Thursday, March 16, 2017

මේ මම ය, අපි ය, ඔවුන් ය කියා වෙනසක් නැහැනේ....



########
මේ කොලමට ආරාධනා ලද මොහොතේ මම මට නීතියක් පනවා ගත්තා..ඒ මේ දිනවල යෙදී සිටින විවිධාකාර ලිවීමේ ඇනවුම් නිසි අයුරින් සංවිධානය  කිරීමයි. ශාස්ත්‍රීය ලියවිලි අතර කොලමක් ලියන්න හුස්මක් අල්ලන්න ඕන. ඒ වැඩ මැද නවකතා, කෙටිකතා ලිවීමේදී කොලම් මිහිර  ඉක්මවූ ආත්මීය සන්තෘෂ්ටියක් ලැබෙනවා. නමුත්  මේ සැරසෙන්නේ අවුරුදු හතලිස් හතරක් පුරා මගේ සිතේ ලැගුම් ගත් විවිධාකාර හැඟුම් මී විතට කැඳවන්නයි. 
ඇතැම් ගැහැනුන් හමුවුණේ පොත්වලින්. ඇතැමුන් ඒ ගැහැනුන්ට පණ දුන් කතුවරියන්. තවත් සමහරුන් පොතකින්වත් හමු නොවන අමුතු චරිත. අනෙක් අතට මගෙ ජීවිතයත් පොත් නිසා, මට පොතපතින් හමු වන ගැහැනුන් හා භෞතික ශරීර කූඩුවලට ගොණු වූ ගැහැනුන් අතර එතරම් වෙනසක් දැනෙන්නෙත් නැහැ.
පෑනයි මායි තනිවී ඉන්නා මේ මැදියම් රැයේ මට හිතට එන්නේ ජූලියා. අපි හමුවුනේ කැලිපෝර්නියාවේ දී යි. ප්‍රථම උපාධියට සුදානම් වෙමින් සිටි ජුලියාට කොරියානු නමක් තිබුණා. ඒක  නම් මට කවදාවත් හිතේ හිටියේ නැහැ. කොණ්ඩේ කොටටම කපලා. නිතරම කලු ඇඳුම් ඇන්දේ. ඇගේ දෙමාපියන් හිටියේ බොලීවියාවේ. මං හිතන්නේ අපි මිත්‍ර වුනේ එකම වෙලාවට දත් මදින්න, මූණ හෝදන්න යාමෙන්. එයාටත් මට වගේ මිරිස් කන්න පුලුවන්. මිරිසුයි, කරවෙච්ච බේකන් අගිසුයි, ලුණුයි, දෙහියි, ළුෑණුයි මිශ්‍ර කරලා ඇමරිකන් ලුනු මිරිසක් හදන්න මම දැනගෙන හිටියා. (මම හිතන්නේ ඇමරිකන් ලුණු මිරිස හොයාගන්න ඇත්තේ මමයි!). අපේ මිත්‍රත්වයට ඒකත් පදනම් වෙන්න ඇති. කාමරේ හිටපු අනිත් තරුණියන්ට  සිංදු  අහන්න ඕන නිසා ජූලියා රෑට පාඩම් කරන්න පුස්තකාලයට ගියා. 
එක් සඳපහන් රාත්‍රියක මම කබල් චිත්‍රපටයක් බලලා යනකොට ජූලියා අවන්හලේ බීර බොමින් හිටියා.. මාත් ගිහින් වාඩි වුණා. 
 "අපි මීට වඩා සැර ජාතියක් බොමු." ඇය යෝජනා කළා.
"මං කෝපි බොන්නේ"
"අයියෝ ලංකාවේ ගෑනුත් කොරියාවෙ ගෑනු වගේ තමයි, ලංකාවේ ලෙස්බියන්ලා ( සමලිංගික ) ගෑනු ඉන්නවද ? "
"මොකද නැත්තේ ?"
"ඒ වුනාට කොරියාවේ වගේ තමයි. බයයි නේද ?"
ජූලියා දිගින් දිගට කතා කලා. "මට කවදාවත් කොල්ලෙක් ගැන ආකර්ෂණයක් ඇති වෙලා නෑ" 
ජූලියා කියනකල් මට එයාගේ පුද්ගලික ජීවිතය ගැන කිසිම දෙයක් හිතිලා තිබුණේ නැහැ. එයා එක්ක එක කාමරේ හිටපු කෙනාවත් ඒ ගැන දැනගෙන හිටියේ නැහැ
"මං අම්මට කිව්වා, අපේ සීයා නඩුකාරයෙක්. ගෙදර අයට ඕන මාව තානාපති සේවයට යවන්න. මට ඕන නෑ මගේ ලිංගික කැමැත්ත කොයි පැත්තට ද කියන එක හංගලා විදේශ සේවයට යන්න. කොරියාව ශ්‍රි ලංකාවටත් වඩා සම්ප්‍රදායිකයි." ජූලියා කිව්වා.
ඒ දවස් වල එයාගේ පෙම්වතී තරහා වෙලා. ඒ අතර විශ්ව විද්‍යාලයේ සහය කථිකාචාර්යවරියක් එක්ක ජූලියා සම්බන්ධ වුණා. සමහර දවසට මහ රෑ මාව හොයාගෙන එනවා මේ ප්‍රේම පටලැවිලිවල දුක කියන්න. මුලදි නං මාත් නිදි මරාගෙන අහගෙන හිටියා. ඒත ඒ වැඩේ දිගටම කරන්න බැරි නිසා පාඩම් කරන්න තියනවා කියල ගැලවුණා..
