භාශාවක වචන අතර හැංගිලා තියන අපූරු තාල රටාව හරි කලාත්මකව විඳින්න ඉගෙන ගන්නත් පුලුවන්.. 

ඩිංකි බිංකි නමින් මෙලනි අමරතුංග ලියා ඇති පොත් මාලාවේ 4 වෙනි පොතෙන් (හරි ලස්සන සමනළයා)  උදාහරණයක් කිව්වොත්.. මේ පොතේ තියන  දිව්වා, කිව්වා ,වැහුවා , කරනවා , සෝදනවා  කියන වචන ඇතුලේ දිවෙන රටාව අඳුරගන්න පොඩ්ඩෙකුට උදව් කරන්න පුලුවන් නම් හරි ලේසියෙන් මේ රිළා හාමි කියන ගෙඩි පිටින් වචන කියවන තැනට එන්න ඒ හැටි කාලයක් යන එකක් නැහැ.

The Reader කියන සම්මානලාභි වැඩිහියන්ට පමණයි චිත්‍රපටයේ එන ප්‍රධාන චරිතය (Kate  Winslet)  තම ජීවිතයේ අවසාන කාලයේ සිර මැදිරියකදි ජීවිතයේ ප්‍රථම වතාවට කියවන්න පටන් ගන්නේ මෙන්න මේ රිළාහාමිගේ ක්‍රමවේදය භාවිතා කරමින් ඇයගේ නඩු විභාගයේ සිටින අතීතයේ මතකයන් රැගෙන එන නවක ජුරි සභිකයෙකුගේ (David Kross) සිතට නැඟෙන අදහසක් ක්‍රියාත්මක වීමේදී..


SKIPPY FROG

Lou, Lou, Skip to my Lou, Skip to  my Lou, my darling ... කියලා කිව්වට එහෙමත් SKIP කරන්න පුලුවන් ද.. හැබැයි ඉතින් සමහර වෙලාවට ජීවිතෙත් SKIP කරන්න කාලවල් එනවනේ. ඉතින් පොතක් කියවද්දි SKIP කලාම මොකද වෙන්නේ... වාක්‍යක තියන අමාරු වචනයක් මඟහරිමින් වාක්‍ය කියවා අවසන් කර නැවත අර මඟ හැරිය වචනය හොයාගෙන ගිහින් කියවන්න උත්හස කිරීම තමයි මේ SKIP. මෙහෙම කරන්නේ මිනිස් මොළයට වාක්‍යක මුලු අදහස වටහාගන්න හැම වචනෙම අර්ථය වැදගත් නැති නිසා අර්ථය වටහාගත් විට අමාරු දෙයක් වුනත් වරක් කියවා මතක තබා ගන්න මිනිස් මොළයට තියන හැකියාව නිසයි. මිනිස් මොළය කියන පරිගණකය සතු මතක ගබඩාව ඒ තරන්ම සුපිරියි..

අපි කවුරුත් අහලා තියන "කිරි සුදු හාවා" කියන කවි පන්තියේ එන පඹයා කියන වචන සහිත පේළිය ගත් විට, 

"දැක මගේ පඹයා - බිය වී වෙවුලා" , අපි පඹයා මඟ හැරලා කියවලා කවුරු දැක්ක නිසාද බය වුනේ කියලා ඇහුවොත් හරිම ලෙසියෙන් පඹයා කියන වචනය මතක හිටිවී ඕනම කෙනෙකුට. ඒත් එක්කම මොළය ඒ හැඟිමත් එක්ක පඹයා කියන වචනය තම මතක ගබඩාවේ තැන්පත් කර ගනිවී අවශ්‍ය විටක ආපහු ගිහින් හොයා ගන්න ලේසි වෙන්න..

"බුද්ධිමත් දරුවෙකුගේ  වාසනාවන්ත උරුමය" නමින් වෛද්‍ය ජගත් ඇල්විටිගල ලියු පොතේ බොහොම සරලව ඕනම විවාහක යුවළකට තමන්ගේ දරුවගේ බිහිවීම සිදුවුයේ කෙසේ ද යන්න පැහැදිලි කරමින් ලියා ඇති මෙන්න මේ පරිච්ඡෙදයේ එන "සංසේචනය" කියන වචනය ඒ විෂය පිළිබඳ හදාරා නැති අයෙකුට තරමක අපැහැදිලිකමක් එකතු කලත්, ඒ වචනය මඟහැර මුලු වාක්‍යම කියවීමෙන් අනතුරුව වටහා ගන්න පහසු වෙනවා එහි අරුත. ඉන් පසු නුහුරු වුවත් වචනය මොළය ගබඩා කරගන්නේ හුරු ලෙස...

//// තනි ඩිම්භ සෛලය සංසේචනය කිරීමට  ශුක්‍රාණු සෛල මිලියන දෙසීයක් හයසීයක් අතර  ප්‍රමාණයක් ඔබගේ සිරුර තුළ තැන්පත් කරන්නට යෙදිණි. ශුක්‍රාණු මෙසේ තැන්පත් කළ පසු ශුක්‍රාණු සෛල අතර මහා පිහිනුම් තරඟයක් ආරම්භ වෙයි. ඩිම්බය දිනා ගැනීම සඳහා ඉස්ගෙඩියන්ගේ අනුරුව ගත් ශුක්‍රාණු සෛල ඩිම්බය දෙසට පීනා යෑම ආරම්භ කරයි. මිලියන ගණනක් ශුක්‍රාණු සෛල අතරින් වේගවත්ම හා ශක්තිමත්ම ශුක්‍රාණු සෛල පමණක් ඩිම්බය වෙත ලඟා වෙයි. දක්ෂයන් අතරිනුත් දක්ෂතම ශුක්‍රාණුව පමණක් ඩිම්බය සංසේචනය කිරීමට සමත් වෙයි.  

සෙසු සියලු තරඟකරුවන් අනිවාර්ය විනාශයකට ලක් වෙයි. මිලියන සිය ගණනක් තරඟකරුවන් පරදා ජයග්‍රහණය කරන්නට තරම් සූක්ෂම වූ ශුක්‍රාණුව අන් කවරෙකුත් නොව ඔබගේ කුස තුළ වැඩෙන ඔබගේම දුව හෝ පුතාව නිර්මාණය කල කෙනායි. එබැවින් ඔබගේ දුව හෝ පුතා දැනටමත් ප්‍රබල ජයග්‍රාහකයෙකි.. ////


EAGLE EYE

උකුස්සා ගැන කියද්දි ජීවිත ගමනේදි වරින් වර මතුවන මහා කුණාටු වලදි උකුස්සෙක් සැඬ සුලං සහිත වැහි කුණාටුවකදි   වැහි වළාකුලු වලට ඉහළින් පියාඹන ලෙස ඒ මහා කුණාටුවට ඉහළින් පියාඹිය හැකි නම් කුණාටුව අවසන් වු විට පරිස්සම් සහගත තැනක ලැගුම් ගෙන විඩා නිවා ගත් හැකියි කියන කියමනත් සිහියට එන අතරම  මේ කියන්නේ තවත් උකුස්සාගෙන් අපිට ගන්න පුලුවන් උදව්වක් කියවන්න පහසු කරගන්න.

සොබාදහම ගැන විමසිලිමත් වන ඕනම වැඩිහිටියෙක් දන්න දෙයක් තමයි උකුස්සාගේ තියුණු ඇස.. මෙන්න මේ තියුණු ඇස පොඩ්ඩකට උකුස්සාගෙන් ණයට ඉලලා ගන්නයි අපි යන්නේ පොඩ්ඩෙකුට පොතක් කියවන්න හුරු කරන්න. බොහෝ ළමා පොත්  වලත් සමහර වැඩිහිටි පොත් වලත් රූපසටහන් ඇඳලා තියෙන්නේ පොත ලස්සන කරන්නම නෙමේ. එයින් සඟවා කියවෙනවා බොහෝ විට පොතේ එන වචන වල අරුත්.. අපි අර පොඩ්ඩකට ණයට ඉල්ලා ගත් උකුසු ඇසින් මේ රූප දිහා බැලීම තමයි මේ කියන්නේ කියවන අතර වාරයේදීම..