වැලන්ටයින් දිනයට සංවිධානය කළ නැටුමක් ගැන දැන්වීමක ගැහැනියක් හා පිරිමියෙක් නටනවා ඇඳලා තිබුණා. ජූලියා ප්‍රමුඛ පිරිසක් ඒකට විරෝධය පෑවා. ආදරවන්තයින් කියන්නේ ස්ත්‍රියක් හා පුරුෂයෙක් විතරක් නෙවෙයි කියලා ඒ අය තර්ක කලා.
පෙම්වතී එක්ක තරහ උනාම ආයෙමත් ටෙනිස් ගහන්න යන්නේ නැහැ කියලා රැකට් එකයි බෝලෙයි මට ගෙනත් දුන්නා. ඒ ප්‍රශ්නය නිසා එයාට ලකුණුත් අඩු වුනා. 
ඇගේ ලිංගික ජීවිතය අපි කාටවත් ප්‍රශ්නයක් වුනේ නැහැ. අපිට ඇය මිතුරියක් පමණමයි. කවර කලෙකවත් කොරියාවේ පදිංචි වෙන්නේ නං නෑ කියලා ජූලියා කිව්වා. 
කොරියානු භික්ෂුණියකුත් අපිත් එක්ක හිටියා. ඇය ඉතාම ප්‍රිය මනාප ගති තිබුණ නිවුණු ශාන්ත තැනැත්තියක්. ඇය ජූලියා ගැන දැන ගත්තට පස්සෙවත් ජූලියාට දැක්වූ මිත්‍රකමේ වෙනසක් වුණේ නැහැ. ඇගේ අත්ලට අඟලක් විතර උඩින් අත්ල තියාගෙන ඉන්නකොට මට දැනෙනවා ඇගේ අතින් නිකුත් වන ශක්ති දහරාවක උණුසුම.   
"කාමයේ ඇලීමම කාමාශාවෙන් දුරුවීමේ ආරම්භයක් වෙන්න ඉඩ තියනවා. හැමෝගෙම සංසාරික ප්‍රවාහය එක වගේ නෙවෙයිනෙ. නියමිත කාලය පූර්ණ වෙනතුරු ඒවා (රාගය ප්‍රහීන කිරීම) ඇහුවත් විහිළු වාගේ දැනෙනවා" භික්ෂුණිය අපි කිසි කෙනෙකුට ඉලක්ක නොකොට දෙඩුවා.
 "මට නං මේ ආත්මේ ඒක දුරු වෙන එකක් නෑ"  ජූලියා හිනා වුනා. 
භික්ෂුණිය දයාර්ද්‍ර වු ශාන්ත මඳ සිනාවකින් ජූලියා දිහෑ බලාගෙන හිටියා. ඒක දඟ පුංචි ළමයෙකුට පානා හිනාවක්. භික්ෂුණියට ඕන නම් අවුරුදු විසි එකක් දෙකක් තරමෙ ඇති. ඇගේ නිශ්ශබ්දතාව කතා කළා. ඒ  නිශ්ශබ්දතාවෙ බණවරක් රැඳි තිබුණා. ඒ තරම් බාල වයසෙන් කොහොමද එයාකාරයට වචන නැතුව වචන පිහිටවන්නේ කියලයි මං කල්පනා කළේ.
 "වෙන මොකද්ද ඉතින් භික්ෂුණියක් කියන්නේ සැබෑ භික්ෂුණියක් හින්දමයි" එක පාරටම මගේ හිත උත්තරය හොයා ගත්තා.
 ඉතින් මේ චිත්-රූ සටහන ජූලියා ගැනද භික්ෂුණිය ගැනද කියන්න නං දන්නේ නෑ. අනිත් අතට සිල්වත් භික්ෂුණියකට මේ මම ය, අපි ය , ඔවුන් ය කියා වෙනසක් නැහැනේ  
########



සුනේත්‍රා රාජකරුණානායක කතුවරියගේ "මතක පොත" දිගේ ඇවිද ගිහින් විවිධ ගැහැනුන් පිරිමින් සමඟින් ඔබවත් හඳුනා ගන්න මේ උපුටා දැක්වීම ඔබව පොළඹවාවී කියා සිතුනු නිසා මෙසේ සඳ නැති රැයක ගණඳුරට විවර වු කවුළුවෙන් පෙරී එන වීදි පහන් එළියෙන් අකුරු කලෙමි. 

4 comments:

  1. Replies
    1. වැටක් බැඳලා ලිපිය අගෙයි කිව්වට බැඳලා තියන වැටවල් ටික ටික කැඩුවොත් තමයි අගේ.. ස්තුතියි ඉයන්.

      Delete
  2. මාර ලිපිය....

    - ජය බෝලී නාත් -

    ReplyDelete
    Replies
    1. එහෙම ද ර.ම. :) , කොහෙන් ද මේ "- ජය බෝලී නාත් - " පුරුදු වුනේ ?

      Delete

අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම්.