පොතක් හෝ පත්තරයක් හෝ කුමන හෝ මාධ්‍යක ලියූවක් කියවීමේ සැබෑ අරුත ගිරව් මෙන් එහි එන වචන කියවා අවසන් කිරීමද යන්න එක් එක් පුද්ගලයා අනූව වෙනස් වුවත් මාතෘකාවේ සඳහන් සම්පූර්ණ කියන වචනය නම් භාවිතා කරන්න තවත් බොහෝ දේ කියවීම සමඟ අත්වැල් බැඳගත් යුතු බවයි ලියුම්කරු වන මගේ හැඟිම. ඒ අතරින් පහත කරුණු කීපයවත් එකට කැටි කරමින් කියවන්න හුරු වෙනවා නම් සම්පූර්ණ යන පදයෙන් අදහස් වන අරුත කරා  යාමට මාවතක් එළිපෙහෙළි වනු ඇති බවයි මගේ හැඟිම.  

ඔබ කියවන දෙය ඔබගේ ජිවිතය, ඔබ අවට සිටින්නන්ගේ ජිවිත සහ ලෝකයේ කොතැනක හෝ සිදු වු සිදුවීමක් සමඟ ගලපගනිමින් කියවීම. මෙය කිසිඳු විටක ඕපාදූප කියවීමක් නම් නොවිය යුතුයි.



එක් සිදුවීමකට  හේතුව වටහාගනිමින් කියවීම. හේතු ඵල දහම, නිව්ටන්ගේ නියම මතකයට නැඟෙන තවත් දෙයක්.  






මනසින් කියවන සිදුවීම මවාගෙන එහි 
ජීවත්වෙමින් රසය විඳිමින් කියවීම. 
කියවන දෙයක් නොතේරෙන අවස්ථා වලදි ප්‍රශ්න අසමින් කියවීම. අසන ප්‍රශ්න වලට නිවැරදි සහ ඒ ඒ ප්‍රශ්නය අසන කෙනාට ගැලපෙන උත්තර දෙන්න ලඟ ඉන්න අය අනූව මේ කියවීම වෙනස් වෙන්නේ අර ජාතක කතා වල එන කුණාටුවකදි තැන් දෙකකට වැටුන  එකම පවුලේ ගිරා පැටව් දෙදෙනාගේ කතාව සිහිගන්වමින්.. 

සංසන්දනාත්මකව සමානකම් සහ වෙනස්කම් දකිමින් කියවීම.

ඔබ දැනටමත් දන්නා දේවල සමඟ බැඳෙමින් ඊලඟට සිදුවිය හැකි සිදුවීම උපකල්පනය කරමින් කියවීම. මේ කියවීම නම් බොහොම පරිස්සමින් කල යුතු කියවීමක්. මේ ක්‍රමවේදය බොහෝ සේ භාවිතා කරමින් ලියැවී ඇති සුප්‍රසිද්ධ රහස් පරීක්ෂක කතා මලාවකුත් සිහියට නැඟුනත් එකම විදිහේ රැළි කියවීමෙන් වෙහෙසට පත්වෙන මොළයක් හිමි ලියුම්කරු  එයින් කියවා ඇත්තේ කතා මාලා අතලොස්සක් පමණයි..



කියවා අවසානයේ කියවු දෙයින් ඔබ වටහාගත් අරුත් ඔබේ වචනයෙන් සාරංශයක් ලෙස පැවසීමට උත්සහ ගැනීම.


No comments:

Post a Comment

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.